27 C
Colombo
26/09/2024

පුංචි ඡන්දයට නම් දුන් 700ක් රට ගිහින්

Share with your friends :

පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා බාරදුන් අපේක්ෂකයන් හත්සීයකට අධික පිරිසක් විවිධ ආර්ථික ගැටලු හේතුවෙන් විදේශගතව ඇතැයි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල ආරංචි මාර්ගවලින් පැවසේ. එමෙන්ම නාම යෝජනා දුන් අපේක්ෂකයන් විස්සකට ආසන්න පිරිසක් මියගොස් ඇති බවද එම ආරංචි මාර්ග සදහන් කළේය.

මීට අමතරව අපේක්ෂකයන් දහසකට ආසන්න පිරිසක් විවිධ හේතු මත පසු කාලීනව පක්ෂ මාරු කර ඇති බව මැතිවරණ නිලධාරීන්ට තොරතුරු දැනගන්නට ලැබී ඇත.මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් කළ විමසුමක දී ඔහු පැවසුවේ පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා දුන් අපේක්ෂකයන් පිළිබඳ විස්තර සොයා බැලීමට ඉදිරි කාලයේ දී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවයි.
පළාත් පාලන මැතිවරණයට අදාළව නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් පසු අපේක්ෂකයන් සම්බන්ධයෙන් එසේ පුළුල් සොයා බැලීමක් කරන බව ද ඔහු සඳහන් කළේය. ඒ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ ඒ ඒ දේශපාලන පක්ෂවල සහාය ලබා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව බලාපොරොත්තු වෙයි.මේ කරුණු කාරණා හේතුවෙන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ප්‍රායෝගික ගැටලු රැසක් මතුව ඇතැයි මැතිවරණ නිලධාරීහු පෙන්වා දෙති.
පළාත් පාලන ආයතන සඳහා අපේක්ෂකයන් 8,711 දෙනකු තෝරා ගැනීම වෙනුවෙන් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී නාමයෝජනා කැඳවනු ලැබූ අතර ඒ සඳහා අපේක්ෂකයන් 80,672 දෙනෙක් ඉදිරිපත් වී සිටිති.මහ නගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් සඳහා මෙම පිරිස ඉදිරිපත් වී සිටිති.මෙම පිරිසට රාජ්‍ය සේවකයන් හාරදහසක් පමණ ඇතුළත් වෙති.

Share with your friends :