27 C
Colombo
25/11/2024

විශාඛා විදුහල්පතිනිය පිරිමි ගුරුවරයකු එලවා දැමීමට එරෙහිව ගුරු සංගම් සටනට

Share with your friends :

කොළඹ විශාඛා විද්‍යාලයේ උසස් පෙළ සිංහල භාෂාව හා සාහිත්‍යය ඉගැන්වීම සඳහා පත් කර එවන ලද ගුරුවරයෙකු එම විදුහලට නුසුදුසු බව කියමින් විදුහල්පතිනි සඳමාලි අවිරුප්පල මහත්මිය විසින් පත්වීම බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් එම ගුරුවරයා විසින් බම්බලපිටිය පොලිසියට පැමිණිලි කර ඇත.
එම ගුරුවරයා පවසන්නේ තම පත්වීමේ ලිපිය බුලත් හුරුල්ලක් සමග ඉකුත් 4 වෙනිදා විදුහල්පතිනියට බාරදුන් පසු ලිපිය තමන් වෙත ආපසු දමා ගැසූ බවයි.
තමන් විදුහලේ ආරක්ෂකයන් යොදවා පාසලෙන් ඉවත් කිරීමටද විදුහල්පතිනිය කටයුතු කළ බව පවසමින් ඔහු සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි කර තිබේ.
කෙසේ වෙතත් විශාඛා විදුහලේ විදුහල්පතිනිය සඳහන් කරන්නේ උසස් පෙළ සිංහල විෂය සඳහා මෙතෙක් පිරිමි ගුරුවරු එම පාසලට පැමිණ නැති බවත් එම විෂය ඉගැන්වීම සඳහා තරම් පෞරුෂයක් පත් කරන එවන ලද ගුරුවරයාට නොමැති බවත්ය.
මේ අතර මේ සිද්ධියට මේ වන විට ගුරු වෘත්තීය සමිතිද සම්බන්ධවී තිබේ. ස්ථාන මාරු ලබා පැමිණි ගුරුවරයෙකුට බැන තර්ජනය කර සේවයෙන් නිදහස් කිරීමේ ලිපිය විසිකර දැමූ විශාඛා විදුහල්පතිනියගේ අත්තනෝමතික ක්‍රියාවන්ට එරෙහිව අධ්‍යාපන බලධාරින් නිසි පියවර නොගතහොත් සියලු ගුරු වෘත්තිය සමිති එක්ව වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
ස්ථාන මාරුවක් ලබා කොළඹ ශාන්ත පාවුළු බාලිකාවේ සිට විශාඛා විදුහලට ඉකුත් හතරවැනිදා පැමිණි ගුරුවරයෙකුට ශාන්ත පාවුළු බාලිකාවේ විදුහල්පතිනියගේ නම සඳහන් කරමින් ඇයගේ ගෝලයන්ට වැඩ භාර නොදෙන බව පවසා ලිපිය විසිකර ඇති බවත් ආරක්ෂක නිලධාරින් ගෙන්වා එම ගුරුවරයා එළියට දමා ඇති බවත් පවසන ජෝෂප් මහතා එය ගුරුවරයෙකුගේ ආත්ම ගෞරවයට හානි කළ අපහාසාත්මක සිද්ධියක් බවත් පෙන්වා දෙයි. විශාඛා විදුහල්පතිනිය අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු මාරු අධ්‍යක්ෂවරියට ද බැනවැදී ඇති බවත් ලේකම්වරයා පෙන්වා දෙයි.මේ වනවිටත් චෝදනා 15 කට ලක්ව සිටින මෙම විදුහල්පතිවරිය අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකාවක් ලෙස පත්කිරීමට රජයේ බලධාරින් කටයුතු කිරීම පිළිබඳව ද ඔහු චෝදනා කරයි.
එකී ගුරුවරයාට එල්ල කරන ලද අපහාස පිළිබඳව විනය ක්‍රියාමාර්ග නොගතහොත් ගුරු වෘත්තිය සමිති හා සාකච්ඡා කොට වෘත්තිය ක්‍රියාමාර්ගයකට අනිවාර්යයෙන්ම යන බව ද ස්ටාලින් මහතා කියා සිටියේය.

Share with your friends :