27 C
Colombo
24/09/2024

ටෙලිකොම් සමාගම විකිණීම අසික්කිත වැඩක් – විපක්ෂ නායක

Share with your friends :

ටෙලිකොම් සමාගම විකිණීම සඳහා ගැනුම්කරුවන් සොයාගැනීමේදී විනිවිධභාවයක් නොමැති ක්‍රමවේදයක් අනුගමනය කර තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (23) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ගැනුම්කරුවන් තෝරාගත් ක්‍රමවේදය පිළිබඳ වගකිමක්, වගවීමක් සහ විනිවිධභාවයක් නොමැති බවත් සුදුසුකම් ලැබූ බවට ප්‍රසිද්ධ කළ ඉල්ලුම්කරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු නුසුදුස්සෙක් බවත් ටෙලිකොම් සමාගම විකිණීම ගජමිතුරු ධනවාදී දේශපාලන ගනුදෙනුවක්ද යන්න බොහෝ දෙනෙකු තුළ සැකයක් මතුවෙන බවත් සජිත් ප්‍රේමදාස කීය.

ටෙලිකොම් සමාගමේ වත්කම් ගණනය කිරීමේදී අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බවත් වත්කම් ගණනය කිරීම ටෙලිකොම් ආයතනය සහ International Finance Corporation යන ආයතන දෙකම සිදුකර තිබෙන බවත් එමෙන්ම රජය මගින් ටෙලිකොම් ආයතනයේ ඉඩම් සහ ගොඩනැගිලි පමණක් තක්සේරු කර තිබෙන බවත් ටෙලිකොම් සේවා සපයන කොපර් කේබල් ජාලය, ෆයිබර් කේබල් ජාලය, දිවයින පුරා ඇති මධ්‍යස්ථාන 500 කට ආසන්න ප්‍රමාණයක ඇති උපකරණ, සම්ප්‍රේෂණ කුළුණු, ටෙලිකොම් පුහුණු මධ්‍යස්ථාන වැනි විශාල වත්කම් ප්‍රමාණයක් ටෙලිකොම් ආයතනය සතුව තිබෙන බවත් නමුත් රජය ක්‍රියාත්මක කළ තක්සේරු ගණනය කිරීම දෝෂ සහිතව ක්‍රියාත්මක කර තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේය.

ටෙලිකොම් ආයතනය සතු සමස්ත ඉඩම් ප්‍රමාණයේ වටිනාකම මිලියන 400 ක් ලෙස ගණනය කර කොටස් මිල තීරණය කර තිබෙන නමුත් 2023 ටෙලිකොම් ආයතනයේ මූල්‍ය වාර්තාවට අනුව ඉඩම්වල නිවැරදි වටිනාකම රුපියල් මිලියන 5800 ක් බවත් ටෙලිකොම් ආයතනය ඉඩම්වල වටිනාකම අවතක්සේරු කර ටෙලිකොම් ආයතනය විකුණා දැමීමට ගන්නා තීරණය තරයේ හෙළා දකින බවත් සජිත් ප්‍රේමදාස පැවැසීය.

ටෙලිකොම් ආයතනය වසර ගණනාවක් ලාභ ලැබූ ආයතනයක් බවත් බදු සහ ලාභාංශ ලෙස රුපියල් මිලියන 25,000 කට ආසන්න මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදී ඇති බවත් එමෙන්ම යම් කිසි ක්‍රමවේදයක් තුළ පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගතකරණය සිදුකළ යුතු නමුත් ලාභ ලබන ආයතන කුණුකොල්ලයට විකුණන්න ආණ්ඩුව කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා කීය.

කොවිඩ් කාල සීමාවේදීත් බිලියන 12 ක් ශුද්ධ ලාබයක් ටෙලිකොම් ආයතනය ලබා ඇති බවත් ටෙලිකොම් ආයතනය අලාභ ලබන ආයතනයක් බවට පත්වුණේ හිටපු සභාපතිවරයා එම තනතුරෙන් පන්නා දැමූ නිසා බවත් ටෙලිකොම් ආයතනය සම්බන්ධයෙන් වොහාරික විගණනයක් සිදුකළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවැසීය.

Share with your friends :