රුපියල් බිලියන 13.7ක තැන්පතු නීතිවිරෝධී ලෙස භාරගැනීම, අයථා පරිහරණය සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනාවලට අදාළව ETI ආයතනයේ අධ්‍යක්ෂකවරු වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන සිව් දෙනා අද (08) යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද ඔවුන් අත්අඩංගුවට පත්ව ඇත්තේ නීතිපතිවරයා විසින් ලද උපදෙස් අනුවය.
පසුගිය 05 වැනිදා ද ද ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඒ ස්වර්ණමහල් ආයතනයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව මතය. කෙසේවෙතත් ඔවුන් පසුවදා එනම් 06 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර එහිදී ඔවුන් ඇප පිට නිදහස් විය. මොවුන් ඇප පිට නිදහස් කිරීමට එරෙහිව ETI තැන්පතුකරුවෝ දැඩි විරෝධය පල කළහ. මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් පැවසුවේ ETI අධ්යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගැනීමෙන් පසු හෝ සහනයක් ලැබේ යැයි සිතුවද මෙවරත් තමන් සමඟ සෙල්ලමක් කර ඇති බවය. සිය තැන්පතු මුදල්වලින්ම නීතිඥවරු 25ක් පමණ කැඳවාගෙන අධිකරණය ද නොමඟ යැවීමට එදිරිසිංහ සහෝදරයින් කටයුතු කර ඇති බව පෙන්වාදුන් එම තැන්පතුකරුවෝ බිලියන ගණනක් ජනතාවගේ මුදල් වංචා කළ පුද්ගලයින්ට මෙලෙස ඇප ලැබෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියහ.
මෙම ප්රශ්නයේදී පසුගිය යහපාලන ආණ්ඩුවද සහය දැක්වූයේ ETI අධ්‍යක්ෂවරුන්ට වන අතර මෙවරද සිදුව ඇත්තේ එයම බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත්කරවූයේ සිය ප්‍රශ්නයට විසඳුමක් බලාපොරොත්තුවෙන් බවත් නමුත් එම සහනයද දැන් අහිමි වී ඇති බව ඔවුන් කියා සිටියහ.
මේ අතර වත්මන් රජය එක රටක් එක නීතියක් ගැන කතා කළද එම නීතිය තිබෙන්නේ කොහේද යන්න විමසීමට සිදුව ඇති බවද එම තැන්පතුකරුවන් පැවසුහ.
මේ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් ඇතිවූ අතර ඉන්පසුව යලිත් වරක් ETI ආයතනයේ හිටපු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් සිව්දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.
ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල අධ්යක්ෂ මණ්ඩලයට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි නීතිපතිවරයා ජනවාරි මස 5 වන දින පොලිස්පතිට උපදෙස් ලබාදී තිබේ.