27 C
Colombo
24/11/2024

‘ජන පීඩක IMF ගිවිසුම ක්‍රියාත්මක කිරීම ජනවරමට පිටුපෑමක්’ – විපක්ෂ නායක

Share with your friends :

හිටපු රජයේ ජන පීඩිත අයි එම් එෆ් ගිවිසුමම වත්මන් රජය ක්‍රියාත්මක කරනවා යැයි පැවසීම ජනවරමට පිටුපෑමක් යැයි සමගි ජන සන්ධාන නායක,

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු එබව කියා සිටියේ, පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඊයේ (නොවැ. 21) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වත්මන් රජය එදා මැතිවරණ වේදිකාවේ ඉදිරිපත් කළ යම් යම් කරුණු කාරණා සහ අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ කරුණු කාරණා අතර පරස්පරයක් ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කිරීමේ දී, ද්විපාර්ශ්වීය ණය, සෛරී බැඳුම්කර ණය ආදී ක්ෂේත්‍ර ගැන ඉදිරිපත් වූ කරුණු කාරණා ගැන යම් ආකාරයක තිගැස්මකට පත් වූ බවත් වේදිකාවේ අහන්න ලැබුණේ පවතින අයි එම් එෆ් ගිවිසුම වෙනස් කර නව ගිවිසුමකට යාම වුවත් මේ වන විට රජය ඉන් බැහැර වී ඇති බවත් එය බරපතල කරුණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හිටපු ජනපති පාරේ වත්මන් රජයත් යනවා පේනවා

රටේ ජනතාව ඓතිහාසික වාර්තාගත ජන වරමක් ලබා දීමත් සමඟ අයි එම් එෆ් ගිවිසුමේ ඇති පීඩකාරි අසහනකාරි දේවල්වලට විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළත් හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය අනුගමනය කළ ක්‍රියාදාමය වත්මන් රජය අනුගමනය කරන බවක් පෙනෙන්නට ඇති බවත් ජනතාව තුනෙන් දෙකක වරමක් ලබා දුන්නේ හිටපු ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළ අයි එම් එෆ් ගිවිසුම ක්‍රියාත්මක කරන්න නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

ජනවරමට ගරු කර අයි එම් එෆ් ගිවිසුම වෙනස් කරන්න

සමගි ජන බලවේගය ද වේදිකාවේ කිව්වේ අයි එම් එෆ් රාමුව තුළ සිට පවතින ගිවිසුම ජනතාවාදීව වෙනස් කරන බව වුවත් අද වන විට වත්මන් රජය පැරණි ආකාරයට ඉදිරියට යන බව දක්නට ලැබුණු බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ දුප්පත්කම තුරන් කිරීම, ගර්භනී මව්වරුන් ළදරුවන් දරුවන් වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර මන්දපෝෂණය තුරන් කර දේශීය ආර්ථිකය ගොඩනැංවීමට, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට විවිධ අපනයන වෙළෙඳපොළ හා කටයුතු කිරීම යන කරුණු කාරණා තිබුණත් ඒවා ක්‍රියාවට නැංවිය යුතු බවත් කතාව ක්‍රියාවට නැංවීමට සහාය දෙන බවත් ය.

මැතිවරණ පොරොන්දු ඉටු කරන්න කාලය හරි

නමුත් පවතින අයි එම් එෆ් ගිවිසුම ක්‍රියාත්මක කිරිමට වත්මන් රජය බැදී සිටිම ගැන පුදුම වන බවත් වැට් බදු හා බදු ව්‍යුහය මෙන්ම සමස්ත ආර්ථික ක්‍රියාදාම ක්‍රියාවලිය පැරනි ආකාරයට ක්‍රියාත්මක කිරිමට නම් ජන වරමක් ලබා නොදුන් බැවින් පොරොන්දු වූ වෙනස් කම් කරන ලෙස ඉල්ලා සිටින බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේය.

හොඳ දේකට නම් අපිත් සහාය දෙනවා

රට වැටී ඇති දැවැන්ත අර්බුධකාරී තත්ත්වය තුළ සියලු දෙනා අත්වැල් බැඳ ගෙන රට ගොඩනගන වැඩපිළිවෙළට සහය දිය යුතු බවත් රටටත් ජනතාවටත් ධනාත්මකව සෙත සැලසෙන සෑම ක්‍රියාදාමයකටම උදව් කළ යුතු බවත් යම් අඩුපාඩුවක් වරදක් සිදුවන්නේ නම් එම වරද අඩුපාඩු පෙන්වා දෙනවා සේම එයට විරුද්ධව කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩි දුරටත් පැවසීය.

IMF එකඟතාවය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමට අදාළ තෙවැනි සමාලෝචනයේ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවය එළඹෙන 23 වනදා අත්සන් කිරීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් ඊයේ (21) පැවසීය.

ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් තව දුරටත් මෙසේද පැවසිය.

”අපි දන්නවා මේ ආණ්ඩුව භාරගන්නා විට අප විපක්ෂයේ දේශපාලනයේ යෙදෙමින් සිටියත් අපේ ආර්ථිකයේ තිබෙන ගැඹුරේ ප්‍රමාණය අප දැන සිටියා. අපේ ආර්ථිකය විශාල ගැඹුරක සහ විශාල ප්‍රමාණාත්මක පැතිරීමක සිර වී තිබෙන ආර්ථිකයක්. ඉතාමත් සියුම් හූයකින් එල්ලා තිබෙන ආර්ථිකයක් අපට තිබෙන්නේ. මේ ආර්ථිකයට විශාල කම්පනයන් ඔරොත්තු දෙන්නේ නැහැ. මේ ආර්ථිකයට විශාල හැරවුම් ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා බලය ගත් විගස අපේ අපේක්ෂාව බවට පත්වූණේ ආර්ථික ස්ථාවරත්වය සහ ඊට අදාළ කණ්ඩායම්වල විශ්වාසය තහවුරු කිරීම.

මේ ආර්ථිකයේ ඇති වී තිබෙන අර්බුදයේ ප්‍රමාණය මත අපේ කුඩා හෝ අත්වැරදීමක් මහත් ප්‍රතිවිපාක ගෙන දෙනවා. කුඩා හෝ කම්පනයක් මේ ආර්ථිකයට තවදුරටත් ඔරොත්තු දෙන්නේ නැහැ.

ඒ නිසා මේ ආර්ථිකය ඉතා සියුම්ව බිඳ වැටීමට ඉඩ නොතබා සෑම තීරණයක්ම සෑම අවස්ථාවකදීම පැති ගණනාවකින් කල්පනා කර ගත යුතු අවස්ථාවකට අප එළැඹ සිටිනවා. වැරදි කිරීමේ අවස්ථාවක් හෝ අත්වැරැද්දක් කිරීමේ අවස්ථාවක් මේ ආර්ථිකය තුළ අපට උරුම කර දී නැහැ. ඒ නිසා මේ ආර්ථිකය මෙහෙයවීමේ දී සියුම් හැම තැනක්ම හරියට කල්පනා කර සංවාදයට ලක් කර තීන්දුගත යුතුයි.

අප ජනාධිපතිවරණයේ දී ප්‍රකාශයට පත් කර තිබුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවට පැමිණෙන ලද රාජ්‍යයක් තමයි අපට ලැබෙන්නේ. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවක් තිබෙන රාජ්‍යයක, එම එකඟතාව බිඳ වට්ටා අපට ඉදිරි ගමනක් නැති බව අප තේරුම්ගෙන ඇති බව. ඒ අනුව අප ජනාධිපතිවරණයේ දී සහ මහමැතිවරණයේ දී ජනතාවට පොරොන්දුවක් දුන්නා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී තිබෙන මෙම එකඟතාවන්ට අනුරූපවන පරිදි ආර්ථිකය හැසිරවීමට අප සූදානම් බව.

ඒ අනුව අප දැනට ක්‍රියාමාර්ග කිහිපයක නිරත වෙමින් සිටිනවා. අපි කවුරුත් දන්නවා එහි තුන්වන සමාලෝචනය ප්‍රමාද වී තිබෙනවා. තුන්වන සමාලෝචනය අප ආරම්භ කළයුතුව තිබුණේ සැප්තැම්බර් මාසයේ. නමුත් ජනාධිපතිවරණය සහ මහමැතිවරණය හේතුකොට ගෙන තුන්වන සමාලෝචනය ආරම්භ කිරීම සඳහා අපට කාලයක් ගත වුණා.

මහමැතිවරණය අවසන් වූ වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය පසුගිය 17 වෙනිදා ලංකාවට පැමිණියා. අප ඔවුන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් සිටිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට මෙම 23 වනදා එළැඹීමට හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා. එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඉදිරියට යන ගමනේ ඉතාමත් තීරණාත්මක පියවරක්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවන්ට අනුව කටයුතු කරනවා

ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එකඟවූ වැඩසටහන් ඇතුලේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැට ගැසී තිබුණා. අප බලය ගන්නා විටත් ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ එකඟතාවකට පැමිණ තිබුණා. ඒ වාගේම වාණිජ වෙළෙඳපොළේ ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර පිළිබඳ සාකච්ඡා ආරම්භ කර තිබුණා. එම සාකච්ඡා ජනාධිපතිවරණයට දින දෙකකට පෙර අවසන් වූ බව මාධ්‍ය හරහා ප්‍රකාශ වුණා. ඒ නිසා අපිට යළි ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡාවලට ඉඩ කඩක් විවෘත වී තිබුණේ නැහැ. අවුරුදු දෙකකට වැඩි කාලයක් සාකච්ඡා සඳහා බදුන් වී තිබුණා. නැවත ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබද සාකච්ඡා ආරම්භ වුවහොත් දීර්ඝ කාලයක් ගත වෙනවා. මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන අවසන් කර ගැනීමෙන් තොරව අපට ආර්ථිකය ඉදිරියට ගෙන යාමට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ.

ඒ නිසා අවුරුදු දෙකකට ආසන්න කාලයක් ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබද පැවති සාකච්ඡාවල අවසන් අදියර තමයි අප බලයට පැමිණෙන විට තිබුණේ. ඒ නිසා එම යෝජනා හොඳද, නරකද, වාසිද, අවාසිද කියන එක දැන් විවාද කිරීමෙන් ඵලක් නැහැ. එය තමයි අප හමුවේ තිබෙන යතාර්ථය. ඒ අනුව ද්විපාර්ශ්විය ණය පිළිබඳ පොදු එකඟතාවකට පැමිණ තිබෙනවා. අප ඉක්මණින්ම එක් එක් රටවල් සමඟ වෙනම ගිවිසුම්වලට එළැඹීමට සූදානම් වී සිටිනවා.

Share with your friends :