27 C
Colombo
30/09/2024

ජනපති අනුර හා IMF අතර තීරණාත්මක සාකච්ඡාවක් ?

Share with your friends :

ජනාධිපති අනුර දිසානායක මහතාගේ නව රජය හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිරෝජිතයන් සමග සාකච්ඡාවක් මෙම සතියේ සිදුකිරීමට නියමිතය.

ඒ සඳහා මුල්‍ය අරමුදලෙන් නියෝජිතයන් අගහරුවාදා දින මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාවට එම අරමුදලින් ලබා දෙන විස්තීරණ අරමුදල් පහසුකමේ තුන්වන සමාලෝචනය සම්බන්ධයෙන් නව රජය සමඟ මෙහිදී අදහස් හුවමාරු කර ගැනෙනු ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව භාර දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් ඇතුලු නියෝජිත පිරිසක් ඔක්තෝම්බර් 02 දා මෙරටට
පැමිණීමට නියමිතය.

වසර 2024 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව පැවැති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එවක පැවැති රජය එකඟතාවයකට පැමිණ තිබිණි. ඒ අනුව එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකමක් මෙරටට ලබා දීමට තීරණය කරන ලදී.

එම තීරණයට අනුව ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලකට එළඹිණි. එහි ප්‍රතිඵලයක් ලෙස වරින් වර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම් මෙරටට පැමිණ එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමක් සිදු කරයි.

එම එකඟතාවයන් අනුව මේ වන විට ශ්‍රී ලංකාවට ණය වාරික දෙකක් නිදහස් කොට ඇත.

තුන්වන ණය වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් කරුණු සමාලෝචනය කිරීමේ සැසිය ලබන සතියේ පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව බලයට පත්වූ නව රජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රධාන රජයේ නියෝජිතයින්, මුදල් අමාත්‍යංශයේ ප්‍රධානීහු සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ප්‍රධාන උසස් නිළධාරීහු මෙම සංචාරයේදී මුණ ගැසී කරුණු සාකච්ඡා කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක ඉකුත් දා ජාතිය අමතමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සමීපව කටයුතු කිරීමට සහ ඔවුන් සමග එකඟවී ඇති වැඩපිළිවෙල යම් යම් වෙනස් කරමින් සමාලෝචනයට භාජනය කොට ඉදිරියට ගෙන යාමට පියවර ගන්නා බව සඳහන් කළේය.

“අපිට ඕන දූෂණය නැති කරන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම නිර්දේශ හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට අපි සූදානම්. ඒ සමඟින් රජයේ විශ්වසනීයත්වය සහ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ යනු ඇතැයි ජනාධිපති ආර්ථික හා මූල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රකාශ කළේය.

අයි.එම්.එෆ් සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට යම් යම් දර්ශක සහ මිණුම් ලබා දී ඇත. විශේෂයෙන් රජයේ ආදායම වැඩිකර ගැනීමේදී අනුගමනය කළ යුතු බදු, බදු ප්‍රතිශත සහ බදු ඉලක්ක පිළිබඳ අප විශේෂ අවධානයක් යොමු කළා.

ඒ අනුව ගිවිසුමට හානියක් නොවන ආකාරයට දුප්පත් ජනතාව මත අනවශ්‍ය බරක් පටවන්නේ නැතිව එම ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන් අපි දීර්ඝ වශයෙන් ඔවුන් සමග සාකච්ඡා කිරීමට සූදානම් යැයිද මහාචාර්යවරයා කීය.

Share with your friends :