ජාතික ජන බලවේගය එංගලන්තයේ ලන්ඩන් නුවරදී ‘NPP Member Group (UK) Limited’ නමින් සමාගමක් ලියාපදිංචි කර ඇත.
මෙම සමාගමේ අධ්යක්ෂවරුන් ලෙස වෘත්තියෙන් වෛද්‍යවරයකු වන ඩබ්ලිව්.ජී. ඉඳුනිල් දීප්ති කුමාර, පරිපාලන ක්ෂේත්රයේ රැකියාවේ නියුතු ඩබ්ලිව්. රංජිත් කුමාර, වෘත්තියෙන් ලිපිකරුවකු වන එච්.වී. සනත් කුමාර ජයරත්න යන තිදෙනා පත්ව ඇත. මොවුන් තිදෙනාම එංගලන්තයේ පදිංචි අයවලුන් වේ.
එංගලන්තයේ සම්මත කාර්මික වර්ගීකරණය (SIC) අනුව මෙම සමාගම 94920 සහ 94990 යන කාණ්ඩ යටතේ ලියාපදිංචි කර තිබේ. 94920 යටතේ දේශපාලන සංවිධානවල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සමාගම් ලියාපදිංචි කෙරේ. වෙනත් තැනක වර්ගීකරණය කර නොමැති අනෙකුත් සාමාජික සංවිධාන ක්‍රියාකාරකම් 94990 යටතේ ලියාපදිංචි කරයි.
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක එළැඹෙන 15 වැනිදා ලන්ඩන් නුවර දේශපාලන රැලි කිහිපයකට සහභාගි වීමට නියමිතය. එම රැලිවල ප්රචාරක කටයුතු කිරීමේ පහසුව වෙනුවෙන් මෙම සමාගම ආරම්භ කර ඇති බවට වාර්තා වේ.
මේ සමාගම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ විධායක සභික නලින්ද ජයතිස්සගෙන් විමසූ විට ඔහු කියා සිටියේ තමා මේ සම්බන්ධයෙන් දැනුවත් නැති බවයි. ඇතැම් විට පක්ෂ සාමාජිකයන්ගෙන් සාමාජික මුදල් එකතු කිරීම සහ දේශපාලනික කටයුතු කිරීම වෙනුවෙන් මෙම සමාගම පිහිටුවන්නට ඇති බව හෙතෙම කීය. වෙනත් රටවල පක්ෂයේ ශාඛා ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ද තමා දැනුවත් නොමැති බව ද ඔහු කීවේය.