27 C
Colombo
25/09/2024

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය

Share with your friends :

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්…

මන්ත්‍රී තීරුබදු රහිත වාහන බලපත්‍ර ඉවතට…

බදු ක්‍රමයේ වෙනස්කම්…

සියලුදෙනාට විශ්‍රාම වැටුපක්…

අමාත්‍ය ධුර 25කට සීමා කිරීම…

ප්‍රශස්ථ ජනමාධ්‍ය භාවිතයක්…

සොරාගත් රාජ්‍ය වත්කම් අයකරගැනීමට ක්‍රමවේද…

පොලීසියේ වැටුපට ලොකු වෙනසක්…

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) එළිදැක්වීමට පියවර ගත්තේය.

එය නම් කර ඇත්තේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.

එමගින් ඔවුන් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගා ගැනීම තීරණාත්මක හා ප්‍රමුඛතම කාර්යක් ලෙස සලකා ඇති අතර, එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ විද්‍යාව හා තාක්ෂණය සඳහා වැඩි ඉඩක් ලබා දී ඇත.

රට තුළින් සොයාගත හැකි ස්වාභාවික සම්පත්, වෘත්තිය හා පුහුණු ශ්‍රම සම්පත්, ඛනිජ සම්පත්, තොරතුරු හා මෘදුකාංග තාක්ෂණය, සංචාරක කර්මාන්තය, කෘෂිකර්ම, සාගර සම්පත් මෙන්ම නිර්මාණශීලි කර්මාන්ත වැනි කේෂ්ත්‍රයන් කෙරෙහි එහි අවධානය යොමුකර ඇත.

නිෂ්පාදන ආර්ථිකයක් සැලසුම් කිරීමේ සිට ප්‍රතිලාභ බෙදීයාම දක්වා වූ ක්‍රියාවලියේදී සියලු ජාතිකයන්ට එහි කොටස්කරුවන් කර ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබේ.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රධාන කොටස් 4ක් යටතේ නිර්මාණය කර ඇත. එහි පිටු 230ක් අඩංගුය.

01. පරිසමාප්ත ජීවිතයක් – සුවපහසු රටක්

ශිෂ්ටසම්පන්න පුරවැසියෙක් – දියුණු මානව සම්පතක්

ජාතික ජනබලවේගය සිය අධ්‍යාපන ප්‍රතිපත්තිය අරමුණ කරගෙන ඇත්තේ දියුණු මානවවාදී හා වගකීම් සහිත පුරවැසි සමාජයක් ගොඩනැගීම සඳහාය.

ඒ සඳහා ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ඔවුන්ගේ අරමුණු වී තිබේ.

එම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයට රාජ්‍ය ආයෝජන ඉහළ දැමීමටත් දැනට වෙන්කරනු ලබන ප්‍රමාණය ක්‍රමයෙන් 6% දක්වා වැඩි කිරීමටත් ඔවුන්ගේ අපේක්ෂාව බවද පෙන්වා දී තිබේ.

එහිදී අවුරුදු 03 සිට 05 දක්වා වන සියලු දරුවන් සඳහා විධිමත් මුල් ළමාවිය සංවර්ධන අධ්‍යාපනයක් ලබාදීමත් සෑම දරුවෙකුටම සිය නිවසේ සිට හෝ දෙමාපියන්ගේ සේවා ස්ථානයේ සිට කි.මී 02ක් ඇතුළත මුල් ළමාවිය සංවර්ධන අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලබා දීමටත් පියවර ගෙන ඇත.

තවද දරුවන්ගේ කායික හා මානසික තත්ත්වයන්ට ගෝචර වන පරිදි හා සමාජ ජීවිතයට පිවිසීමට අවශ්‍ය වන යහපත් පුරුදු, ආකල්ප හා ආචාරධර්ම වර්ධනය කරන ක්‍රියාකාරම් ඇතුළත් වන වැඩසටහන් මෙන්ම මව් භාෂාවට අමතරව කථන සන්නිවේදන භාෂා ලෙස ඉංග්‍රීසි ඇතුළු අනෙකුත් ජාතික භාෂා වැඩසටහන් ද ඇතුළත්ය.

නිරෝගී ජීවිතයක් – සෞඛ්‍ය සම්පන්න ජනතාවක්

නිරෝගී හා සෞඛ්‍ය සම්පන්න පුරවැසියෙක් බිහිකිරීම සඳහා රෝග නිවාරණය මෙන්ම රෝග වැළැක්වීම අරමුණ කරගත් කාර්යක්ෂම සෞඛ්‍ය සේවයක් ඇති කිරීමට ජාතික ජනබලවේගය අපේක්ෂා කරයි.

එහි සෞඛ්‍ය සඳහා වන රජයේ වියදම් කෙටි කාලයක් ඇතුළත අවම වශයෙන් දළ දේශීය නිෂ්පාදනයෙන් 3%ක් ඉලක්ක කරගනිමින් ක්‍රමිකව වැඩි කිරීමටද අපේක්ෂා කර තිබේ.

සුවපහසු නිවසක් – සනීපාරක්ෂක ජීවිතයක්

නාගරීකරණයත් සමග ලංකාවේ සෑම ප්‍රධාන නගරයකම පාහේ නිවාස ප්‍රශ්නය උග්‍රව පවතින බැවින් සීමිත ඉඩම් ප්‍රමාණය මනාව කළමනාකරණය කරමින් හා ජනතා අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් හැකි සෑමවිටම මහල් නිවාස සංකීරණ ඉදිකිරීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබේ.

ජවසම්පන්න පුරවැසියෙක් – ජයග්‍රාහී ජනතාවක්

තරග සහභාගීත්වය සහ ජයග්‍රහණය සඳහා පමණක් නොව නිරෝගීමත්, විනයගරුක සහ බුද්ධිමත් ජන සමාජයක් නිර්මාණය කර ගැනීමේ ක්‍රියාවලියේදී ද ක්‍රීඩාවේ කාර්යභාරය අතිශය වැදගත් වන බව ඔවුන් පෙන්වා දෙයි.

තවද දේශපාලනීකරණය වූ සියලු ක්‍රීඩා ආයතන සහ ක්‍රීඩාවන් එයින් මුදා ක්‍රීඩාවේ අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වන ස්වාධීන සහ දියුණු ආයතන බවට පත්කිරීමත් ඔවුන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් අපේක්ෂා කර තිබේ.

උදාර සංස්කෘත ජීවිතයක් – සහකම්පනීය ජනතාවක්

කලා සංස්කෘතික අවකාශය යනු සමාජයක අතිසංවේදී කලාපයක් බැවින් එම අඩවිය මානව සමාජය වෙත කරන බලපෑම සන්නිවේදනය වන්නේ කල්ගත වී වුවද වර්තමාන ලාංකේය සමාජ පරිහානියේ විශාල පදාසයක් මතුවන්නේද මෙම කලාපයේ දුබල බව නිසාවෙන් බව එහි සඳහන් ය.

තිරසර ජෛව ලෝකයක් – සදාහරිත ජීවිතයක්

සියලු ජීවීන්ගේ පැවැත්ම තහවුරු කෙරෙන තිරසර පරිසරයක් දැක්ම කරගත් පරිසර ප්‍රතිපත්තිය සමාජ ආර්ථිකය සංවර්ධනය සහ පරිසරය අතර සමතුලිතතාව රැකෙන පරිදි ස්වාභාවික සම්පත් භාවිතය, තිරසර කළමනාකරණයේදී සහභාගීත්ව ප්‍රවේශය, දේශගුණික විපර්යාසවලින් ඇතිවන පීඩාවන් අවම කිරීම, දැනුම කුසලතා ආකල්ප හා මනෝභාවයන් මගින් ගොඩනැගෙන නිරෝගී ජන සමාජයක් සහ තුලිත පරිසරයක් උදෙසා ප්‍රමුඛතාව ලබාදීම ඔවුන් මෙමගින් අපේක්ෂා කර ඇත.

නිදහස් ජනමාධ්‍ය කර්මාන්තයක් – සමබර තොරතුරු සමාජයක්

ජනමාධ්‍ය අවභාවිතය වළක්වමින් සුභාවිත ජනමාධ්‍යක් මගින් සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික පුනරුදයේ ගාමික බලවේගයක් ලෙස ජනමාධ්‍යයන්ද, එහි නිරත මාධ්‍යකරුවාද, එහි බලපෑමට ලක්වන ග්‍රාහක සමාජයද මෙහෙයවමින් වඩාත් ප්‍රශස්ත ජනමාධ්‍ය භාවිතයකට අවශ්‍ය තාක්ෂණික පහසුකම්, පුහුණුව මෙන්ම වෘත්තිය අභිමානය සුරක්ෂිත කරලීමට ඔවුන් අපේක්ෂා කරනු ලබයි.

එහිදී සියලු ක්ෂේත්‍රයන් හී මාධ්‍යකරුවන් ඇගයීමට හා ජන සම්භාවනයට පාත්‍ර කිරීම සඳහා විධිමත් සම්මාන උළෙලක්, මාධ්‍යවේදීන්ට අවශ්‍ය මාධ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා අඩු පොලී ණය පහසුකම් සැපයීමටද ඔවුන් අපේක්ෂා කර ඇත.

02. ගෞරවනීය ජීවිතයක් – සුරක්ෂිත රටක්

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට සෞඛ්‍ය සම්පන්න සහ ප්‍රීතිමත් විශ්‍රාම දිවියක් වෙනුවෙන් වූ යෝජනා කිහිපයක් ද මෙහි සඳහන් වේ.

• සහනාධාර අවශ්‍ය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රුපියල් 5,000ක මාසික දීමනාවක්.

• ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් නව වැඩිහිටි සත්කාර මධ්‍යස්ථාන.

• පෞද්ගලික සත්කාරක මධ්‍යස්ථාන උනන්දු කරමින් රජය මගින් ඒවා නියාමනය.

• වැඩිහිටියන් රැක බලා ගැනීම සඳහා වෘත්තීය පුහුණුව, සුළු සහ මධ්‍යපරිමාණ ව්‍යවසායන් සඳහා රජය මගින් දිරි ගැන්වීම්.

• සේවක අර්ථසාධක අරමුදල් වැනි අරමුදල් වඩා ඉහළ ප්‍රතිලාභ සහිත සහ ආරක්ෂිත ආයෝජනය.

• විශ්‍රාම වැටුප් අරමුදල් සුරක්ෂිතව ආයෝජනය කර අඛණ්ඩ ප්‍රතිලාභ ලබාදීමට මූල්‍ය සහ රක්ෂණ සේවා දිරි ගැන්වීම.

• ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා සාමාන්‍ය බැංකු පොලී අනුපාතයට වඩා 5%ක වැඩි පොලී ප්‍රතිශතයක්.

ආබාධ සහිත පුද්ගලයින් සඳහා අර්ථවත් සහ තෘප්තිමත් ජීවිතයක් උදෙසා වූ යෝජනා කිහිපයක් ද මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඇතුළත් වේ.

• විෂය විශේෂඥයින් විසින් සකසන රට තුළ සිටින ආබාධ සහිත පුද්ගලයින්ගේ සවිස්තරාත්මක දත්ත පද්ධතියක්.

• අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධ සහිත පුද්ගලයින් සඳහා මසකට රුපියල් 10,000ක මූල්‍යාධාරයක්.

• ආබාධ සහිත පුද්ගලයින්ට අධ්‍යාපනය, පුහුණුව, රැකියා සහ ජීවනෝපාය අවස්ථා සඳහා පහසුකම්.

• කාන්තා මූලික පවුල්, තනි මාපිය පවුල් සහ ගෘහස්ථ හිංසනයෙන් පීඩාවට පත්වූ කාන්තාවන් සඳහා සමාජ ආරක්ෂණය.

• අවශ්‍යතා ඇති පුද්ගලයින්ට ඔවුන්ගේ ආදායම් මට්ටම් මත පදනම්ව මූල්‍ය ආධාර.

• අවශ්‍යතා සහ ඉල්ලීම් මත පදනම්ව නීති ආධාර සහ උපදේශන සේවා.

• අවශ්‍ය අවස්ථාවන්හිදී විකල්ප නවාතැන් පහසුකම්, රැකියා සහ වෙනත් ආධාර.

• වැන්දඹුභාවය, ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ආදිය නිසා පීඩාවට පත් කාන්තාවන්ට සමාජීය සහ චිත්තවේගීය සහය සහතික කිරීම සඳහා යාන්ත්‍රණයක්.

• අවශ්‍යතා ඇති නිදන්ගත රෝගී පුද්ගලයින්ට අවම වශයෙන් මසකට රුපියල් 10,000ක් මුල්‍යාධාරයක්.

සියලුම පුරවැසියන්ට විශ්‍රාම වැටුපක්

• රටේ සියලුම අංශවල ශ්‍රමිකයින්ට අදාළ වන පරිදි විශ්‍රාම වැටුප් පිළිබඳ පුළුල් ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කිරීම.

• විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සහ මහ බැංකුවේ අධීක්ෂණය යටතේ විශ්‍රාම වැටුප් අරමුදලක්.

• දැනට රාජ්‍ය අංශයේ හෝ විධිමත් ආයතනික අංශයේ රැකියාවක් නොකරන ගොවීන්, ධීවරයින් ඇතුළු සෑම පුරවැසියෙකුම විශ්‍රාම වැටුප් ක්‍රමයට සම්බන්ධ වීමට දිරිමත් කිරීම.

• හදිසි ආපදා/ආබාධ අවස්ථාවකදී හෝ විශ්‍රාම ලැබීමෙන් පසු මෙම විශ්‍රාම වැටුප් අරමුදල රක්ෂණ අරමුදලක් ලෙසද ක්‍රියාත්මක කරවීම.

කාර්යක්ෂම ශ්‍රම සම්පතක් – ගෞරවණීය වෘත්තීය ජීවිතයක්

සමාජ සංවර්ධනයේ ගාමක බලවේගය මෙන්ම නිෂ්පාදන සාධක අතර ප්‍රමුඛ වන්නේ ද මානව ශ්‍රමය බැවින් සේව්‍ය – සේවක සම්බන්ධතා ජාලය මානුෂීයකරණයට ලක්කර ශ්‍රමයේ ගෞරවය සහ නිසි වටිනාකම ලැබෙන ක්‍රමයක් ස්ථාපිත කිරීම මෙහි අරමුණ වී තිබේ.

එහිදී වැටුප් විෂමතා අවම කරන හා සේවකයා දිරිගන්වන ජාතික වැටුප් ව්‍යුහයක්, සියලු ශ්‍රමිකයන් ආවරණය වන පරිදී සමාජ ආරක්ෂණ අරමුදලක් පිහිටුවීමට ඔවුන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් අපේක්ෂා කර ඇත.

තවද කාන්තාවන්ට විධායක හා කළමනාකරණ ක්ෂේත්‍රවල ඵලදායී ලෙස රැකියාවේ නියැලීමට ඇති බාධා ඉවත් කිරීමට මෙන්ම රැකියා අවස්ථා තෝරා ගැනීමේදී වෙනස්කොට නොසැලකීම හා සැමට සම අවස්ථා ලබා දීමටත් ඔවුන් අපේක්ෂා කර තිබේ.

තවද දැනට පවතින විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමවල ඇති විෂමතාවන්ද ඉවත් කිරීමටත් අපේක්ෂා කර තිබේ.

රාජ්‍ය අංශයේ බඳවා ගැනීම්, උසස්වීම් සහ ස්ථාන මාරුවීම් සඳහා දේශපාලන මැදිහත්වීම්වලින් තොරව සුදුසුකම් සහ නිපුණතා මත කයුතු කිරීමත් මෑන්පවර් සේවකයින්ගේ රැකියා සුරක්ෂිතතාව සහිත සාධාරණ වැටුප් සහතික කිරීමත් ඔවුන් අපේක්ෂා කර ඇත.

එමෙන්ම මේ වනවිට ප්‍රබල මාතෘකාවක් බවට පත්ව ඇති විරැකියාව සම්බන්ධව ද ඔවුන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් අවධානය යොමු කර තිබේ.

ඒ අනුව එහි සඳහන්ව ඇත්තේ රැකියා විරහිත උපාධිධාරීන් විධිමත් ක්‍රමවේදයක් යටතේ රැකියා ලබා දීමට පියවර ගන්නා බවත් ඒ අනුව 20,000ක් ගුරු සේවය සඳහාද විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු ගණිත උපාධිධාරීන් (STEM) 3000ක් සහ STEM නොවන උපාධිධාරීන් 9000ක් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයටත් බඳවා ගැනීමට අපේක්ෂා කර තිබේ.

තවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ විදේශ සේවාවට මෙන්ම සංචාරක කර්මාන්තවට තවත් 3000ක පිරිසක් බඳවා ගැනීමටද ඔවුන් අපේක්ෂා කර තිබේ.

නිදහස් ස්ත්‍රී පුරුෂ සමාජභාවයක් – සාධාරණ මිනිස් අනන්‍යතාවක්

ස්ත්‍රීන් යනු සමස්ත සමාජ ව්‍යහයේ බැහැර කළ නොහැකි ප්‍රධාන කොටසක් වුවද ඔවුන්ට නිරතුරු හිමිවන්නේ අසමාන ස්ථානයක් බැවින් සියල්ලන්ටම සියලු අයිතීන් දිනා ගනිමින් සාධාරණ සමාජයක් නිදහස් ස්ත්‍රියක් යන අභිලාශය සාක්ෂාත් කර ගැනීමට එම සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් අපේක්ෂා කරයි.

තවද සමරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී ජන කොටස්වලට යුක්තියේ ප්‍රවේශය අහිමි වී ඇති බැවින් සියල්ලන්ට ම එකසේ සමානාත්මතාවයෙන් යුතුව සලකන සාධාරණ සමාජයක් තුළ කිසිදු ජන කණ්ඩායමක් කණ්ඩායමක් ඔවුන්ගේ අනන්‍යතාව හෝ ලිංගික දිශානතිය හේතුවෙන් ආන්තිකරණයට ලක් නොවිය යුතු බවත් ඔවුන් එමගින් පවසා තිබේ.

එහිදී ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාව උදෙසා ආර්ථික සාධාරණත්ය, වැටුප් නොලබන ස්ත්‍රී ශ්‍රමය ආර්ථිකයට සිදුකරන දායකත්වය අගයන රාජ්‍ය ප්‍රතිපත්ති ඇතුළු මූලධර්ම කිහිපයක් කෙරෙහි ඔවුන් ඔවුන් සිය අවධානය යොමු කර තිබේ.

එමගින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ඉපැයුම් අතර පරතරය ඇතිවන අවස්ථා හඳුනාගනිමින් එය අවසන් කිරීමට පියවර ගැනීමට ද අපේෂා කර තිබේ.

එමෙන්ම ස්ත්‍රීන් බහුලව මුහුණ දී සිටින අධික පොලී අයකරගන්නා අයුක්ති සහගත ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් ඔවුන් නිදහස් කිරීම සඳහා කටයුතු කිරීමටද ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් අවධානය යොමු කර ඇත.

03. නවීන ජීවිතයක් – පොහොසත් රටක්

තුන්වන අදියර යටතේ ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සම්බන්ධ වෙමින් කටයුතු කරන ආකාරය පිළිබඳව පැහැදිලි කර තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වැඩසටහන

දුප්පත් හා අසරණභාවයට පත් කොට ඇති ජනතාව එම තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා වඩාත් ශක්තිමත් හා නිවැරදි වැඩපිළිවෙලක අඩංගුව හා එය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග නැවත සාකච්ඡා කිරීම.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉදිරිපත් කර ඇති අදායම් පාදක වියදම් කළමනාකරණ යෝජනා නැවත සමාලෝචනය කිරීම සඳහා කාර්යක්ෂම බදු පරිපාලනය හා ආණ්ඩුවේ වියදම් කළමනාකරණය පිළිබඳ නව යෝජනා ඉදිරිපත් කිරීම.

ණය තිරසර බව පවත්වා ගැනීම හා දරාගත හැකි මට්ටමක ණය පොලී තබා ගැනීම ඉලක්ක කරගනිමින්, අවශ්‍යතාවය අනුව ණය සමාලෝචන කටයුතුවලදී භාවිත කිරීම සඳහා විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණයක් පිළියෙළ කිරීම.

රාජ්‍ය මුල්‍ය විනිවිදභාවය සහ ආණ්ඩුවේ වගවීම සහතික කිරීමට හා ණය අවභාවිතය සිදුකළ පුද්ගලයින්ට එරෙහි නීතිමය පියවර ගැනීම සඳහා ආණ්ඩු විසින් ලබා ගත් විදේශ ණය පිළිබඳ සවිස්තරාත්මක ණය විගණනයක් කඩිනමින් සිදුකිරීම.

රටේ සහ බැංකු පද්ධතියේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමා ගැනීම සඳහා රාජ්‍ය මුල්‍ය හා මුල්‍ය විනය වැඩි දියුණු කිරීම.

රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් එහි දැක්වෙන යෝජනා පහත පරිදි වේ.

ජාත්‍යන්තර ගනුදෙනු සම්බන්ධයෙන් කටයුතු කිරීමට විශේෂ අංශයක් සහිතව බදු ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා නව ඒකකයක් පිහිටුවීම.

බදු පරිපාලනය කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ සිදුකිරීම.

දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල පුහුණුව සහ ධාරිතා සංවර්ධනය කිරීම.

හිඟ බදු කඩිනමින් අය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.

බදු අය කිරීමේ කාර්යක්ෂමතාව හා සාධාරණ බව තහවුරු කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව, ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය ඇතුළු අදාළ රාජ්‍ය ආයතනවල මෙහෙයුම් දේශීය අදායම් දෙපාර්තමේන්තුව සමග ජාලගත කිරීම.

රාජ්‍ය සේවා ලබා ගැනීම හා රජය සමග කටයුතු කිරීමට සෑම පුරවැසියෙකුටම නිශ්චිත ඩිජිටල් හඳුනා ගැනීමේ කේතයක් ලබාදීම.

පුද්ගලයින් සඳහා වන වාර්ෂික බදු නිදහස් සීමාව රුපියල් ලක්ෂ 12 සිට ලක්ෂ 24දක්වා වැඩිකිරීමට සහ බදු කාණ්ඩ (Tax Brackets) හා බදු අනුපාත (Tax Rates) සාධාරණ ලෙස සංශෝධනය කිරීම.

බදු මූලධර්මවලට අනුකූලව බදු පදනම (Tax Base) පුළුල් කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම.

වැට් (VAT)බදු එකතු කිරීම විධිමත් සහ කාර්යක්ෂම කිරීම සඳහා පොයින්ට් ඔෆ් සේල්ස් (POS) යන්ත්‍ර සහ ඩිජිටල් ඉන්වොයිසින් ක්‍රම හඳුන්වාදීම.

දේශීයව නිෂ්පාදනය කරන කිරි, බිත්තර ඇතුළු අත්‍යවශ්‍ය ආහාර, ළදරු කිරි, ඖෂධ, පාසල් පොත් හා උපකරණ, සඟරා, පුස්තකාල සේවා, කෘෂි උපකරණ, පොහොර, සූර්ය පැනල සහ උපාංග, පුනර්ජනනීය බලශක්ති ජනන යන්ත්‍ර, ආබාධ සහිත පුද්ගලයන් භාවිතා කරන වාහන උපකරණ පරිපථ, දේශීය නිෂ්පාදන මෘදුකාංග, තොරතුරු තාක්ෂණ සේවා, පර්යේෂණ හා සංවර්ධන සේවා සඳහා වැට් බද්ද 0% අනුපාතයට ගෙන ඒම.

වැට් බද්දට අදාළ භාණ්ඩ වර්ගීකරණය කොට ඒ ඒ කාණ්ඩය සඳහා වෙනස් බදු අනුපාත හඳුන්වා දීම.

ආදාන වැට් බද්ද (Input VAT) මත වන අපනයන සංවර්ධන බදු අපනයනකරුවන්ට කඩිනමින් ආපසු ලබාදීම.

බදු තක්සේරු කිරීම, බදු වාර්තා ගොනුකිරීම, බදුගෙවීම, හා අතිරික්ත බදු ආපසු ගෙවීම සඳහා ජංගම දුරකථන මඟින් ගෙවීමේ පහසුකම්ද සහිත මාර්ග ගත ක්‍රමවේදයක් හඳුන්වා දීම.

ආනයන හා අපනයන වෙළෙඳ පහසුකම් සැලසීමට අනෙකුත් රාජ්‍ය ආයතන සහ ශ්‍රී ලංකා රේගුව ඒකාබද්ධ කරමින් තනි සේවා කවුළුවක් පිහිටුවීම.

සාධාරණ ලෙස රේගු බදු ආදායම වැඩි කර ගැනීම සඳහා පවතින සංකීර්ණ තීරුබදු අනුපාත ව්‍යුහය සරල කිරීම.

ජාත්‍යන්තර ගනුදෙනු සහ හුවමාරු මිල මත සිදුවන බදු කාන්දුවීම්, බදු පැහැර හැරීම්, ඌන ඉන්වොයිසින් හා අධි ඉන්වොයිසින්, වැළැක්වීමට රටවල් අතර ස්වයංක්‍රීය තොරතුරු හුවමාරුව වැනි ක්‍රියාමාර්ග හඳුන්වා දීම.

ජාත්‍යන්තර ගිවිසුම්වලට අනුකූලව සහ අදාළ මාර්ගෝපදේශ අනුව ජාත්‍යන්තර ගනුදෙනු මත අවම ගෝලීය බද්දක් පැනවීම.

ඩිජිටල් රාජ්‍යකරණය

ඩිජිටල් රාජ්‍යකරණය ද ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලික වශයෙන් වැඩි අවධානයක් යොමුකර ඇති අංගයකි.

එහි ප්‍රධාන කරුණු කිහිපයක්…

• තොරතුරු තාක්ෂණ නිෂ්පාදන සහ විසඳුම් සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා ගෝලීය අලෙවිකරණ ව්‍යාපාරයක් දියත් කිරීම.

• ප්‍රතිචාරාත්මක රාජ්‍ය අංශයක් බිහි කිරීම සඳහා ප්‍රධාන රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීම.

• සදාචාරාත්මක AI භාවිතය…

• 2030 වනවිට තොරතුරු තාක්ෂණ ශ්‍රම බළකාය 200,000 දක්වා වැඩිකිරීම

මූූල්‍ය ප්‍රතිපත්ති

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ආර්ථික කටයුතු යථාතත්වයට පත්කිරීම හා හිඟ ණය සඳහා සහන සැලසීමට නව සහන බැංකුවක් ස්ථාපිත කිරීම.

ව්‍යවසායකයින් සඳහා දිගුකාලීන මුල්‍යකරණය, නව ව්‍යාපාර ආරම්භ කිරීම සහ ව්‍යපාර ප්‍රසාරණය කිරීම සඳහා නව ජාතික සංවර්ධන බැංකුවක් ස්ථාපිත කිරීම.

කුඩා පරිමාණයේ ගොවියන්, නිෂ්පාදකයින්, ව්‍යවසායකයින් සහ ආයෝජකයින් සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට සමුපකාර, සමෘද්ධි හා ප්‍රාදේශීය සංවර්ධන බැංකු කාර්යක්ෂම ලෙස මෙහෙයවීම.

නීතිමය විධිවිධාන සහ මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ලබාදී ඇති ක්ෂුද්‍ර මුල්‍ය ණය පිළිබඳ සමාලෝචනය කොට අගතියට පත් පාර්ශ්වයන්ට සහන සැලසීම ක්ෂුද්‍ර මූල්‍ය සේවා සපයන ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි කිරීම දිරිගැන්වීම සහ එම කටයුතු අධීක්ෂණය විධිමත් කිරීම.

විදේශ විනිමය වෙළෙඳපොළ ඇතුළු මූල්‍ය වෙළඳපොළවල ස්ථාවරත්වය සඳහා ප්‍රතිපත්ති පොලී අනුපාතික ස්ථායී කිරීම.

බැංකු මුදල් සහ ඉතුරුම් නිෂ්පාදන ආර්ථික ක්‍රියාකාරකම්වල විධිමත්ව ආයෝජනය කිරීමට නව මූල්‍ය යෝජනා ක්‍රම හඳුන්වා දීම.

රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය විධිමත් කිරීම මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය ශක්තිමත් කිරීම.

ස්ථාවරත්වය සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය බැංකු ප්‍රතිප්‍රාග්ධනීකරණය (Recapitalization)කිරීම.

04. අභිමානවත් ජීවිතයක් – නොසැලෙන රටක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් – ශ්‍රී ලාංකේය ජාතික සාමාග්‍රියක්

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරනු ලබන අතර එය මහජනතාව වෙත ඉදිරිපත් කර, සංවාදයකින් අනතුරුව අවශ්‍ය වෙනස්කම් සිදුකොට ජනමත විචාරණයක්ද සමග සම්මත කර ගනු ඇත.

සමාජ හා ආර්ථික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අනුකූළ අයිතීන් මූලික අයිතිවාසිකම් ලෙස පිළිගනිමින් බලාත්මක කිරීම.

ළමා, කාන්තා සහ ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් පිළිබඳ ආණ්ඩුක්‍රම නීතිය ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට අනුකූළ වන ලෙස පුළුල් කිරීම.

රැකියා සඳහා රට තුළ සහ රටින් පිටත සංක්‍රමණික පුද්ගලයන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම.

ජාතිකත්වයන් අතර අසමගිය සහ ආගමික වෛරය ඇති නොකරන, ස්ත්‍රී පුරුෂභාවය හෝ වෙනත් කරුණු මත වෙනස් කොට නොසැලකීම යන කොන්දේසිවලට යටත්ව භාෂණයේ නිදහස තහවුරු කිරීම.

• විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීම හා විධායක බලතල රහිත ජනාධිපතිවරයෙක් පත්කිරීම.

• නව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම.

• ජනාධිපති නිල නිවාස එකකට පමණක් සීමා කිරීම.

• විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හා ඔවුන්ගේ කාලාත්‍රයන්ට දී ඇති විශ්‍රාම වැටුප්, විශේෂ දීමනා හා වරප්‍රරසාද අහෝසි කිරීම.

• විද්‍යාත්මකව වෙන්කරන ලද අමාත්‍යාංශ 25කට ඇමතිවරුන් 25ක් සහ අනුරූපී නියෝජ්‍ය ඇමතිවරු පත්කිරීම සහ රාජ්‍ය ඇමති ධුර අහෝසි කිරීම.

• සෑම අමාත්‍යාංශයකටම විෂය පිළිබඳ විශේෂඥයන්ගෙන් සමන්විත උපදේශක මණ්ඩල පිහිටුවීම.

• සිය වගකීම ඉටු නොකරන්නේ නම් හා දූෂණයේ යෙදෙන්නේ නම් මහජන නියෝජිතයා ආපසු කැඳවීමේ බලය ඡන්දදායකයාට ලැබෙන විධිවිධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පුද්ගලික කාර්යමණ්ඩලය සඳහා පවුලේ ඥාතීන් බඳවා නොගැනීම වැනි දේ අඩංගු ආචාරධාර්මික පද්ධතියක් හඳුන්වා දීම.

• පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සැසිවාරයට සහභාගී වීම වෙනුවෙන් ගෙවන දීමනා අහෝසි කිරීම.

• පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර 05කින් පසුව ලබාදෙන විශ්‍රාම වැටුප අහෝසි කිරීම.

• මන්ත්‍රීවරුන්ගේ තීරුබදු රහිත වාහන බලපත්‍ර ක්‍රමය ඉවතට.

• පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ධුර කාලය තුළදී එක් වාහනයක් පමණක් ලබාදීම.

නීතිය මත පාලනයක් – සමප්‍රවේශී අධිකරණ පද්ධතියක්

අධිකරණය මගින් ස්වාධීනව හා කාර්යක්ෂමව යුක්තිය පසිඳලීම මෙන්ම මහජනයාට ඒ ක්‍රියාවලිය පිළිබඳව ඇති විශ්වාසයත් නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරිමෙහිලා අතිශය වැදගත් වේ.

නමුත් අද ලංකාවේ මෙම ක්‍රියාවලිය අධික මිල සහිත, මහජනතාවගෙන් ඈත් වූ සහ ජනතා විශ්වාස පළුදු වූවකි.

ස්වාධීන, කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත් හා මහජනතාවට දැරිය හැකි අධිකරණ පද්ධතියක් ඇති කිරීමෙන් ඒ පිළිබඳව බිඳීගිය ජනතා විශ්වාසය නැවත ගොඩනගා ගැනීමට ජාතික ජන බලවේගය අපේක්ෂා කරයි.

අධිකරණය

නීති විශේෂඥ කමිටුවක් මගින් පවතින නීති සමලෝචනය කොට අවශ්‍ය නීති යාවත්කාලීන කිරීම.

අධිකරණ ක්‍රියාවලියට නවීන තාක්ෂණය හඳුන්වාදීමට පියවර ගැනීම සහ විනිශ්චයකාරවරුන්ට හා කාර්ය මණ්ඩලයට ඒ සම්බන්ධ නිසි පුහුණුව ලබාදීම ආදිය තුළින් අධිකරණ ක්‍රියාවලිය වඩා සුමට හා කාර්යක්ෂම කිරීම.

සුහුරු අධිකරණ ශාලා ඇති කිරීමට අවශ්‍ය පියවර ගැනීම සහ අධිකරණ වාර්තා මෘදු පිටපත් පවත්වාගෙන යාම.

ඉහළ හා පහළ අධිකරණවල විනිශ්චයකාරවරුන්ට සහාය වීමට පර්යේෂණ නිලධාරීන් පත් කිරීම දකුණු ආසියානු කලාපයේ ජාත්‍යන්තර වාණිජ ගනුදෙනු
පදනම් කරගෙන හටගන්නා ගැටලු‍ බේරුම්කරණය සහ සමථකරණය කිරීම සඳහා ජාත්‍යන්තර බේරුම්කරණ සහ සමථකරණ මධ්‍යස්ථානයක්.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු ශාඛා පළාත්බදව පිහිටුවීම.

අල්ලස් හා දූෂණ

සොරාගත් වත්කම් නැවත අයකරගැනීමට අදාළව සොරකම් කරන ලද වත්කම් ප්‍රතිෂ්ඨාපනය සහ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳව එක්සත් ජාතීන්ගේ කාර්යාලය ආදී ජාත්‍යන්තර ආයතනවල තාක්ෂණික සහ උපදේශන සේවාවන් ලබා ගැනීමට රාජ්‍ය වත්කම් ප්‍රතිෂ්ඨාපන ආයතනයක් පිහිටුවීම.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 34 වැනි වගන්තිය අනුව සොරාගත් වත්කම් නැවත අයකර ගැනීම සම්බන්ධීකරණය හා දූෂණය වැළැක්වීම සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කිරීමේ බලධරයා වන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වෙත සම්පූර්ණ බලය පැවරීම සහ අවශ්‍ය පහසුකම් ලබා දීම.

මුල්‍ය අපරාධ, අල්ලස් හා දූෂණ චෝදනා නඩු කාර්යක්ෂම කිරීම සඳහා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කිරීම සෑම දිස්ත්‍රික්කයකම දූෂණ විරෝධී කොමිසමේ කාර්යාලයක් පිහිටුවීම.

දූෂණ විරෝධී කොමිසම වෙත ලැබෙන පැමිණිලි මාස හයක් ඇතුළත විමර්ශනය කිරීම හෝ එසේ නොකරන ලද පැමිණිලි පිළිබඳ වාර්තාවක් සෑම මාස හයකට වරක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.

රාජ්‍ය මුල්‍ය දූෂණ චෝදනාවලට ලක්වූවන්ට රැකවරණ ලබාදෙන්නන්ද අදාළ වැරැද්දට සම්බන්ධ අයවලු‍න් ලෙස සලකා නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා අවශ්‍ය නීති සකස් කිරීම.

මූල්‍ය අවභාවිතයන්, අල්ලස්, කොමිස් වැනි දූෂිත ක්‍රියාවන් වැළැක්වීම අරමුණු කරගනිමින් නීතිරීතී සම්පාදනය කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා කටයුතු කිරීම.

දූෂණ, වංචා, අල්ලස් වැනි දෑ පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීමට හා ඒවාට එරෙහිව මහජනතාව බලගැන්වීමේ ව්‍යාපාරයක් රාජ්‍ය අනුග්‍රහයෙන් ස්ථාපිත කිරීම.

අල්ලස් කොමිසම හා නීතිපති මගින් ඉල්ලා අස්කර ගන්නා ලද නඩු නැවත සමාලෝචනයකට ලක්කර සුදුසු නඩුකර නැවත පැවරීමට කටයුතු කිරීම.

නීතිපති දෙපාර්තුමේන්තුව

රජය වෙනුවෙන් නඩු කටයුතු මෙහෙයවීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් පරිබාහිරව පළාත්බද රජයේ ප්‍රධාන අභිචෝදක කාර්යාල පිහිටුවීම.

නඩු පැවරීමේදී නීතිපති දෙපාර්තුමේන්තුව මගින් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය ලේඛන ගත කිරීම.

විමර්ශන ක්‍රියාවලියෙන් පසු නීතිපති දෙපාර්තතුමේන්තුව විසින් නඩු නොපැවරීමට කටයුතු කරන්නේ නම් ඊට හේතු අතෘප්තියට පත් පාර්ශ්ව වෙත දැනුම් දීම.

නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳව අගතියට පත්වන පාර්ශවයට සිය දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට විශේෂ පාර්ලිමේන්තු ඔම්බුඩ්ස්මන්වරකු පත්කිරීම.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු යටතේ නීතිපති දෙපාර්තමේන්තුවේ පළාත්බද කාර්යාල පිහිටුවීම.

පොලීසියේ කටයුතු විධිමත් කිරීම

පොලිස් සේවය ස්වාධීන, මිත්‍රශීලී හා මහජනයාට සමීප සේවාවක් බවට පත්කිරීම තම අරමුණ බව මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්වෙයි.

• පොලිස් මහජන සබඳතා කමිටු පිහිටුවීම.

• පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් සම්බන්ධයෙන් පැය 24ක් තුළ සැකකරුගේ ඥාතීන්ට දැනුම්දීම.

• පොලිස් ස්ථානයකින් යම් සැකකරුවෙක් එළියට ගෙනයන්නේ නම් මහෙස්ත්‍රාත් ට දැනුම්දීම.

• පැමිණිලි ඉක්මනින් විමර්ශනය.

• පොලිස් සේවයේ ස්ථාන මාරු පොලිස් කොමිසම හරහා.

• උසස් වීම් පටිපාටි විධිමත් කිරීම.

• පොලිස් සේවයේ වැටුප් සහ දීමනා රාජ්‍ය සේවකයින්ට සමානුපාතිකව ඉහළ දැමීම.

Share with your friends :