නීතිපතිවරයාට සේවා දිගුවක් දීමට තීන්දු කළේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ වලට අදාලව ඉදිරි කටයුතු රදගුරු මණ්ඩලය සමඟ සම්බන්ධීකරණය කිරීමේ කමිටුවේ නියෝජිතයකු ලෙස ඔහු ප්‍රධාන කාර්ය භාරයක් කරන බැවින් යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් බ්‍රහස්පතින්දා(30) ජනපති හමුවී මේ ගැන විමසූ අවස්ථාවේදීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන,ප්‍රේමනාත් සී දොලවත්ත ඇතුළු පිරිසක් මේ ගැන ජනපතිගෙන් විමසා තිබුණේ විපක්ෂය නඟන චෝදනාවත් සමඟය.
පාස්කු ප්‍රහාරයෙන් පසු පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ශ්‍රී ලංකා කතෝලික රදගරු මණ්ඩලයේ සභාපති හැරල්ඩ් ඇන්තනි පෙරේරා කුරුණෑගල රදගරුතුමන්ට යොමු කොට ඒ ගැන සාකච්ඡා කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක, කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හා නීතිපති සංජය රාජරත්නම් මහත්වරුන් පත් කළ බව ජනපති මන්ත්‍රීවරුන් හමුවේ කියා ඇත.
මේ කමිටු සාමාජික නීතිපති සංජය රාජරත්නම් දිගින් දිගටම රදගුරු මණ්ඩලය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින නිසා එම සාකච්ඡා අවසන් වන තුරු ඔහුගේ සේවය දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනපති සඳහන් කර තිබේ.
අලුත් නීතිපතිවරයකු පත් කළ හොත් ඔහුට මේ කටයුතු අධ්‍යයනය කරන්නට තවත් කාලයක් ගත වන බැවින් නීතිපති සේවා කාලය දීර්ඝ කරන්නට තීන්දු කළ බව පවසා ඇති ජනපතිවරයා කාට හෝ ඒ ගැන ගැටළුවක් තිබේ නම් ඒ කාරණය රදගුරු මණ්ඩලයෙන් විමසා දැනගත හැකි බවද කියා ඇත.