27 C
Colombo
24/11/2024

දෙවියනි මම ගැහැනියක් නොවේ ද ? – Desert flower

Share with your friends :

Desert flower 1999 වසරේ වැඩියෙන්ම අලෙවි වූ ග්‍රන්ථය ලෙස අන්තර්ජාතික කීර්තියට පත් වීය. Desert flower රංජිත් කුරුප්පු මහතා විසින් සිංහලයට “කාන්තාරයේ කුසුම” නමින් පරිවර්තනය කරන ලද අතර Desert flower රචනා කරන්නේ වාරිස් ඩයිරි සහ කැත්ලින් මිලර් එක්වය. මෙහි කතා නායිකාව වාරිස් ඩයිරි සෝමාලි ජාතික ප්‍රසිද්ධ සුරූපී මෝස්තර නිරූපිකාවක් මෙන්ම සමාජ ක්‍රියාකාරිණියක් හා නිළියක් ද වේ. ඇගේ කටුක දිවිය 1998 දී ප්‍රකාශයට පත් වන්නේ Desert flower යන නමිනි.
ඔබ කාන්තාරයේ කුසුම කියවා ඇත්නම් ඇගේ කටුක ජීවිත කතාව පිළිබඳව මා නැවත නැවත විස්තර කළ යුතු නැත්තේය . 2009 වර්ෂයේ Desert flower චිත්‍රපටයට ද නැගේ . වාරිස්ගේ කථාව ආරම්භ වනුයේ සෝමාලියා වෙනි. සෝමාලියානු භාෂාවෙන් වාරිස් යන වචනයෙහි තේරුම කාන්තාරයේ පිපුණු කුසුම යනුවෙනි වචනයේ පරිසමාප්තියෙන්ම ඇය කාන්තාරය වැනි කර්කශ දේශගුණයක් සහිත පරිසරයක පිපුණු සුවඳ හමන කුසුමකි.
වාරිස් උපත ලබන්නේ සෝමාලියාවේ ඉතියෝපියාවට මායිම් ව පිහිටි කාන්තාරයේ ප්‍රදේශයක එඬේර පවුලකට දාව ය. ඇගේ පියාගේ උරුමය එයයි . උපතින් ඇයට උරුම වන්නේ අධික දරිද්‍රතාවයත් නූගත් කමත්ය . විශේෂයෙන් පුරුෂ මූලික සමාජයක ඇයට ජීවත් වීමට සිදු වේ. වාරිසගේ පියා ඒ පුරුෂ මූලික සමාජ භූමිකාව ඉටු කළ ද ඉලෙක්‍ට්‍රා සංකීර්ණයේ අඩුවක් නම් එහි නොවීය. වාරිස්ගේ පියා තම දියණියන් කුමාරිකාවන්ට සමාන කළේය. සත්‍ය ලෙස කුමාරිකාවන් නොවුණද කුමාරිකාවන් සේ ඔහු තම දියණිවරුන් රැක ගත්තේය . නමුත් ඔහුට පුරුෂ මූලික භූමිකාවෙන් උරුම කර දුන් ඒකාකෘතියෙන් මිදීමට නොහැකි විය .

ඒ වූ පීතෘ මූලික සමාජයේ ජීවත්වන වාරිස්ගේ මව තම වැදූ දරුවන් දොළොස සමග කාන්තාරය තුළ ඉතා කටුක දිවියක් ගත කරන්නීය. ඇයට නම් කාන්තාරය උපතින් උරුම නැත. ආදරය නමැති සැඩ සුළඟ විසින් ඇයව තම ස්වාමියාගේ සම්ප්‍රදාය අනුව කාන්තාරයට ඇදගෙන විත් ඇත.

වාරිස්ට කුඩා කල සිට පැරණි ගෝත්‍රික සම්ප්‍රදායට අනුව ජීවත් වීමට සිදු විය. නමුත් ඇයට තම කාර්යයට සරිලන ආකාරයේ අවම වශයෙන් වේලකට සරිලන අහරක්වත් නොලැබුණි . ඇතැම් දවස්වල දී කාන්තාරයේ ශුෂ්ක බව නිසාම දවස් කිහිපයක් කුසගින්නේ සිටීමට පවා වාරිස් හා වාරිස් ගේ පවුලට පුරුදුය .
මේ ශුෂ්ක බව ඇයට උරුම වුව ද ඇය ඒවා විඳ දැරිමට පුරුදු විය . නමුත් අමානුෂික චාරිත්‍රයක් ඇයට උරුම බව ඇය නොදත්තාය. ඇයගේ ගෝත්‍රයෙන් පැවත එන චාරිත්‍රයක් ලෙස ඇය ඉදිරියට එන ස්ත්‍රී චර්මඡේදනයට ලක් වීමට ඇයට සිදු වන්නේ කුඩා කාලයේ දී ම ය . ඇගේ ජීවිත පෙරළිය ඉන් නොනැවතී අවුරුදු 13ක පමණ වෙන විට ඇගේ පියා විසින් අවුරුදු 60ක පමණ මහලු පුරුෂයෙකුට ඇය විවාහ කර දීමට තීරණය කරනු ලබයි. ඒ ඔටුවන් පස්දෙනෙකුට ය. කාන්තාරයේ ජීවත්වන්නවුන් ඔටුවන්ගේ ප්‍රයෝජන පිළිබඳව ඉතා හොඳින් දනියි. ඇයගේ ගෝත්‍රයේන් හෝ ආගමෙන් උරුම වූ ලෙස ඇයට මේ මිනිසා සරණ පාවා ගැනීමට සිදු වේ. නමුත් ඇය ඇගේ සීමාවන් බිඳ දමා පවතින ක්‍රමය බිද දමා යැමේ අභිලාෂය මුදුන් පමුණුවා ගැනීමට මෙය අවස්ථාවක් කර ගන්නීය. ඒ අනුව ඇය තම මවගේ ද සහය ඇතිව ඇගේ නැන්දා කෙනෙකු සිටින එරට අගනුවර වන මොගඩිෂු වල වලට පැන යන්නීය. අහෝ ! අසරණ වාරිස් මොගඩිෂූ වලට යන ගමනේදී නොයෙක් අතවරයන්ට මුහුණ දීමට ඇයට සිදු විය. නමුත් ඒ හැමකින්ම ඇය බේරී පලා යන්නේ සිංහයෙකුට හසුවන්නට යන මුව පැටියෙකු දිව යන්නා සේ ය . කෙසේ හෝ ඇයගේ වාසනාවේ දොරටු කටුක ලෙස වුවද හැරෙමින් පැවතිණි. ඇයට ලන්ඩනයේ තම මාමාගේ නිවසට යෑමට අවස්ථාව හිමි වන්නීය. ඒ එවකට ලන්ඩනයේ තානාපති ධුරය දැරූ තම මාමාගේ නිවසේ වැඩකාරිය ලෙසය . එහි සිට ඉංග්‍රීසි වචන එකින් එක කෙසේ හෝ ගලපා ගනිමින් මෙහෙකාරියක ලෙස කාන්තාරයේ කටුක ජීවිතයෙන් මිදී ජීවිතය ගත කළාය. වසර හතරක මාමාගේ ධුර කාලය අවසන් විමත් සමග වාරීස් නීති විරෝධී ලෙස එංගලන්තයේ සැඟව ජීවත් වීමට පටන් ගනී. ඇයට සෝමාලියාවට නොයන්නට ඇයට දහසක් හේතු ඇත්තේය. නමුත් එංගලන්තයේ සිටීම ඇයට යහපතක් යැයි අනිවාර්ය ලෙස සිතෙන්නට ඇත . ඇය දැන් නීති විරෝධී සංක්‍රමණිකයෙක් වී හමාරය. ඇයට ලන්ඩනයේ මැක්ඩොනල්ඩ්හී සේවය කිරීමට අවස්ථාව හිමි වූයේ ඇය නීති විරෝධී සංක්‍රමණිකයෙක් වීම නිසාමය .මන්දයත් එකල නීති විරෝධී සංක්‍රමණිකයන් අඩු මුදලට සේවය යෙදවීමේ කටයුත්ත පහසු විය. මෙලෙස ශ්‍රම සූරා කෑමකට ඇයට නොදැනුවත්වම ලක්වීමට ඇයට සිදු වන්නීය .
ජීවිතයේ යම් යම් දේවල් සිදුවන්නේ යම් හේතුවක් නිසා ය. සැබෑය, වාරිස්ගේ සිය ජීවිතය කනපිට පෙරලෙන්නේ මෙහිදීය මැල්කම් ෆෙයාර්චයිල්ඩ් නම් ඡායාරූප ශිල්පියාට ඇයව හමුවේ. ඔහු ඇගේ ඡායාරූපයක් ගැනීමට ඇගේ නැන්දාගෙන් අවසරය පැතුව ද එයට අවසර හිමි නොවේ. ඇය ඒ පිළිබඳව දන්නේවත් නැත පසුව තානාපති නිවසින් ඉවත් වූ පසු වාරිස් ඡායාරූප ශිල්පියා හමුවී ඡායාරූපයක් ගැනීමට එකඟ වෙයි. ඉන්පසු ඡායාරූප ශිල්පී ටෙරන්ස් ඩොනොවන්ගේ ඇසට වාරීස්ව හසු වේ. වාරිස්ගේ සංස්කෘතිය විසින් ඇයට උරුම කර දුන් ඒකාකෘතිය නිසාම ඇය මුලදී යම් කිසි පැකිලීමක් කළ ද ඇය පසුව එදා කාන්තාරයෙන් පැන ආ ලෙසටම තම සම්ප්‍රදාය බිඳ දමා ඔහුගේ ඡායාරූප වලට පෙනී සිටීමට තීරණය කරයි. එම ජායාරූප ඉතාමත් ප්‍රසිද්ධියට පත් වීමත් සමග ඇය නිරූපණ ක්ෂේත්‍රයට පා තබන්නීය . ඇයට chanel, levis , loreal සහ revlon වැනි ලොව ප්‍රමුඛ පෙළේ වෙළෙඳ නාම සඳහා වෙළඳ දැන්වීම් වලට පවා පෙනී සිටීමට වාසනාව හිමි විය .මේ ආකාරයට 1997 වන විට ඇය තවත් දුක්ඛිත මතක ගොන්නක් සමග වුවද නිරූපණ ක්ෂේත්‍රයේ උච්චතම අවස්ථාවට ඒමට හැකි විය. මේ අවධියේ දී ඇය විසින් ඇයට මුහුණ දීමට සිදු වූ අමානුෂික ලිංගික හිංසනය පිළිබඳ ලොවට ප්‍රසිද්ධියේ හෙළි කළා ය . එතැන් පටන් ඇය ස්ත්‍රීන් චර්මඡේදනය කිරීමට විරුද්ධව දැඩි ලෙස හඬක් නැගූ අතර ඇයව එක්සත් ජාතීන්ගේ නියෝජිතයකු වශයෙන් ද පත් කලාය.
ඇය ඇයගේ ජීවිත කතාව මෙලෙස කාන්තාරයේ කුසුම ග්‍රන්ථය තුළින් ගෙනහැර දක්වයි . ඇයට මේ සියලු දේ උරුම වූයේ උපතින් ඈ කාන්තාරයේ ඉපදීම නිසාය . ඇය තමන් කාන්තාරයේ ඉපදීම ගැන දොස් නගන්නේ නැත
“ කාන්තාවක් වීම පිළිබදව මා කුමක් දැන සිටියේ ද අප්‍රිකානු කතක් වීම පිළිබඳව නම් මා බොහෝ දේ දැන සිටියා. වේදනාව තුරුළු කරගෙන නිශ්ශබ්දව කුඩා දරුවෙකු මෙන් ඒ සියල්ල විඳ දරාගෙන ජීවත් වීමට මා දැන සිටියා “
ජීවිතයේ එක් කාලයක තමන් ඒ තරම් දුක් ගැහැට විඳ ද කෙතරම් කුසගින්නේ සිටිය ද කුමන දුෂ්කරතා ඇය වින්දද ඇයට ඒවායින් අයහපත අත්කර දුන්නේ නැත. ඇයට තමා තුළ නිරායාසයෙන්ම පවතින උණුසුම් ස්වභාවය, පවුලේ බැඳීම ,සාමාජීය බැඳීම මෙන්ම විශේෂයෙන් ම තමා ද ස්වභාව ධර්මයේ ම කොටස්කාරයෙක් සේ දැනෙන හැඟීම සත්ව කරුණාව හා නිහතමානී සතුටු වීම් වැනි දෑ ඈ හට උරුම වූයේ මේ අප්‍රිකානු සම්භවය නිසාම බැව් ඈ ප්‍රකාශ කරන්නීය . ඇය ඇගේ අතීතය භාරගන්නා අතර එයට ශාප කරමින් නොසිටිම තුලින් ඇයගේ නිහතමානී බව පෙන්නුම් කෙරේ.
පෙර නිදසුන් ගත් කල කාන්තාරයේ කුසුම ඒ බව නැවත නැවතත් සනාථ කරමින් සිටින්නේය. සංස්කෘතිය තුළ වූ හෝ සමාජයෙන් උරුම වූ ආගමික සංකල්පය තුළින් නොදැනුවත්වම අතිවිශාල ජනකායක් පාලනය වෙමින් ඔවුන්ගේ නිදහස අහිමි කරගනිමින් කටයුතු කරනු ලබන්නේ ය. ඔවුන්ගේ චින්තනය යම් රාමුවකට කොටු කර ඇත්තේය..
“ආගමක් යනු තම තමන්ගේ පෞද්ගලික තෝරා ගැනීමකි. විමුක්තිය සොයා ගැනීම සඳහා අප කිසියම් ආගමකට යටත්ව හෝ අයත් ව සිටිය යුතු වේ. අප හැම දෙනා වෙතම දිව්‍යමය ශක්තිය සම්බන්ධ ව පවතී. ” යනුවෙන් මේරි බ්‍රවුන් සඳහන් කරන්නීය
“ඔබ ඉපද ඇත්තේ නිදහස වශයෙනි සිදුව ඇත්තේ එය අමතක කර ලීම සඳහා ඔබ තත්වාරෝපණය කොට තිබීමයි .” යනුවෙන් ඕෂෝ ද ප්‍රකාශ කරන්නේය. මෙහිදී විකෘති වූ ඉස්ලාමය දෙසට දෑත දිගු කිරීම සාධාරණීය යි සිතේ. එමෙන්ම එම අදහස ඉදිරියේ ලොව සියලු ආගම් නිහඬය.
ලන්ඩනයේ වාරිස්ගේ නැන්දා සහ වාරිස් අතර තිබෙන ගැටුමේ දී ඒ බව නිතර නිතර ඉස්මතු වෙයි .කාන්තාරයේ කුසුම සැබෑ ජීවිත කතාවක් හෙයින් මෙය මනංකල්පිත හෝ ප්‍රබන්ධයක් යැයි කීමට ද නොහැක. වාරිස්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය, මැල්කම් ෆ්‍රෙයාර්චයිල්ඩ් ඡායාරූප ශිල්පියාට අවුරුදු දෙකක් පමණ වාරිස්ගේ ඡායාරූපයක් ගැනීම සඳහා බලා සිටින්නට සිදු වන්නේ ඒ නිසාමය. වාරිස්ගේ නැන්දා පළමුව ඇගේ ඡායාරූපයක් ගැනීමට එන මැල්කම්ව හරවා යවන්නේ ඇය ඉහත මා සඳහන් කළ ඉස්ලාම් කාන්තාව එල්බගෙන සිටින රාමුගත ජිවිකාවේ කොටසක් එළිදක්වමිනි.
“ මන් දන්නෑ කවුද මිනිහෙක්…. ඒ මිනිහට ඔයාගේ පින්තූරයක් ගන්ඩ උවමනා ලු, ඒ හින්දා ඔයත් එක්ක ඒ ගැන කතා කරගන්න ආවා කියලා කිව්වේ….. විකාර! ඇය මා දෙස තීව්‍ර බැල්මක් හෙලමින් කීවාය “ ඇතැම් විචාරකයන් පවසන්නේ මෙහිදී පුරුෂාධිපත්‍යයක් ද මතු වී තිබෙන බවයි. එනම් යමෙකුට යටත්ව කාන්තාව සිටිය යුතු යැයි යුතු යැයි හැඟවෙන බවද ඇතැම්හු විස්තර කරති. කාන්තාරයේ කුසුම දෙස බැලූ කල ඇයට බලහත්කාරකම් වලට කුඩා කල සිටම මුහුණ දීමට සිදුවිය. තම පියාගේ මිතුරෙකු වූ ගුබාන් අතින් අතවරයට පත්වන ඇයට නැවත ඇය නිවසින් පලා ආ විට ලොරි රථ රියදුරා සහ තම මාමාගේ නිවස සොයා ගැනීමේදී වෙළඳපොලේ හමු වූ මිනිසා වැනි කෲර ලෙස සැලකූ පුද්ගලයන් හමු වේ . කාන්තාරයේ දී නම් තම දියණියට අතවර කළ පුද්ගලයා සොයා ගොස් මාරාන්තික සටනකින් පසු ගෙදර ආ වාරිස් ගේ පියා මෙහිදී පසක් කළ යුතුය. ඇයට මෙම අතවරය වන විට ඇගේ පියා ඈ ළඟ නොමැත . හජ්ජි හට වාරිස් පහර දී එම සිද්ධිය ඒ මොහොතේ වළක්වා ගත් අතර හජ්ජිට එරෙහිව ඇගේ නැන්දා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තා ය .මේ තුළ මතභේදාත්මක අයුරින් ආගමික පරිසරය හා සාමාජීය පසුබිම ද ඍජු ලෙස ඝට්ටනයට ලක් වේ .
අප්‍රිකානු සමාජයේ තිබූ යම් යම් ක්‍රියාකාරකම් යම් යම් ගෝත්‍ර කණ්ඩායම් තුළ තිබූ උප සංස්කෘති ආදිය ආගමික පිළිවෙත් සමග මුසු වන්නට ඇත යනුවෙන් කාර්මෝඩි විද්වතුන් දෙදෙනාගෙ මතයයි. මේ නිසාම අප්‍රිකානු ඉස්ලාම් ජාතිකයන් අතර පවතින භගමණි අපෝනොදය වැනි චාරිත්‍රයක් තවත් රටක දක්නට නොලැබේ. කාන්තාරයේ කුසුමේ එන වාරිස්ට මෙම අත්දැකීමට මුහුණ දීමට සිදු වන්නීය .ඇය ලන්ඩනයේ ජීවත්ව සිටියදී තමනට සිදුවූ අමානුෂික ක්‍රියාකාරකම පිළිබඳව මහත් සේ වේදනාවට පත් වේසොමාලී සමාජය පීතෘ මූලික නීතියෙන් හැඩගැසුණු දරදඬු සමාජයකි . සොමාලී සමාජය තුළද මේ සුන්නත් කිරීමේ කටයුත්ත පිළිබඳව යම්කිසි ඉදිරිගාමී සිතුවිලි මුල් බැස තිබූ ආකාරය කතාව පුරාවට අපට හමු වේ. විශේෂයෙන් බාහිර ලෝකයෙන් වෙන් වූ කාන්තාරය තුළ බරපතළ ලෙස අමානුෂික අයුරින් එය සිදුවන්නේය. දිනක් පියාගේ මිතුරෙකු වාරිස් හා ඇයගේ සොහොයුරියට කරන ලද චෝදනාවෙන් එය පසක් කරවයි.
මිතුරා මහලු අයකු වූ අතර දිනක් ඔහු මට සහ මගේ නැගණියට මෙසේ කියමින් බැණ වැදුණේය “තාම සුන්නත් කරලත් නැහැ එන්ඩ එපා මගේ දෑහැට පේන්ඩ
මෙවැනි ආකාරයට සමාජය තුළින් ද සුන්නත් නොකල ගැහැණු ලමුන් ප්‍රතික්ෂේප කරන්නට විය. විශේෂයෙන් සුන්නත් නොකල ගැහැනියට විවාහය අකැප යැයි විශ්වාසයක් ඒ සමාජය තුළ තිබිණි. මෙවැනි ඒකාකෘති නිසාම සෝමාලියාව තුල කාන්තාවන් බොහෝ අයට මේ ඉරණම අත් විදීමට සිදු වන්නීය.
වාරිස් මෙම කෘතියේ අවසානයේ දී පුරුෂ මූලික සමාජයට තදබල ලෙස චෝදනා කරන්නීය.
ගෝත්‍රිකව හෝ ආගමිකව විකාශය වී පැමිණි මේ කෲර චාරිත්‍රයෙන් , පුරුෂයා කාන්තාව තේරුම් ගත යුතු බවත් පුරුෂයා කාන්තාව පහත් කොට සැලකීම, මේ ඉරණම ගැහැණියට අත් විඳීමට හේතු වූ බවත් ආගමික කාරණා තුළ ද කාන්තාව පුරුෂයාට වඩා පහතින් තබා යම් රාමුවකට කොටු කර අර්ථ දැක්වෙන බවත්, ඒ නිසා ඉන් මිදීමට කාන්තාවට අසීරු බවත් මෙයින් ජනිත කරවයි“ ස්ත්‍රී චර්ම ඡේදනය මෙන්ම මෙම ගෝත්‍රික යුද්ධ ඇතිවීමට හේතුව අන් කිසිවක් නොව මිනිසුන් තුළ ඇති ආත්මාර්ථකාමය , මමංකාරය සහ ක්‍රෝධය යි. පුරුෂ පක්ෂ මීට වඩා සුබවාදීව කටයුතු කළහොත් මේ පවතින යුද්ධ හොරකම් ස්ත්‍රී දූෂණ ආදිය අහෝසි වනවා ඇත.
මෙහිදී විවාහය ගැන නම් සාකච්ඡාවට බඳුන් විය යුතුමය. සෝමාලියානු සමාජය පීතෘ මූලික සමාජයක් බව අප දන්නේ ය. මෙහිදී පියාට අවශ්‍ය ලෙස තම දියණියන් විවාහ කර දීමට හැකිය. වාරිස්ගේ සොහොයුරිය අමන් නිවසින් පලා යන්නේ පියාගේ විවාහ යෝජනාවට විරුද්ධ වෙමිනි. එමෙන්ම වාරිස් ද තම නිවෙස අතහැර පලා එන්නේ තම පියා විසින් නාකියකුට ඇයව විවාහ කර දීමට යාම නිසාය. ඇත්තෙන්ම එය විවාහය ලෙස අර්ථ දැක්වීමට වඩා ඔටුවන් පස් දෙනකුට වාරිස්ව ගනුදෙනු කිරීම වැනි අර්ථයක් ලබාදිම සුදුසුය . කුරාණයේ මෙම විවාහය ගැන සදහන් තොරතුරු ගන්නා කළ පුරුෂයන්ගේ කැමැත්ත මත ස්ත්‍රීන් අයිතිකර ගැනීම සුදුසු නැති බව සඳහන් වේ. කාන්තාරයේ දී නම් පිරිස් බලය වැඩි කර ගැනීමේ අරමුණින් එනම් ජලය සොයා යාම, සතුන් බලා ගැනීම වැනි අරමුණු වලින් පවුලට ගැහැනුන් එක් කරගැනීම සිදුවිය. ආගමික පැතිකඩකින් ද අනුමත කර ඇති නිසා ගැටලුවක් සමාජය තුළ නොමැත්තේය .
“ ආ…. එහෙනම් ඔක්කොම ඇවිල්ල මගේ අලුත් බිරිඳ හඳුනා ගනිල්ලා අවුරුදු දාහතක් පමණ වයසැති කෙල්ලෙක් ඉදිරියට තල්ලු කරමින් ඔහු කීවේය. පියාගේ තීරණයට විරුද්ධව කිසිවක් පැවසිමට කිසියම් අයිතියක් නොමැති අප ඇය දෙස බලා සිටියෙමු “
“ මගේ අම්මාගේ මුහුණ මම අඩ අඳුර තුළින් දුටුවෙමි. ශෝකයෙන් බරිත වූ ඇගේ මුහුණ බිමට නැඹුරු වී තිබූණි .තම ස්වාමි පුරුෂයා ඇයට අහිමි වී මේ කෙලි පැටික්කිට ඔහු හිමි වී ඇති බව අම්මා තේරුම් ගත්තා ය. උතුරා යන ඊර්ෂ්‍යාවකින් ඇය පෙළෙන්නට වූ අතර ඇය සිත දැඩි කර ගනිමින් එය නොපෙන්වා සිටින්නට උත්සාහ කළා ය “
ශ්‍රී ලංකාව වැනි සන්දර්භයක නම් අන් භාර්යාවක් කරා පුරුෂයෙක් ගිය විට එය ඉතාමත් දරුණු ප්‍රතිඵල අත්කර දෙයි. එය සංස්කෘතික වශයෙන් ද ආගමික වශයෙන්ද සදාචාරාත්මක නොවන දෙයක් ලෙස ඒත්තු ගන්වා ඇත
වාරිස් කුඩා කාලයේදීම තමන් ජීවත් වූ සම්ප්‍රදාය කඩා බිද දමමින් ඉදිරියට එන්නියක ලෙස විවාහය ගැන ද සාම්ප්‍රදායික ඒකාකෘකෘතිය ට යටවූ සෝමාලි ගැහැණියට වඩා යම් චින්තනයක් ඇත්තේය
“ ඇයි අම්මේ…. මම කසාද බැදිය යුතු ම ද? ගැහැනියක් උනාම කසාද බඳින්නම ඕනෑ ද? ඔයා කැමැති නැද්ද මම නිදහස් , සාර්ථක ගැහැනියක් වෙලා ඉන්නවා දකින්න අනෙක මම තවමත් අවිවාහකව ඉන්නේ ඒකට හරියන කෙනෙක් හම්බ වෙච්චි නැති හින්දා… ඒ සුදුසු කෙනා හමු වුන දවසට ඒක සිද්ධ වෙයි “
පරිසරය ඇසුරින් මිනිසා වෙනස් වන බවත් පුද්ගල චර්යාවන් පමණක් නොව චින්තනය ද ඒ අනුව වෙනස් වන බව මාක්ස්වාදීන්ගේ පිළිගැනීමයි. වාරිස්ගේ මේ වෙනස්වීම ඉහත ප්‍රකාශය මැනවින් සනාථ කරවයි. සාම්ප්‍රදායික කාන්තාවක් වන වාරිස්ගේ මව සහ වාරිස් අතර සංවාදය තුළ එය මනාව කැපී පෙනෙන්නේය. කාන්තාව තුළ පමණක් නොව වාරිස්ගේ සහෝදරයා හා වාරිස් අතර ද එය මනාව විශද කරවයි .
ඔවුන්ගේ මුහුණ වසා තැබේ. ඔවුන්ගේ සිරුරු ද හැකි සියලු අයුරින් ම ආවරණය කෙරේ. ගැහැණියට අධ්‍යාපනයක් නොසැපයේ මක්නිසාද අධ්‍යාපනය පුද්ගලයින්ව විස්මිත ආකාරයේ සිතුවිලි ගෙන දෙන හෙයිනි. පුද්ගලයෝ එවිට සිතන්නට පටන් ගනිති තර්ක කරන්නට පටන් ගනිති ……….”
ජෝන් ලොක් , ස්පිනෝසා වැනි දාර්ශනිකයන් දක්වන ආකාරයට පුද්ගලයාගේ අනුභූතීන් තමා අදහන දේ සමග මුහු වන බවට මෙම කෘතියෙන් උදාහරණ සැපයේ.
“ මගේ නැගණිය දෙස මා එක එල්ලේ බලා සිටින විට අම්මා මට කම්මුල් පහරක් ගැසුවාය. මගේ නැගණිය මිය ගියේ මා සතුව තිබූ කිසියම් හූනියම් බලයක් නිසා යැයි නිරන්තරයෙන්ම පැවසූ මගේ අම්මා ඇගේ මරණයෙන් බොහෝ කලක් ගතවන තුරුම එසේ කියමින් මට දොස් නැගුවා ය. “
මිනිසාට කළ නොහැක්කක් නොමැති බව දාර්ශනික හේගල් පවසයි එමෙන්ම ලොව ඕනෑම මිනිසෙකුට තම ස්වච්ඡන්දතාවයෙන් යුතුව ක්‍රියාත්මක වීමේ නිදහස හිමිය . එමෙන්ම ඒ සමගම වගකීමක් ද මිනිසාට එක්වේ . වාරිස්ද අද වන විට එම වගකීම තම කරපිටට ගෙන ඇත්තේය. සම්ප්‍රදායේ නාමයෙන් කෙරෙන අමානුෂික ක්‍රියාවන් හා කාන්තාවන් පහත හෙළීම වැනි කාරණා හෙළාදැකීමට වාරිස් ගත් පියවර සදා නොමියෙනු ඇත!
එච්.සුදේශ් අබේනායක
ජනසන්නිවේදනය ශ්‍රාස්ත්‍රවේදී (ගෞරව) ප්‍රථම වසර
කැලණිය විශ්වවිද්‍යාලය

Share with your friends :