27 C
Colombo
19/01/2025

ඉඩම් බදුගත් 401 කගෙන් ඉඩම් කොමිසමට කෝටි 118 ක බදු පොල්ලක්

Share with your friends :

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ඉඩම් බදුගත් 401 දෙනෙකුගෙන් රුපියල් 1,180, 434,743 ක හිග බදු මුදලක් රජයට අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවකින් අනාවරණය කරයි.

මෙම බදුකරුවන්ගෙන් 116 දෙනෙකුට පමණක් ගිවිසුම් මත ඉඩම් බදුදී ඇති අතර 2023 දෙසැම්බර් 31 දිනට හිඟව පවතින මෙම මුදලින් රුපියල් 904,486,633 ක හිග බදු ප්‍රමාණයක් අයවිය යුතු බදු කරුවන් 285 දෙනෙකුට ඉඩම් ලබාදී ඇත්තේ නීත්‍යනුකූල බදු ගිවිසුමකට එළඹීමකින් තොරව බවද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අදාළව 2023 වර්ෂය වෙනුවෙන්වු මෙම විගණන වාර්තාවේ සඳහන් වේ.

සමාලෝචිත වර්ෂය තුළ හිග බදු මුදලින් අයකරගත් වටිනාකම සියයට 13 ක් බවද නීත්‍යනුකූල බදු ගිවිසුම් නොමැතිව බදු දී ඇති ඉඩම් වෙනුවෙන් හිග බදු මුදල් අයකර ගැනීම සඳහා නඩු මාර්ගයකට යාමට නොහැකි වී ඇති බවද විගණන කාර්යාලය සඳහන් කරයි.

බදු දී ඇති ඉඩම් වෙනුවෙන් නීත්‍යනුකූලව ගිවිසුම්වලට එළඹීමට කටයුතු කළ යුතු බවට විගණන කාර්යාලය කොමිෂන් සභාවට නිර්දේශ ලබාදී තිබේ.

මේ හිග බදු අයකර ගැනීමට නීතිමය පියවර ගත යුතු බදුකරුවන් ගණන 246 ක් බවත් ඉතිරි පිරිසෙන් වාරික හා වාර්ෂික පදනමින් බදු අයකර ගත හැකි බවත් ඒ අනුව ඉදිරි පියවර ගනිමින් පවතින බවත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විගණනය වෙත දන්වා ඇත

Share with your friends :