20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ නම් එය මහා සංඝරත්නයේ අනුමැතිය ඇතිව සිදු කරන ලෙසත් හිතුවක්කාරකමට සංශෝධනය ගෙන එනවා නම් මහා සංඝරත්නය කිසිසේත්ම එයට එකඟ නොවන බව පැවිදි හඬ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ප්‍රකාශ කළහ.
මහා සංඝරත්නයට පිටුපා දී යමක් ගෙන ඒමට කවුරුන් හෝ සූදානම් වන්නේ නම් ඒ සියලු දෙනාටම පිළිතුරු දෙන්නට සංඝරත්නය සූදානම් බවද උන්වහන්සේ කියා සිටියේ නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
වත්මන් ආණ්ඩුව පත් කර ගැනීමට තමන් වහන්සේලා මුල් වූ බව සැබෑ නමුත් අද ආණ්ඩුවට තමන් වහන්සේලා සිටින බවක් ගැන අවබෝධයක් නැති වීම ගැන කනගාටු වන බවත් ආණ්ඩුව බලයට පත් කිරීමට කැප වූ පිරිස අමතක කර දමා අලුත් අය දමාගෙන ඔවුන්ගේ උපදෙස් මත යන ගමනට දැඩිව විරෝධය පළ කරන බව ද උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.
2015 වසරේ මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමෙන් පසුව ඔහුගේ සියලු දේශපාලන කටයුතු සඳහා යොදා ගැනුනේද නාරාහේන්පිට අභයාරාමයයි.