බොලිවුඩයේ සුපිරි නළුවකු වන සයිෆ් අලී ඛාන් තියුණු ආයුධයකින් කළ පහර කෑමක් හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණි.
සයිෆ් අලී ඛාන් තුවාල ලබා ඇත්තේ ඔහුගේ මුම්බායි නිවසේ සිටිද්දී, අලුයම 2.30 ට පමණ යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මුම්බායි ලීලාවතී රෝහලට ඇතුළත් කෙරුණු සයිෆ් අලී ඛාන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරුන් කටයුතු කර ඇත.
සිද්ධිය සම්බන්ධයන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, නිවසට අනවසරයෙන් ඇතුළු වුණු පුද්ගලයකු පහර දීම සිදු කරන්න ඇති බවත් ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් පවසා ඇත
මුම්බායි නුවර බාන්ද්ර ප්‍රදේශයේ පිහිටි ප්‍රවීණ බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්ගේ නිවසේ අද (16) උදෑසන සිදුවූ පහරදීමේ සිද්ධියේ සැකකරු පළමු වරට CCTV දර්ශනයක හසුවී ඇති බව ඉන්දියා ටුඩේ වාර්තා කරයි. පැය 02:33ට වාර්තා වූ මෙම දර්ශනයේ සැකකරු පිටුපස බෑගයක් සහ වම් උරහිසේ රතු පැහැති රෙදි කඩක් පැළඳ සිටින අයුරු දක්නට ලැබේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බාන්ද්ර පොලීසිය සහ අපරාධ අංශය විසින් මෙම CCTV දර්ශන අනාවරණය කරගෙන ඇත. සැකකරු තවමත් අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටින අතර, ඔහු නිරන්තරයෙන් ස්ථානය වෙනස් කරමින් සිටින බව පොලීසිය පවසයි.
පරීක්ෂණවලින් හෙළිවී ඇති පරිදි සැකකරු ගිනි නිවීමේ පඩිපෙළ ඔස්සේ ඛාන්ගේ 12 වන මහලක පිහිටි නිවසට ඇතුළුව ඇත. කෙසේ වුවද, ආරක්ෂිත දොරවල්, සීසීටීවී කැමරා සහ අගුලු තිබියදී ඔහු ඇතුළු වූයේ කෙසේදැයි තවමත් පැහැදිලි නැත.
සිද්ධිය වූ අවස්ථාවේ සැකකරු ළමා කාමරයට ඇතුළුව සිටි අතර, එහිදී ගෘහ සේවිකාව වන ලීමා සමග ඇතිවූ ආරවුලෙන් පසු ඇය කෑගැසීම නිසා සයිෆ් අලි ඛාන් පැමිණ තිබේ. සැකකරු අත තිබූ කපන ආයුධයකින් ඛාන්ට පහර දී ඇති අතර, එහි කොටසක් සයිෆ්ගේ කශේරුකාවේ රැඳී තිබී ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට සිදුව ඇත.
ලීලාවතී රෝහලේ වෛද්‍ය වාර්තා අනුව සයිෆ් අලි ඛාන්ට දැඩි ලෙස රුධිරය වහනය වී ඇති අතර, ශල්‍යකර්මයෙන් පසු ඔහුගේ තත්ත්වය ස්ථාවර බව වාර්තා වේ.
පොලීසිය පවසන පරිදි මෙය සාමාන්‍ය සොරකමක් විය හැකි අතර, සැකකරු සූදානමින් පැමිණ ඇති බව ඔහු රැගෙන ආ බෑගයෙන් පැහැදිලි වේ. සයිෆ් අලි ඛාන්ගේ නිවස බව දැන හෝ නොදැන සිදුකළ මෙම පහරදීමේදී සැකකරු මිනීමැරීමේ උත්සාහයේ චෝදනාවටද මුහුණ දෙනු ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින අතර, සැකකරු කොපමණ වේලාවක් නිවස තුළ සැඟව සිටියේද, කුමක් සොරකම් කිරීමට උත්සාහ කළේද යන කරුණු තවමත් පැහැදිලි නැත.
සුපිරි නිලි කරීනා කපූර්ගේ සැමියා වන සායිෆ් ගේ මව සුරූපී නිලි ශාමිලා තගෝර්ය . ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වූ මන්සූර් අලි ඛාන් ඔහුගේ පියාය.