ලංකා විදුලිබල මණ්ඩලය ඉන්ධනවලින් නිෂ්පාදනය කරන විදුලිය හෙවත් ‘තාප විදුලය’ සඳහා සිල්ලර මිලට ඉන්ධන මිලදීගැනීම නිසා වාර්ෂිකව රුපියල් බිලියන 56 ක් හෙවත් රුපියල් කෝටි 5,600 ක පමණ පාඩුවක් වන බවත් තාප විදුලිය නිෂ්පාදනයට සහන මිලට ඉන්ධන ලැබෙන්නේ නම් විදුලි ගාස්තුව සියයට 11 කින් අඩු කළ හැකි බවත් මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය.
මහජන උපයෝගිතා කොමිසම මාස හයකට රුපියල් බිලියන 28 ක් බැගින් බිලියන 56 ක පාඩුවක් ඇති බව උපදේශන වාර්තාවක් හරහා විදුලිබල මණ්ඩලය දැනුවත් කර ඇති බවත් එයට ප්රතිචාරයක් මේ දක්වා ලැබී නොමැති බවත් එම නිලධාරියා කීය.
තාප විදුලි නිෂ්පාදනය සඳහා ඩීසල්, නැප්තා සහ දැවිතෙල් පාවිච්චි කරන බව කී එම නිලධාරියා විදුලිය නිෂ්පාදනය සඳහා ඩීසල් විශාල ප්රමාණයක් ජනතාව ඉන්ධන පිරවුම්හලෙන් ගන්නා මිලටම විදුලිබල මණ්ඩලය ගන්නා බව ද සඳහන් කළේය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව පිරිවැය ආවරණය කරගන්නා මිලකට විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්ධන සපයන්නේ නම් විදුලිබල මණ්ඩලයට වාර්ෂිකව රුපියල් මිලියන 56 ක් ඉතිරිගැනීමේ වාසිය මෙරට විදුලි පාරිභෝගිකයන්ට දීමේ අවස්ථාව ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය