27 C
Colombo
27/10/2024

මහ මැතිවරණය කල් යයි?

Share with your friends :

පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන දිනය බොහෝ දුරට දිනයක් හෝ දෙකක් පිටුපසට යාටමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පාර්ලිමේන්තු ඡන්ද විමසීම පනතේ 10 වගන්තිය අනුව මැතිවරණයට දින වෙන් කළ ආකාරයේ විශාල ගැටලුවක් පවතින බව නීති විශාරදයෝ පෙන්වා දෙති.

එම පනත ප්‍රකාරව නාමයෝජනා කැඳවීම සිදුකෙරුණේ ඔක්තෝබර් මස 04 වැනිදා සිට ඔක්තෝබර් මස 11 වැනිදා දක්වා කාලයේදීය.

නාමයෝජනා භාරගැනීම අවසන් වූ දින සිට සති පහකට නොඅඩු කාලයක් සහ සති හතකට නොවැඩි කාලයකදී ඡන්ද විමසීම සඳහා දින නියම කළ යුතු බව පනතේ පැහැදිලිව දැක්වෙන්නේ යැයි එම විශාරදයෝ පෙන්වා දෙති.

ඒ අනුව නාම යෝජනා බාරගැනීම අවසන් වූ ඔක්තෝබර් මස 11 වැනිදා සිට සති පහක කාලය නොවැම්බර් මස 15 වන දා අවසන් වන අතර සති 07 කාලය නොවැම්බර් මස 29 වනදා සම්පූර්ණ වන බව කියති.

එහෙත් වර්තමානයේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම නියම කර තිබෙන නොවැම්බර් මස 14 වනදා එම නීතිමය කාලසීමාවට ඇතුළත් නොවන හෙයින් එදින පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වීම නීතියට පටහැනි බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

එමගින් ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය වන බවද එම විශාරදයෝ වැඩිදුරටත් සඳහන් කරති.

මේ කාරණය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවද අවධානය යොමු කර ඇතැයි දැනගන්නට ඇත.

මේ තත්ත්වය යටතේ නීති උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය බොහෝ විට ඉදිරියේදී වෙනස් කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව නව දිනය සඳහන් කරමින් අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සිදුවනු ඇත.

Share with your friends :