27 C
Colombo
24/09/2024

මහින්දට අප්පච්චී කියපු අය අද වික්‍රමසිංහට අප්පච්චී කියනවා

Share with your friends :

රනිල් ජනාධිපති වන විට ඔහුට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු එකසිය තිස්හතරක් සිටි බවත්, එය ඊයේ වන විට අනු දෙකක් දක්වා අඩු වූ බවත්, අද වන විට එය අනූව දක්වා අඩු වී ඇති බවත්, ජනාධිපතිවරණය අවසන් වන විට රනිල්ට රනිලුත් නැති වී මේ රටේ ජනපති ලෙස අනුර කුමාර පත්වන බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ පැවසී ය.

ඔහු මෙලෙස පැවසුවේ පසුගිය දා කැබැතිගොල්ලෑවේ පැවති ජන රැලිය අමතමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ වසන්ත සමරසිංහ,

හොරා ළඟට යන්නෙ හොරු ම තමයි

‘‘ලොකු ලොකු සංදර්ශන තියලා ජනතාව ලාබෙට රවට්ටන්න හිතුවට ද දැන් ජනතාව බුද්ධිමත්ව කල්පනා කරනවා. ඒ නිසා සැප්තැම්බර් විසි එක්වෙනිදාට නියත ජනපති අනුර කුමාර සහෝදරයා. ඒක මේ කැබිතිගොල්ලෑව අම්මා තාත්තා සහෝදර සහෝදරියන් තහවුරු කරල අවසන්. මාලිමාවේ අපි පළමු වතාවට තමයි කැබිතිගොල්ලෑවේ රැලියක් කරන්නේ. ඔබ මීට පෙර විවිධ පක්ෂවල රැස්වීම්වලට ගිහින් ඇති.

එදා ඔබේ ඡන්ද අරගෙන බලයට පත්වුණ මෛත්‍රීපාල සේනානායක පරම්පරාවේ අය අද කොහෙද? සේමසිංහලා අද කොහෙද? මහින්දට අප්පච්චී කියපු අය අද වික්‍රමසිංහට අප්පච්චී කියනවා. එයාලා හිතන්න ඇති එයාලත් එක්ක ජනතාවත් යයි කියලා. නෑ. එයාලා එහෙට යනකොට ජනතාව මෙහෙට ඇවිත්. අනුර දිසානායක සහෝදරයා ජනාධිපති කරන්න සහය දක්වනවා. හරි පාර පෙන්වපු මාලිමාව එක්ක හරි පාරේ යන්න පටන් අරන්.

අද මේ වේදිකාවේ ඉන්න ආචාර්ය මහාචාර්යවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, විශ්‍රාමික පොලිස් නිලධාරීන්, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, කලාකරුවන්, කිසිවෙක් තමන්ට සත පහක දෙයක් බලාපොරොත්තු නොවී රට හදන්න පෙරමුණ ගෙන තිබෙනවා. මේක දැකලා කලබල වෙච්ච කට්ටිය දැන් අලුත් අලුත් සන්ධාන හදනවා. ඒකට හිටපු කට්ටිය එකට වේදිකාවට නැගලා අපේ සහය සජිත්ට කියනවා. නැත්නම් අපේ සහය රනිල්ට කියනවා. මහබැංකුව කඩපු එකා ළඟට මාල කඩපු එකා යනවා. හොරා ළඟට යන්නෙ හොරා මිස වෙන කවුද? කුණු ගොඩට කුණු එකතු වෙනකොට හොඳ ටික අපි ගාවට ඇවිත්.’’

Share with your friends :