27 C
Colombo
24/09/2024
sri-lanka-parliament

වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට නොහැකි ද? – පාර්ලිමේන්තුවේ වාද විවාද

Share with your friends :

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අද (ජුලි 26) පාර්ලිමේන්තුව වෙත දැනුම් දෙන ලදී.

පොලිස්පති ධුරය හිස්ව නොමැති බවත් තවමත් පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන්නේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා බව පැවසූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගය බලරහිත කළ යුතු බව රජයේ ස්ථාවරය ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තුවේදී පැවැසීය.

“පොලිස්පති සම්බන්ධව වැඩ අත්හිටුවා ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය බලරහිත කළයුතු යැයි කතානායකවරයා සහ පාර්ලිමේන්තුව වෙත සිහිපත් කරනවා. කතානායකවරයා මේ සම්බන්ධව හැකි ඉක්මණින් මැදිහත් වන ලෙස අපි දන්වා සිටිනවා” එහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසා සිටියේය.

‘පොලිස්පතිවරයෙක් කනෙන් අල්ලා දොට්ට දාන්න බැහැ’

පොලිස්පතිවරයෙක් කනෙන් අල්ලා දොට්ට දැමිය නොහැකි බවත් ශ්‍රේෂ්ඨාධිරණය පවා අනුගමනය කළ යුත්තේ පවතින නීතිය බවත් අගමැතිවැරයා මෙහිදී ප්‍රකාශ කළේය.

“අද උදේ මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.”

“එවැනි තත්ත්වයක් තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඈ) වගන්තියට යටතේ ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයා පත් කරනු ලබන්නේ.”

“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහයෝගයෙන් ධුරයේ සිටින පොලිස්පතිවරයා තනතුරෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තමයි නිත්‍යානුකූලව ඉවත් කිරීම කළ හැක්කේ.”

“පවතින නීතිය අනුව ජනාධිපතිවරයාට වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කරන්න ප්‍රතිපාදන නැහැ. එබැවින් ජනාධිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා ලෙස වෙන් අයෙකු පත් කරනු ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට අපේක්ෂා කළ නොහැකි මේ තත්ත්වය මත.”

“පොලිස්පතිවරයෙක් කනෙන් අල්ලා දොට්ට දාන්න බැහැ. ශ්‍රේෂ්ඨාධිරණය පවා අනුගමනය කළ යුත්තේ පවතින නීතියයි.”

“ඒ නිසා පොලිස් ආඥා පනත මගින් ඒකි පොලිස් ආඥා පනත යටතේ විධි විධාන පරිපාලනය කිරීම පොලිස්පතිවරයා වෙත පවරා තිබෙනවා.”

“පොලිස්පතිවරයාට තම ධුරයේ රාජකාරි තහනම් කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන නොමැත. එබැවින් පොලිස්පතිවරයා විසින් සිය ධුරයේ සිදුකරන ලබන රාජකාරි කටයුතු වැළැක්වීමට ජනාධිපතිවරයාට මෙලෙස වැඩබලන පත්වීමක් කළ නොහැකියි.”

“තවමත් පොලිස්පති ධුරය දරන්නේ හිටපු පොලිස්පති. ධුරය හිස් වෙලා නැහැ.” අග්‍රාමාත්‍යවරයා පැවසීය.

පොලිස්පතිවරයෙක් කනෙන් අල්ලා දොට්ට දැමිය නොහැකි බවත් ශ්‍රේෂ්ඨාධිරණය පවා අනුගමනය කළ යුත්තේ පවතින නීතිය බවත් අගමැතිවැරයා මෙහිදී ප්‍රකාශ කළේය

‘ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය වලංගු නොවේ’

ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුව යටතේ පවතින බැවින් එහිදී ගන්නා තීරණ සම්බන්ධයෙන් කිසි ආකාරයකින් හෝ ප්‍රශ්න කළ නොහැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය වලංගු නොවන බවත් අගමැතිවරයා පැවසුවේය.

“ව්‍යවස්ථාදායක සභාව තිබෙන්නේ පාර්ලිමේන්තුව යටතේ. පාර්ලිමේන්තුවේ සමගාමීව තිබෙන ව්‍යවස්ථාදායකය. ඒක පාර්ලිමේන්තුවේ දිගුවක්.”

‘ව්‍යවස්ථාදායක සභාවේ තීරණය පාර්ලිමේන්තුවේම කැමැත්ත ප්‍රකාශ කිරීමක්. එම සභාවේ තීරණ පාර්ලිමේන්තුවේ පාලනයට පමණයි යටත් වෙන්නේ. පාර්ලිමේන්තුවට හැර වෙන කිසිඳු ආයතනයකට ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාමාර්ගයන් සහ තීරණ සම්බන්ධයෙන් කිසි ආකාරයකින් හෝ ප්‍රශ්න කළ නොහැකියි”

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සතු අනුමත කිරීමේ බලය ව්‍යවස්ථාදායක කාර්යයක් වන නිසා එහි කටයුතු අධිකරණයෙන් විමසා බැලිය නොහැකියි”

“පාර්ලිමේන්තුව උත්තරීතරයි. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට හෝ නියෝග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැත.”

“ඒ නිසා වාරණ නියෝගය නීතියෙන් වලංගු නොවේ.”

“පාර්ලිමේන්තුවේ නිර්මාණයක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතලවලට අධිකරණ බලයක් නොමැත.”

“එබැවින් වත්මන් පොලිස්පතිවරයාගේ පත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයට ආපසු හැරවිය නොහැකි අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ තීන්දුව ක්‍රියාත්මක වීය යුතුයි.”

“මෙම අතුරු තහනම් නියෝගය මගින් ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පැවරී ඇති රාජකාරී කිරීමට බාධා පමුණුවනවා. ඒක අපි ගැඹුරින් තේරුම් ගත යුතුයි.”

“මෙම වාරණ නියෝගය නෛතික පදනමක් දක්වා නොමැති අතර එබැවින් කිසිදු නීතිමය පදනමකින් තොරව හුදෙක් නීතිමය වාරණ නියෝගයන් පිළිගැනීමට පාර්ලිමේන්තුවට හැකියාවක් නැහැ.”

“එවැනි තීන්දු පිළිනොගන්නා අතරම පාර්ලිමේන්තුව උත්තරීතරයි.”

“මීට පෙර සිටි කතානායකවරයෙක් වන අනුර බණ්ඩාරනායක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට ඉහළින් සිට එය පිළිනොගෙන සිටියා.”

“මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. පොලිස්පති සම්බන්ධව වැඩ අත්හිටුවා ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය බලරහිත කළයුතු යැයි කථානායකවරයා සහ පාර්ලිමේන්තුව වෙත සිහිපත් කරනවා. කථානායකවරයා මේ සම්බන්ධව හැකි ඉක්මණින් මැදිහත් වන ලෙස අපි දන්වා සිටිනවා.” අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසීය.

‘ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන්න කියන්න’

රජයේ ස්ථාවරය සම්බන්ධයෙන් අගමැතිවරයා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට වැඩ කළ නොහැකි නම් ඔහු ඉල්ලා අස්විය යුතු බවය.

“ශ්‍රේෂ්ඨාධිකරණය තම අතුරු තහනම් නියෝගයේ කියා තිබෙනවා පෙත්සම්කරුවන් සාධනීයව පෙන්වා දී තිබෙනවා කරපු පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති වලට පටහැනි ආකාරයට සිදුකර තිබෙනවා කියලා.”

“එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගය ලබාදීලා තියෙන්නේ පත් කරපු ක්‍රමවේදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෝෂයක් තිබෙන නිසයි. ඒ නිසා ඒ පත්කිරීම වලංගු නැහැ.”

“ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් ලබා දෙනවා පත් කරපු ක්‍රමවේදයේ දෝෂයක් තිබෙනවා කියලා පත් කරපු පොලිස්පතිවරයාගේ. ඒ අනුව ඔහුට පොලිස්පතිවරයා සතු බලය, ක්‍රියාකාරීත්වය සහ වගකීම ක්‍රියාත්මක කිරීම නතර කර තිබෙනවා.”

“මේ ප්‍රශ්නෙන් ජනාධිපතිවරයාට පැන යන්න බැහැ. ඔහු අදටත් ජනාධිපති. ඔහු අපේක්ෂකයෙක් වුණා කියලා ඔහුගේ ජනාධිපති වගකීම් නතර කරන්න බැහැ. ඔහුගේ වගකීම තමයි පොලිස්පතිවරයෙක් නැති අවස්ථාවක අඩුම ගානේ වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කිරීම ඔහුගෙන් එන්න ඕන. ව්‍යවස්ථා දායක සභාව තමයි ඔව්ද නැද්ද කියන්නේ.”

“දැන් මේ ජනාධිපතිවරයාට පොට වැරදිලා ව්‍යවස්ථාදායක සභාවට කියනවා පත් කිරීම කරන්න කියලා. මේ ඔක්කොම හදන්නේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් කරන්න.”

“ජනාධිපතිවරයට වැඩ කරන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න කියන්න. එතකොට වැඩබලන ජනාධිපතිට පුළුවන් නීතියට අනුව කටයුතු කරන්න.” විපක්ෂ නායකවරයා පැවසීය.

‘දැන් තමයි ඔබතුමන්ලට තේරිලා තියෙන්නේ’

2018 වසරේදී අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තහනම් කරමින් නියෝගය පිළිගෙන සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වූ බවත් එවිට විපක්ෂයේ සිටි රනිල් වික්‍රමසිංහ එය පිළිනොගන්නා බවට ප්‍රකාශ නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසීය.

“2018 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළුව අපි හිටපු කැබිනට් මණ්ඩලය තහනම් කරන නියෝගය දුන්නම අපි පාර්ලිමෙන්තුවට ඇවිල්ලා කිව්වේ නැහැ අපි ඒක පිළිගන්නේ නැහැ කියලා.”

“විපක්ෂයේ ඉදලා රනිල් වික්‍රමසිංහ කිව්වේ නැහැ මම මේක පිළිගන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වුණා. නැවත අගමැති විදිහට රනිල් වික්‍රමසිංහ පත්වුණා.”

“දැන් මේ අවුල ඇතිකරන්න එපා. රටේ ව්‍යවස්ථානුකුල අවුලක් එන තැනට රට තල්ලු කරලා තියෙන්නේ. ඒ නිසා ව්‍යවස්ථානුකුලව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දීලා තියෙනවා.”

“ඒ අනුව වැඩබලන පත්වීමක් කරන්න ජනාධිපතිවරයාට. ව්‍යවස්ථා දායක සභාවට ඒකට බලයක් නැහැ. ඒ නිසයි ජනාධිපතිවරයා වැඩබලන නීතිපතිවරයෙක් පත් කලේ.”

“ජනාධිපතිතුමාට ව්‍යවස්ථාවට අනුව වැඩකරන්න කියන්න. නැත්නම් ගෙදර ගියාට පස්සේ ව්‍යවස්ථාවට විරුද්ධව වැඩ කළා කියලා නඩු වැටෙයි.” මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසීය.

‘අධිකරණය හමුවට ගිහිල්ලා තීරණයක් ගන්න’

තීරණය වැරදි නම් අධිකරණය හමුවට ගොස් එය නිවැරදි කර ගන්නා ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසුවේය.

“මෙතන සමහර අය කියනවා වැරදි විදිහට තීරණයක් ගත්තේ කියලා. නමුත් මම කියනවා එහෙම වැරදි ආකාරයෙන් තීරණයක් ගත්තේ නෑ කියලා.”

“ව්‍යවස්ථා දායක සභාවෙන් පත් කරපු නිලධාරීන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (සී) වගන්තිය යටතේ වැඩපිළිවලක් තිබෙනවා. ඒ වැඩපිළිවෙල අනුව ගිහිල්ලයි ඒ කටයුත්ත කරන්න ඕන. එහෙම නැත්නම් ආපහු ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා එතනින් මේ තීරණය ගන්න ඕන.”

“දැන් මේක ජනාධිපතිවරයාටවත් මේ තීරණය ගන්න බැරි තැනක තමයි මටනම් පේන විදිහට තියෙන්නේ.”

“මම වැරදිනම් උසාවියට ගිහිල්ලා එක ඔබතුමන්ලා නිවැරදි කර ගන්න.” යනුවෙන් කතානායකවරයා පැවසීය.

Share with your friends :