27 C
Colombo
25/10/2024

හාල් පෝලිම්, පොල් පෝලිම් ඇතිවලා.. අනුරට රට කරන්න බෑ.. ජනතා ගැටලු විසදන්න බෑ.

Share with your friends :

අද මේ රට ඉදිරියට යන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ගොඩනගපු ආර්ථික වැඩපිළිවෙල නිසා බවත් ජනතා විමක්ති පෙරමුණ බලය ලබා ගැනීමට වේදීකාවේ ඉදිරිපත් කළ කිසිදු පොරොන්දුවක් ඉටු කිරීමට නොහැකි වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.

නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ මීගමුව ගෝල්ඩන් ස්ටාර් හෝටලයේ පැවති ජන හමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,

“ජනතා විමුක්ති පෙරමුණ බලයට එනකොට කියපු එක දෙයක්වත් අද කරන්න බැරිවෙලා තියෙනවා. බිත්තරයෙන්, ඉන්ධන වලින් කොමිස් ගන්නවා කීවා. මෙවැනි දේවල් වේදිකාවල කියලා බලය ගත්තා. ජනතාව ඒ කියන දේවල් විශ්වාස කරලා බලය දුන්නා. මාසයක් දැන් ඉවරවෙලා. රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙල හැර කරපු වෙනත් අලුත් දෙයක් කරානම් කියන්න. එහෙම කිසි දෙයක් කරලා නැහැ.

ආපු ගමන් මහ බැංකු අධිපති, භාණ්ඩාගාර ලේකම් එලවනවා කීවා. රනිල් වික්‍රමසිංහ ආර්ථික වැඩපිළිවෙළ ජනතාව හුරා කනවා කිව්වා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම සංශෝධනය කරනවා කිව්වා. විවිධ පොරොන්දු දුන්නා. නමුත් බලය අරගෙන රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ ඉදිරියට අරගෙන යන එක ගැන සතුටු වෙනවා. මෙ අය වේදිකාවේ කියපු දේවල් කරන්න ගියොත් රට වැටෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක මේ අය ඉදිරියට යනවා. එහෙම බැලුවම අපියි ඒ අය අතර වෙනසක් නැහැ.

ජනතා විමුක්ති පෙරමුණ වේදිකාවේ ප්‍රධාන පොරොන්දු හතරක් කීවා. උපයන විට බදු අය කරන සීමාව වැඩි කරනවා කීවා. වැට් එක අඩු කරනවා කීවා. රාජ්‍ය සේවකයින්ගේ වැටුප් මාස හයෙන් හයට වැඩි කිරීම හා ගුරු වැටුප් විෂමතා ඉවත් කරනවා කිව්වා. මේ දේවල් කරනකොට අඩුවන ආදායම උපයාගන්න හැටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පෙන්නනන්න ඕනේ. ඒ නිසා වේදිකාවේ කියපු එකක්වත් මහ පොළවේ ක්‍රියාත්මක කරන්න බැහැ. මේ අය අයවැය ලේඛනය ඉදිරිපත් කරන්නෙ නැහැ. ගෙනාවොත් ආදායම් උපයන හැටි, ජනතාවට සහන දෙන හැටි පෙන්නන්න වෙනවා. ඒ නිසා මාස තුනක් අදින්න අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනවා. කොහොම වුනත් මාර්තු වෙනකොට අයවැය ලේඛණය ඉදිරිපත් කරන්න වෙනවා. එතකොට තමා අමාරුවේ වැටෙන්නේ.

ජනතා විමුක්ති පෙරමණ අපි කෙරෙහි සමාජය තුළ වෛරය, ඊරිෂියාව වපුරලා තමයි ජනතාවගේ ජන්දය ගත්තේ. ඒ අයට මහ පොළවේ වාසිය තියෙද්දි මහ මැතිවරණ අභියෝගය අපි භාර ගත්තේ ලබන මාර්තු ඉදන් මිනිස්සුන්ට කියපු බොරු පෙන්නලා දෙන්න ඕනේ. අපිට ආණ්ඩුව එපා. ඒ අයට ආණ්ඩුව දෙන්න. අපිට ප්‍රබල විපක්ෂයක් දෙන්න. ඒ අය ජනතාවට දුන්න පොරොන්දු ඉටු කරනවද නැද්ද කියලා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්න. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට බලය දෙන්න. අනුර කුමාර මහතාට රට කරන්න බැහැ. පලපුරුද්ද, අද්දැකීම නැහැ.

බිත්තර මිල වැඩිවෙනකොට කීවා රුපියල් දහයක් ඇමතිගේ සාක්කුවට යනවා කියලා. දැන් බිත්තරයේ මිල හතලිස් පහයි, පනහයි. දැන් ඒ මුදල යන්නේ අනුරටද, හරිනිටද, විජිතටද ? අපි කියන්නේ නැහැ ඒ අය ගන්නවා කියලා. අපේ අය ගත්තෙත් නැහැ. මේ වෙළෙදපොල තත්ත්වයන් නිසා මිල අඩු වැඩි වෙන්නේ. ඉල්ලුම සැපයුම නිසා. මිල වැඩි වෙනකොට ආනයනය කරලා හරි දෙන්න ඕනේ. බිත්තරය මිල වැඩි වෙනකොට එය පාලනය කිරීමට අපි ආනයනය කරලා ජනතාවට දුන්නා.

අද පොල් මිල ඉහළ ගිහිල්ලා, හාල් මිල ඉහළ ගිහිල්ලා මේ අයට මේක පාලනය කරගන්න බැහැ. ජනතාව පීඩාවට පත් වෙලා. අද නාඩු හාල් පෝලිම්, පොල් පෝලිම් ඇතිවලා. මේ අයට ජනතාවගේ ගැටලු විසදන්න බැහැ. අද ජවිපෙට ජන්දය නොදුන්න අයත් ජවිපෙට දුන්නා කියනවා. මාර්තු වෙනකොට ජවිපෙට දුන්න අයත් දුන්නේ නැහැ කියනවා.

අද සමගි ජන බලවේගයට ලැජ්ජාවක් නැහැ. අගමැතිකම ඉල්ලනවා. අනුර ජනපති, සජිත් අගමැති කියලා කියන්නේ. තමන්ගේ නායකයා යටතේ අගමැතිකම කරන්න බැහැ කිව්වා. එක් වෙලා ඉල්ලමු කීවා, පැරදුනාට පස්සේ එක්වෙමු කීවා. ඒත් කැමති වුනේ නැහැ. දැන් අනුර කුමාර දිසානායක යටතේ අගමැති වෙන්න හදනවා. ඒකයි අපි සජබ පාක්ෂිකයින්ටත් කියන්නේ අපිට ශක්තිමත්, ප්‍රබල විපක්ෂයක් දෙන්න කියලා.

ප්‍රාදේශීය සභාවේ හිටපු අය පාර්ලිමේන්තුවට ඇවිත් කොහොමද රට කරන්නේ. ගෝඨාභයගේ වියත්තු ආවා වගේ තමා. රට කරන්න බැරි වෙනවා. ඒ නිසා ප්‍රබල විපක්ෂයක් රටට අවශ්‍යයි. පහුගිය මැතිවරණ ප්‍රතිඑල අනුව අපිට මන්ත්‍රී ආසන තිස් හතක් එනවා. විපක්ෂයේ සියලු දෙනා එකතු කරගෙන විපක්ෂ නායකධූරය අපි ගන්නවා. අයවැය මාර්තු දාපු ගමන් ජනතා ප්‍රතිලාභ නොමැති වෙනකොට, රට කරන්න බැහැ කියලා ජනතාවට තේරෙනකොට ජනතාව විරුද්ධ වීමට පටන් ගන්නවා. එතකොට අපි විපක්ෂයේ කාර්යභාරය කරනවා.

වෙනසක් ඇති කරනවා කීවා. කිසිම වෙනසක් කරලා නැහැ. තරුණයින්ට තැන දෙනවා කීවා. කාන්තාවන්ට මුල්තැන දෙනවා කීවා. අද අපේක්ෂක ලැයිස්තුවේ සියයට පහක්වත් නැහැ. පවුල් දේශපාලනය අයින් කරනවා කීවා. අද තාත්තයි, පුතයි ජන්දය ඉල්ලනවා. නෝනයි, මහත්තයයි ජන්දය ඉල්ලනවා. කියපු එකක්වත් අද කරන්නේ නැහැ. අද ජවිපෙ අපේක්ෂක ලැයිස්තුවේ ඉන්නේ මාලිමාවේ අය නෙමේ. ජවිපෙ අය ඉන්නේ. පාර්ලිමේන්තුවට ඇවිත් ඕන දෙයකට අත උස්සන කණ්ඩායමක් හදන්න එහෙම කරලා තියෙන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතා ගෙනගිය වැඩපිළිවෙල ඉදිරියට ගෙන නොගියහොත් යළිත් පෝලිම් ඇති වෙනවා. මේ රට කළ හැකි තත්ත්වයක් අනුර කුමාර දිසානායක මහතා ඇතුලු කණ්ඩායමට කරන්න බැහැ. ලබන මාර්තු වෙනකොට ජනතාවට සත්‍ය වැටහෙන බව නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය

Share with your friends :