27 C
Colombo
24/09/2024

පෞද්ගලික වාහන ආනයන තහනම ඉවත් කිරීම කල් යයි

Share with your friends :

පුද්ගලික වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීම ලබන වසර මුල දක්වා ප්‍රමාද කිරීමට රජය තීරණය කර ඇති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
මෙරට ආර්ථිකය තවමත් ස්ථාවර නොවීම සහ ඒ සඳහා පහසුකම් සැලැසීමට ප්‍රමාණවත් විදෙස් සංචිත ප්‍රමාණයක් මහ බැංකුව සතුව නොමැතිවීම යන කරුණු මත පදනම්ව එලෙස තහනම ඉවත් කිරීම ලබන වසර මුල දක්වා ප්‍රමාද කිරීමට රජය තීරණය කර ඇතැයි ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාර නිලධාරියකු පැවැසුවේය.

පුද්ගලික වාහන ආනයනය කිරීම ආරම්භ කිරීමත් සමඟ ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක මුදල් ප්‍රමාණයක් සෑම වසරකම මෙරටින් පිටතට ගලා යනු ඇතැයි එම නිලධාරියා ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් ලොරි, බස් සහ ට්‍රක් රථ මෙන්ම සංචාරය ක්ෂේත්‍රය සඳහා යොදා ගන්නා වෑන් රථ වැනි වාණිජ පදනමකින් යුත් වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම ලබන මස සිට ඉවත්වනු ඇති බවද ආරංචි මාර්ග පැවැසුවේය.

එනමුත් රාජ්‍ය අමාත්‍යාංශ සහ අනෙකුත් ආයතන සඳහා අවශ්‍ය වාහන ආනයනය කිරීම ආරම්භ වන්නේ ලබන වසරේ පුද්ගලික වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීමෙන් පසුව බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මීට පෙර විද්‍යුත් වාහන සහ පුද්ගලික මෝටර් රථ ආනයනය කිරීම සඳහා මෙම වසර අවසානයේ සිට අවසර ලබා දීමට රජය සැලැසුම් කර තිබිණි. නමුත් මෙයද ලබන වසර දක්වා ප්‍රමාද කිරීමට රජය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග පැවැසුවේය. ආනයනය කරනු ලබන පුද්ගලික වාහන වලින් වැඩිම ප්‍රමාණය ත්‍රී රෝද රථ සහ යතුරු පැදි වේ. ඒ හේතුවෙන් පුද්ගලික වාහන ආනයනය ඉවත් කිරීම ලබන වසරේ මැයි හෝ ජූනි දක්වා ප්‍රමාද වනු ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

600 සීසී සිට 800 සීසී දක්වා කාණ්ඩයට අයත් මෝටර් රථ පාලනයක් සහිතව ආනයනය කිරීමට රජය අවසර ලබා දෙනු ඇති බවත් මුල් අදියරේදී බලයලත් නියෝජිතයන්ට සහ මව් සමාගම්වලට ඒ සඳහා අවසර ලැබෙනු ඇති බවත් ආරංචි මාර්ග පැවැසුවේය.

වාහන ආනයනය ලබන වසරේ ආරම්භ වූ පසු වාහන අමතර කොටස් ආනයනය කර මෙරටදී වාහන එකලස් කරන සමාගම් සඳහා රජය ප්‍රමුඛතාව ලබා දෙනු ඇති බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

වාහන ආනයනය කිරීම සඳහා අවසර ලැබී නැති වෛද්‍යවරුන්ගේ සහ රජයේ ඉහළ නිලධාරීන්ගේ වාහන බලපත්‍ර සඳහා අවසර ලබාදීම තීරණය කරනු ලබන්නේද ලබන වසරේදී බව ආරංචි මාර්ග පැවැසුවේය. අවසරය ලබා ගැනීම සඳහා පෝලිමේ තිබෙන ආනයන බලපත්‍ර 10,000 සඳහා එකවර අවසර නොලැබෙනු ඇති බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

එසේම අනෙකුත් වාහනද පාලනයක් සහිතව ආනයනය කරනු ඇතැයිද ආරංචි මාර්ග පැවැසුවේය.

Share with your friends :