27 C
Colombo
24/11/2024

බන්ධනාගාරවල තුන්දහසකට කොරෝනා – තත්වය ගැනත් චෝදනා

Share with your friends :

ශ්‍රිලංකාවේ බන්ධනාගාර වල රැඳවියෝ 2,984 දෙනෙක් සහ බන්ධනාගාර නිලධාරීහු 103 දෙනෙක් හට කොරෝනා වයිරසය ආසාදිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ආසාදිත රැඳවියන්ගෙන් 2,795 ක් පිරිමි රැඳවියන් වන අතර, 189 දෙනෙක් කාන්තා රැඳවියෝ ය. මේ වන විට වයිරසය ආසාදනය වීමෙන් රැඳවියන් 4 දෙනෙකු මියගොස් තිබේ.
මේ අතර ශ්‍රිලංකාවේ බන්ධනාගාරවල ප්‍රශ්න ගනනාවක් පවතින බව හෙළිවී තිබේ. තදබදය, ඉඩකඩ ප්‍රශ්නය සහ යල් පැනගිය පද්ධති යන ප්‍රධාන කරුණු ඇතුළු හේතු රැසක් නිසා ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ඛේදජනක තත්ත්වයක පවතීන්නේ යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කළ අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.බන්ධනාගාරවල තිබෙන දරුණු ඉඩ ප්‍රශ්නය හේතුවෙන් ඇතැම් සිරකරුවන් නිදාගෙන ඇත්තේ මාරුවෙන් මාරුවට බවත් ඉඩකඩ ප්‍රශ්නය නිසා ඇතැම් පිරිස් වැසිකිළි කාමරවල පවා නිදාගෙන ඇති බවත් මෙම අධ්‍යයනයෙන් සොයාගෙන තිබේ.
ඉඩකඩ ප්‍රශ්නය නිසාත් තදබදය නිසාත් සිරකරුවන්ට සනීපාරක්ෂක පහසුකම් සහ ජල පහසුකම් ප්‍රමාණවත් පරිදි ලැබී නැති බවත් මෙම අධ්‍යයනයෙන් වාර්තා වේ. රාත්‍රී කාලයේදී සිරකරුවන් ඔවුන්ගේ කුටීරවලට දමා අගුළු දමන බැවින් ඔවුන්ගේ කුටීරවලින් පිටත තිබෙන වැසිකිළිවලට යෑමට නොහැකි බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට සිය ශරීර කෘත්‍ය බැහැර කිරීමට පොලීතින් උර, ප්ලාස්ටික් හෝ වෙනත් බාල්දි හෝ පනිට්ටු භාවිත කිරීමට සිදුව ඇති බවත් අදාළ අධ්‍යයනයේදී සොයාගෙන තිබේ. ඇතැම් විටෙක එකම සිර කුටීරයක සිටින සිරකරුවන් කිහිපදෙනකුට එකම බෑගය හෝ බාල්දිය භාවිත කිරීමට සිදු වූ අවස්ථාව පිළිබඳව මෙම අධ්‍යයනයේදී දැනගන්නට ලැබී තිබේ.බන්ධනාගාරවල සිරකරුවන්ට ලබාදෙන ආහාර ද හොඳ තත්ත්වයක නොපවතින බවත් ඇතැම් විට ආහාර නරක් වී ඇති බවත් හෙළිවී තිබේ. වැලිකඩ බන්ධනාගාරය හැර අනෙකුත් කිසිදු බන්ධනාගාරයක දුරකතන පහසුකම් නොමැති වීම නිසා සිරකරුවන්ට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හෝ නීතිඥයන් සමඟ සබඳතා පැවැත්වීමට නොහැකි බව ද මෙම අධ්‍යයනයෙන් අනාවරණය වී තිබේ.
බන්ධනාගාරවල තිබෙන ඉහළ මට්ටමේ මානසික පීඩාකාරී තත්ත්වය නිසා ඇතැම් සිරකරුවන් සියදිවි හානි කරගැනීමට ද ඇතැම් අය ඔවුන්ට හානි කරගැනීමට ද උත්සාහ කර ඇති බව ද මෙම අධ්‍යයනයේදී සොයාගෙන තිබේ.
ලොව බොහෝ රටවල බන්ධනාගාර සිරකරුවන්ට මුලික පහසුකම් නිසි පරිදි සැපයෙන අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වෙනමම නිලධාරීන් පවා පත් කර තිබේ. රජය ද බන්ධනාගාර සඳහා විශාල මුදලක් වැය කරන අතර සිරකරුවන් සේවයේ යෙදවීමෙන්ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශාල මුදලක් උපයා ගනී.එසේ තිබියදී බන්ධනාගාර වල තත්වය මේ තරමට පහල යාම බරපතල ගැටළුවක් වී තිබේ. එසේම සුළු වැරදි සඳහා බන්ධනාගාර ගත කිරීම, දඩ මුදල් ගෙවා ගත නොහැකි නිසා බන්ධනාගාර ගත කිරීම වැනි කරුණු සඳහා විකල්ප ක්‍රම භාවිත කරන්නේ නම් බන්ධනාගාර වල අධික තදබදය බොහෝ දුරට අඩු කර ගත හැකි වනු ඇත.

Share with your friends :