27 C
Colombo
25/09/2024

බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවයි

Share with your friends :

අන්තර්වාර රජයක් පිහිටුවීමට අවස්ථාව ලබාදීම සඳහා බංග්ලාදේශ් 12 වැනි පාර්ලිමේන්තුව එරට ජනපති මොහොමඩ් ෂහාබුදීන් අද (06) විසිරුවා හැරියේය. රටේ පාලනය අන්තර් කාලීනව හමුදාව අතට යාමට ඉඩදිය නොහැකි බවට එරට ශිෂ්‍ය ප්‍රජාව දැඩි ස්ථාවරයක පසුවුහ.

ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින්, සිවිල් සමාජ නියෝජිතයන්, “වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයන්” ව්‍යාපාරයේ නායකයින් ඇතුළු පාර්ශ්වකරුවන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකින් පසුව ජනපති ෂහාබුදීන් එරට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට කටයුතු කළේය. ජනාධිපති කාර්යයාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයා තීරණය කළ බව දැනුම් දුන්නේය.

විරෝධතාවලට නායකත්වය දුන් “වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයන්” ව්‍යාපාරය අද (06) උදෑසන නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ අද (06) සවස 3 ට පෙර බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට කටයුතු කළ යුතු බවයි. බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය සභාපති කලීඩා ෂියා අද (06) නිදහස ලැබූ අතර ඇයගේ පක්ෂයද බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසිරුවා හරින ලෙසට ජනාධිපතිවරයාට දැනුම් දී තිබිණි.

රජයේ රැකියා කෝටාවට විරුද්ධව පසුගිය මාසයේදී ඇරඹි විරෝධතාවලදී මියගිය 200 කට අධික පිරිසට යුක්තිය ඉල්ලමින් පසුගියදා නැවතත් බංග්ලාදේශයේ විරෝධතා ආරම්භවූ අතර එහිදී විරෝධකරුවන් අග්‍රාමාත්‍ය නිල නිවස සහ පාර්ලිමේන්තුව ඇඳිරි නිතිය නොතකමින් අත්පත්කර ගත්තේය. බංග්ලාදේශ පාර්ලිමේන්තුව අත්පත්කර ගත් විරෝධතාකරුවන් මන්ත්‍රී අසුන්වල වාඩි වෙමින් සෙල්ෆි ඡායාරූප ගැනීමටද අමතක නොකළේය.

Share with your friends :