27 C
Colombo
24/09/2024

තරුණ තරුණියන්ට රැකියා ලබන වසරේ සිට – ජනපති

Share with your friends :

තරුණ තරුණියන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද නව රැකියා අවස්ථා ඔවුන් වෙනුවෙන් උදාකරදීම තම අරමුණ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කොවිඩ් වසංගතය සහ ආර්ථික කඩා වැටීම හමුවේ ඉකුත් වසර 04 පුරා මෙරට තරුණ තරුණියන්ට රැකියා ලබාදීමට නොහැකි වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට බංකොළොත්භාවයෙන් නිදහස් කර ගැනීමත් සමග නව රැකියා අවස්ථාවන් බිහි කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් රට ඉදිරියට ගෙන යාමේ අවස්ථාව උදා වී ඇති බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ යාපනය වාලම්පූරි හෝටලයේ අද (02) පැවති තරුණ හමුවට එක් වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ තරුණ තරුණියන්ගේ අපේක්ෂාවන් රජය කිසිවිටෙකත් අමතක කර නොමැති බවය.

මූල්‍ය ගැටලු හමුවේ වුවද ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් මේ වසරේ රජය මුදල් වෙන් කළ බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගුරුවරුන් බඳවා ගැනීම වෙනුවෙන් ලබන වසරේ වැඩි මුදලක් ලබා දීමට කටයුතු කරන බවද කියා සිටියේය.

එමෙන්ම ස්වයං රැකියාවල නිරත වීමට කැමති තරුණ තරුණියන් වෙනුවෙන් සහනාධාර ණය ක්‍රමයක් හඳුන්වා දී තිබෙන බවත්, කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමඟ සම්බන්ධ වෙමින් ඉදිරියට යාමට ද තරුණ තරුණියන්ට අවස්ථාවට උදාකර දෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙහිදී තරුණයෙකු මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේ දී පෞද්ගලික අංශයේ රැකියා සඳහා බඳවා ගැනීමේදී පළපුරුද්ද පිළිබඳ නොතකා එම බඳවා ගැනීම් සිදු කරන ලෙස පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටීමට කටයුතු කරන බවය.

Share with your friends :