27 C
Colombo
18/11/2024

සිංගප්පූරු ගුවන් අනතුර- මරණ 1- තුවාල71 – 8 කට බරපතලයි-ගුවන් සමාගම් බියෙන්

Share with your friends :

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව් 321 ගුවන්යානය තායිලන්තය ආසන්නයේ ඉහළ අහසේදි වායු රික්තකයකට හසුවීමෙන් එක් අයෙකු මියගොස් තවත් 71 දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භවී තිබේ.

ජාත්‍යන්තර ගුවන් ගමන් පර්යේෂකයන් විසින් පවත්වන මෙම සිද්ධිය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වනු ලබන්නේ මෙම තත්වය සමස්ත ගුවන් ගමන් ක්ෂේත්‍රයටම බලපාන නිසාය.
ගෝලීය උෂ්ණත්වය ඉහලයාම මෙවන් තත්වයන්ට මග පාදන බව විද්‍යාඥයෝ පවසති.
සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බව සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලෝරන්ස් වොන්ග් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

එම සිදුවීමෙන් පසුව යානය හදිසියේ ගොඩබැස්වූ බැංකොක් ගුවන්තොටුපොළ වෙත සිංගප්පූරුවේ ප්‍රවාහන අමාත්‍යාංශය විසින් විමර්ශන ආරම්භ කිරීම සඳහා නිලධාරීන් කණ්ඩායමක් යවනු ලැබ ඇති බවත් ඔවුන්ට සහාය වීම සඳහා ඇමෙරිකාවද නියෝජිතයන් පිරිසක් යවා ඇති බවත් සිංගප්පූරු බලධාරීහු ප්‍රකාශ කළහ.

මියගිය 73 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයා හෘදයාබාධයකින් මියයන්නට ඇති බව සැකකරෙන බවත් තුවාල ලැබූ මගීන්ගෙන් අට දෙනෙකුගේ තත්වය බරපතල බවත් සිංගප්පූරු බලධාරීහු ප්‍රකාශ කළහ.එසේම තවත් 39 කුගේ තත්වය බරපතළ නොවූවත් ඔවුන් රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සිදුවන තුවාල ලබා ඇති බවත් ඔවූහු පෙන්වා දුන්හ.

මගීන් 211ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 18 දෙනෙකු සමඟ ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොළෙන් ගමන් ඇරඹි එම ගුවන් යානය පැය 10 කට පමණ පසු වායු රික්තකයට හසුවීම හේතුවෙන් විනාඩි 3 ක් තුළ අඩි 6000 ක් පහළට පැමිණ ඇති බවත් එහිදී එක් අයෙකු මියගොස් තවත් 71 දෙනෙකු තුවාල ලබා ඇති බවත් චන්ගි ගුවන් තොටුපොළ බලධාරීහු පැවැසූහ.
එක් වරම සීට් බෙල්ට් ලකුණ පැමිණි බවත් ඒ සමගම යානය එක්වරම පහලට ඇදී ගිය අතර මගීන් ඒ මේ අත යන්නට වූ අතර එයින් මගීන් තුවාල ලැබූ බවත් මගීහු පවසති. ඒ සමගම මගීන්ගේ බඩු හා විවිධ ද්‍රව්‍ය වතුර ,බෝතල් කෝපි කෝප්ප ගුවන් යානය තුල එහා මෙහා පාවෙන්නට පටන්ගෙන ඇති අතර තුවාල ලැබූ මගීන්ගේ හිස් වලින් හා කන් වලින් ලේ ගලන්නට පටන් ගෙන තිබේ. මගීන් වේදනාවෙන් හා බියෙන් කෑගසන්නට පටන් ගෙන තිබේ.
අනතුර හේතුවෙන් යානයේ අභ්‍යන්තරයට හානි සිදුවී ඇති බවත් ඒ හේතුවෙන් තායිලන්තයේ බැංකොක් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට යානය හදිස්සියේ ගොඩ බැස්වීමට සිදුවූ බවත් ගුවන් තොටුපොළ බලධාරීහු සඳහන් කළහ.බරපතළ තුවාල නොලැබූ මගීන් 143 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙනත් ගුවන් යානයක් මගින් සිංගප්පූරුව වෙත රැගෙන ආ බවද සිංගප්පූරු බලධාරීහු පැවැසූහ.

Share with your friends :