27 C
Colombo
24/11/2024

ජනතාව පාස්පෝට් කාර්යාලය වටලයි-දෙපාර්තමේන්තුවේ කිසිදු ගැටළුවක් නැහැ

Share with your friends :

බත්තරමුලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පස්වැනි මහලේ පිහිටි ආගමන විගමන පාලක ජනරාල්වරයාගේ කාර්යාලයට පිරිසක් කඩා පැනීම හේතුවෙන් කළහකාරී තත්වයක් අද (26) පස්වරුවේ ඇති වූ බව වාර්තා වේ.

දිනකට නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව සීමා කිරීමට ගෙන ඇති තීරණයක් සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ අද පෙරවරුවේ සිට නොසන්සුන් තත්වයක් පැවැති බවත් පොලිසිය මැදිහත්ව එම තත්වය පාලනය කළ බවත් එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාගේ කාර්යාලයට කඩාවැඳුණු පිරිස පොලිසිය මැදිහත්ව විසුරුවා හැරි බව කී එම නිලධාරීයා මේ වන විට එම කාර්යාලය තුළ කිසිඳු ගැටලුවක් නොමැති බව සඳහන් කළේය.

මේ අතර පූර්ව ලියාපදිංචිය සහිත ගමන් බලපත්‍ර අයදුම්කරුවන් පමණක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හා ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, පූර්ව ලියාපදිංචියකින් තොරව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් වළකින ලෙසය.

ලියාපදිංචි වීමෙන් අනතුරුව ගමන් බලපත් ලබාගැනීමේ අවස්ථාව හිමිවන්නේ ප්‍රමුඛතා ක්‍රමවේදයකට අනුකූලව බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

2025.01.01 වන දින සිට රජය විසින් ශ්‍රී ලාංකිකයින් හට කාර්යක්ෂම හා ආරක්ෂාකාරී නව E ගමන් බලපත් ලබාදීම ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව ගමන් බලපත් අයදුම්කරුවන්ගේ පහසුව සඳහා ගමන් බලපත් අයදුම්කිරීමේ ක්‍රමවේදය පහත දැක්වෙන පරිදි නව ක්‍රමවේදයක් ලෙස ක්‍රියාත්මක වේ.

ජූලි 16 වන දින සිට ගමන් බලපත් අයදුම් කිරීම සඳහා https://www.immigration.gov.lk/ සබැඳිය ඔස්සේ පූර්ව ලියාපදිංචියක් සිදුකළ හැකිය.

Share with your friends :