27 C
Colombo
24/09/2024

ක්‍රිස්තියානි ආගමට අපහාස කල බවට ඔලිම්පික් සමාරම්භයට ලොවපුරා විවේචන

Share with your friends :

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ සමාරම්භක උත්සවයේ ඇතැම් අංග මේ වනවිට පාර්ශ්ව රැසක දැඩි විවේචනයට ලක්ව තිබේ.

ඒ එය ක්‍රිස්තියානි ආගමට අපහාස කරන ජුගුප්සාජනක සැමරුමක් බවට චෝදනා කරමිනි.

ක්‍රීඩා ලොව මෞලි මංගල්‍යය ලෙසින් සැලකෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළ පසුගිය 26 වනදා ප්‍රංශයේ පැරිස් නුවරදී ආරම්භ වුණි.

33 වැනි වරට පැවැත්වෙන මෙවර උලෙළ සඳහා රටවල් සහ කලාප 206ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,500 ඉක්මවූ පිරිසක් සහභාගි වී සිටී.

2024 පැරිස් ඔලිම්පික් උලෙළේ සමාරම්භක උත්සවය පැවැත්වුණේ පැරිස් අගනුවර ඔස්සේ ගලා බසින සේන් නදිය කේන්ද්‍ර කර ගනිමින්ය.

සුපුරුදු පරිදිම දැවැන්ත මුදලක් වැයකර පැවැත්වූ මෙවර සමාරම්භක උත්සවය ඉතිහාසයට එක්වන්නේ එළිමහනේ පැවැත්වුණු පළමු ඔලිම්පික් සමාරම්භක උත්සවය ලෙසිනි.

කෙසේ නමුත් මෙම විචිත්‍ර උත්සවය සම්බන්ධයෙන් ලොව නන් දෙසින් චෝදනා එල්ල වෙමින් පවතී.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ලියනාඩෝ ඩාවින්චිගේ අවසන් භෝජන සංග්‍රහය නම් කලා කෘතිය ප්‍රතිනිර්මාණය කරමින් ඉදිරිපත් කළ අංගය මෙහිදී බොහෝ දෙනාගේ වැඩි අවධානයට ලක්වූ බවය.

මෙම අංගයේදී ක්‍රිස්තුස් වහන්සේ වෙනුවට කාන්තාවක් යොදා ප්‍රතිනිර්මාණය කර ඇති බවත් එහි සිටි කුඩා දරුවා ඇතුළු අනෙක් පිරිස සමරිසි ප්‍රජාව නියෝජනය කරන බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.

බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ ඉන් සිතාමතාම ක්‍රිස්තියානි දහමට අපහාසයක් සිදුකර ඇති බවය.

මෙහිදී පැවැත්වුණු විලාසිතා දැක්ම සඳහාත් යොදාගෙන තිබුණේ ඩ්‍රැග් ක්වීන් එනම් කාන්තාවන් ලෙසින් සැරසී නර්තන රංගන ඉදිරිපත් කරන පුරුෂයින්ය.

මාරි ඇන්ටොනට් රැජින ඝාතනය කිරීම ප්‍රංශ විප්ලවයේ උච්චතම අවස්ථාවක් වන අතර එයද ඉතා කෘර ලෙස ඉදිරිපත් කෙරුණේ හිස සුන් රැජින නිරූපණය කරමිනි.

මේ අතර සේන් නදිය මතින් ගමන් කරන සුදුමැලි අසු සහ අසරුවාගේ අංගයත් කිතුනුවන්ගේ දැඩි විවේචනයට ලක්වුණි.

එය ක්‍රිස්තියානි බයිබලයේ අවසන් කොටස වන හෙළිදරව් පොතෙන් උපුටාගත් කොටසක් බවත්, ඉන් මරණය සහ විනාශය සංකේතවත් කරන බවත් මතය වෙයි.

මේ අතර ඔලිම්පික් සමාරම්භක උත්සවයට එක්වූ දකුණු කොරියානු ජාතික ඔලිම්පික් කණ්ඩායම උතුරු කොරියානු ඔලිම්පික් කණ්ඩායම ලෙස නම් කිරීම සම්බන්ධයෙන් පැරිස් ඔලිම්පික් කමිටුව සමාව ඉල්ලා තිබුණි.

Share with your friends :