27 C
Colombo
17/11/2024

රටපුරා මහා වැසි – ගංවතුර – නාය යාම් මරණ රැසක්

Share with your friends :

ප්‍රදේශ රැසකට ඇඳ හැළෙන අධික වර්ෂාව හේතුවෙන් රට පුරා ප්‍රදේශ රැසක ගොඩබිම් ජලයෙන් යටවීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.

කොළඹ සහ අවට ප්‍රදේශවලට අද පෙරවරුවේ ඇඳ හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කොළඹ මාර්ග රැසක් ජලයෙන් යටවිය.

කැලණි, ගිං සහ නිල්වලා ගගේ අතු ගංගාවක් වන කිරම ඔය පිටාර ගැලීමෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යටවීමෙන් ජනතාව අපහසසුතාවට පත්ව සිටිති.

බියගම – කැලණිය මාර්ගය මල්වානෙන් ද, මාපලගම – පිටිගල මාපලගමින් ද, හිනිදුම, උඩුගම, නාගොඩ, බද්දේගම, නෙළුව ආදි ප්‍රදේශ රැසක් මේ වන විට ජලයෙන් යටවී තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ ගාල්ලට මායිම්ව ප්‍රදේශ රැසක ගම්මාන ජලයෙන් යටවීමෙන් පවුල් රැසක් නිවෙස්වල හිරවී අපදාවට පත්ව සිටින බව වාර්තා වේ.

සිටිනාමළුව මහ වැව පිටාරගැලීමෙන් තංගල්ල – බෙලිඅත්ත මාර්ගය ජලයෙන් යටවී තිබේ.
විනෝද වීම සඳහා හොරණ වගවත්ත ප්‍රදේශයේ හෝටලයකට පැමිණ සිටි විවිධ වයස් සීමාවල පුද්ගලයන් 85 කට ආසන්න පිරිසක් මාවක් ඔය පිටාර ගැලීම හේතුවෙන් එම හෝටලය තුළ සිරවීමෙන් නොසිතූ අකරතැබ්බකට මුහුණ දුන්හ.

ඒ පිළිබඳ හොරණ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පි එස් පනාවල මහතා වෙත තොරතුරු දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් ,ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් හා එක්ව සිරවී සිටි පිරිස ට්‍රැක්ටරයක් සහ බෝට්ටු යොදා ගනිමින් නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කළහ.

අනපේක්ෂිත ලෙස ඇද හැලුණු වර්ෂාව නිසාවෙන් සීතාවක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පුද්ගලයන් සිව් දෙනකු මියගොස් ග්‍රාම නිළධාරී වසම් 11ක ජනතාව ජලයෙන් යට වී පීඩාවට පත්ව ඇතැයි කොළඹ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පවසයි.

අවිස්සාවේල්ල පුවක්පිටිය දකුණ ග්‍රාම නිළධාරී වසමේ එකම පවුලේ තිදෙනකු මෙලෙස ජලයෙන් යට වී මියගොස් ඇති බවත් තවත් අයකු පස් කන්දක් කඩා වැටීම නිසා මියගොස් ඇති බවත් එම ඒකකය පවසයි.

ජල ගැලීම් නිසාවෙන් හයිලෙවල් මාර්ගයේ රථ වාහන ධාවනය ද කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා නතර වී ඇති අතර පුවක්පිටිය දුම්රිය ස්ථානය අසල දී රථ වාහන ජලයේ ගසා ගෙන ගොස් ඇතැයි ද එම ප්‍රදේශයේ ජනතාව පවසති.

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඉදිරි පැය 24 ට වලංගුවන පරිදි දහවල් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලත් මි.මී. 150 ට වැඩි ඉතො තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලිකව තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නාලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.

Share with your friends :