අප දෙදෙනා සිටියේ මැදිවියේ ආරම්භක දිනයන්හී ය.දරුවන් අවශ්‍ය නැතැයි සැලකූ බැවින් අප දෙදෙනාට දරුවෙකු සිටියේ නැත.සන්සුන් උදයන්ද ප්‍රේමණීය රාත්‍රීන් ද බහුල වූ අපගේ ජීවිතය ගෙවී යමින් තිබුණේ පූර්ණව ය.එහි අඩුවක් යැයි දැනෙන කිසිවක් තිබුණේ නැත.
ඈ පරිපූර්ණ ගැහැනියකි. උගත්ද බුද්ධිමත්ද ධනවත්ද බලවත්ද වූවාය.නමුත් කිසියම් තැනක හිස් තැනක් විය.නැතිනම් ඇය පූර්ණ වූවා වැඩිය. ඔවු, සැබැවින්ම ප්‍රශ්නය ඇය පූර්ණ වීමය. එය ත් මට වඩා පූර්ණ වීමය.
අප දෙදෙනාම නීතිඥ වෘත්තියේ නිරත වූයෙමු.පසු කලෙක මා ව්‍යාපාර ක්ෂේත්‍රයට පා තැබූ අතර ඈ නීතිඥ වෘත්තියේම ඉදිරියට ගියාය.
ඇය විනිසුරුවරියක වන විට මම ව්‍යාපාරිකයෙකු පමණක් ව සිටියෙමි.කෙතරම් විශාල ව්‍යාපාරකට හිමිකම් කියූවද සමාජයේ දී මා ඇයගේ සැමියා මිස ඇය මගේ බිරිඳ නොවීය.එක්ව සමාජගත වන බොහෝ අවස්ථාවන් වල මා “මැඩම් උදාරීගේ හස්බන්ඩ්”ලෙස හැඳින්වීමට පටන් ගත්තේය.යම් තැනක කටුවක් ඇනුණු බවක් නොකියමි.එහෙත් මට අවශ්‍යව ඇත්තේ මගේ උරහිසට පහළින් සිටින ගැහැනියක බව අවබෝධ වන්නට පටන් ගත්තේය.
ඈ සියල්ල වටහා ගන්නා සුළුය .ඇයගේ තීන්දු සෘජුය.ඇතැම් නඩු පිළිබඳව අප දෙදෙනා කතා කතාකරන බොහෝ අවස්ථාවන් වලදී ඈ විසින් මානුෂීය කරුණු කාරණා බැහැර කරන්නේ යැයි මට සිතිණි.කෙටි හා පැහැදිලි පිළිතුරක් ලෙස ඈ කියා සිටියේ මනුෂ්‍යත්වය හා නීතිය එකක් නොව දෙකක් බවය.
මනුෂ්‍යත්වයට ගැලපෙන නීති වලින් තීන්දු තීරණ දීමට නම් තමා විනිසුරුවරියක විය යුතුව තිබුණේ වඩාත් දියුණු රටක හෝ ආධ්‍යාත්මිකමය දියුණුවක් සහිත මිනිසුන් වසන ආධ්‍යාත්මික ලෝකයක බව ඇගේ අදහසය.මගේ තර්ක සියල්ල අසා සිටි ඈ “ඔයා කියන හැමදේම ඇත්ත ඒත් තීන්දු දෙන්න වෙන්නේ සාක්ෂි මතනෙ..සමහර තීන්දු දෙන්න සිද්ධ වෙන්වෙන්නේ දත කට හපා ගෙන. ඒත් ඉතිං කරන්න දෙයක් නෑ.හිතක් පපුවක් තියෙන මනුස්සයෙකුට හම්බවෙන්න හොඳම නැති රස්සාවක් තමයි මේක”යනුවෙන් කියා එතනින් ඉදිරියට කතාව ගෙන නොයා සිටීමට වගබලා ගත්තාය.
ස්ත්‍රී දූෂණයක් හා සම්බන්ධ විත්තිකරුවෙකුට කිසිදු සාක්ෂියක් නොමැති වීම හේතුවෙන් නිදොස් කොට නිදහස් කර තීන්දුව දීමට සිදු වූ එක් අවස්ථාවක මම ඇය කෙරේ දැඩි ව කෝප වීමී.ඈ මමද නීතිඥවරයෙකු ව සිටි බවක් මට සිහිපත් කළාය.
නීතියෙන් දඬුවම් නොලැබුණා වුවත් ඔහුගේ වරද පිළිබඳව වන දඬුවමක් දැනටමත් ආධ්‍යාත්මික වශයෙන් තීරණය වී ඇති බවත් එය යථා කාලයේදී ඔහු මත වැටීමට නියමිත බවත් ඈ විශ්වාසයෙන් කීවාය.
එය තමාගේ සීමාවෙන් එහා පැත්තේ සිදුවන්නක් බැවින් තමාගේ අදත් හිතත් නිදහස් බව කීවා පමණක් නොව තමාට දීමට සිදු වූ තීන්දුව පිළිබඳව කිසිදු පසුතැවීමක් හෝ වේදනාවක් නැතැයිද කීවාය.ඒ ගැහැනිය දෙස බලා සිටි මම ඇයගේ අසංවේදී බව පිළිබඳව කණගාටු වූයෙමි.
“අපි දැන් හතලිහ ලබපු මිනිස්සු.අපිට පොඩි හරි ආධ්‍යාත්මික අවදිවීමක් තියෙන්න ඕනේ.සියලු වේදනා ඊට අදාළ වේදනාවකින් ම සමනය වේ කියන එක මම විශ්වාස කරනවා.මිනිස්සු කරපු පව් වලට දඬුවම් දෙන එක මගේ වැඩක් නෙමෙයි.මම කරන රස්සාවෙන් කරන්නේ එක මනුස්සයෙක්ගෙන් තව මනුස්සයෙකුට සිද්ද වෙන කරදර පොඩ්ඩක් අඩු කරන්න දරන උත්සාහයක් විතරයි.පාපයට දඬුවම දෙන තැනකින් ඒ කියන්නේ හෘද සාක්ෂිය පමණක් සාක්ෂිය හැටියට ගැනෙන තැනකට ගිය දවසට ඔය කොයි වැරදිකාරයොත් දඬුවම් ලබයි. ඒක හිතලා මම මගේ පැත්තෙන් මගේ හිත නිදහසේ තියාගන්න කැමතියි”
එය කී එම කතා ශෛලිය ට මම කැමති නොවීමී.
පහසුව තකා යැයි කෙටි කර කපන ලද ඇයගේ කොණ්ඩ විලාසිතාවද මගේ ප්‍රිය තාවයට බඳුන් වූයේ නැත.ඇය කෙරෙහි වූ මගේ ප්‍රිය තාවයන් ගිලිහී යමින් පැවතියේ කෙසේදැයි මා පවා දැන සිටියේ නැත.
මගේ සේවිකාවක වූ නිසංසලා තේනබදු සිය දික්කසාදය උදෙසා මගෙන් උදව් ඉල්ලා පැමිණියේ එම දෛවෝපගත කාලසීමාවේ ය.
නිසංසලාගේ කතාබහ ආකර්ෂණීය ය.ඈ ශබ්ද නගා කතා කරන්නේ නැත.කිසිවකට එරෙහි වන්නේ නැත.තමා හරි වූවත් වැරදි වූවත් වරද පිළිගෙන හිස නමා පිටවී යන්නීය..නිවැරැද්දේ බැනුම් ඇසූ බොහෝ අවස්ථාවන්වල ඇය සිය හිස මේසයට හිස තබාගෙන හඬනු මම දැක ඇත්තෙමි.ඇතැම් විට මගේ සිත් ගත්තේ ඇයගේ ඒ අහිංසක කම විය හැකිය. කෙසේ හෝ ඒ විසි නම වියැති වූද දිගු කොන්ඩයක් හිමි වූ ද ගැහැනිය මගේ සිත තදින් පැහැර ගත්තාය.
කෙසේ හෝ නිසංසලාගෙ දික්කසාදය හිමි වන විට, මට මගේ කසාදය දුක් කසාදයක් බව දැනෙන්නට පටන් ගෙන තිබූ අතර මම නිසංසලාට ප්‍රේම කරමින් සිටියෙමි.මිනිසෙකුට තමාට අවශ්‍ය කුමනාකාර ගැහැනියක දැයි හරියටම වටහා ගැනීමට නම් ඔහුගේ ජීවිතයේ කාර්තු තුනක්වත් ගෙවී අවසන් ව තිබිය යුතු බවක් විශ්වාස කිරීමට පටන් ගෙන තිබූ මට, මා සෙවූ ගැහැනිය හමුව තිබුණේ බොහෝ කල් පමා වීය.
විනිසුරුතුමිය හා මා විසූ නිවසේ කුස්සිය පාළුවී ගියේය.තවදුරටත් අප දෙදෙනා එක්ව කෑම පිසීමක් නොවීය.පුරුද්දට මෙන් එකම කාමරයේ නිදා සිටිය ද මම ඇයගේ ශරීරයට ඇඟිල්ලක් හෝ නොතැබූවෙමි.සන්ධ්‍යාවේ විනිසුරුවරියගෙන් කුඩා කෙල්ලකට මාරුව මා වෙත පැමිණ තුරුළු වන්නට උත්සාහ කරන සෑම විටම මට ඈ කෙරෙහි නොරුස්නා හැඟීමක් ඇතිවන්නට විය.මම ඇයව ප්‍රතික්ෂේප නො කළෙමි නමුදු නොසෙල් වී සිටියෙමි.ක්‍රමක්‍රමයෙන් ඇය ද ඇයද මගේ සිරුරෙහි නොගැවී සිටීමට පටන් ගත්තාය.අපි නිහඬවම වෙන් වෙමින් සිටියෙමු.
සාලයේ ස්ටූලය,කාමරයේ මේසය,කුස්සියේ ගෑස් ලිප අසළ තැබූ ගීත කොටස් ලියූ කොල කැබලි නැතිව ගියේය.
උදෑසන මා නිවසින් පිටව යන විට බෑගය අතට දී මගේ කම්මුලක් සිප ගන්නා මා නැවත නිවසට පැමිණෙන විට මගේ බෑගය අතින් ගෙන මහන්සිදැයි අසන්නා වූ “නිවසේ සිටින බිරිඳක්” මට අවශ්‍ය විය.කාලයකට පෙර මගේ අවශ්‍යතා තුළ එවැන්නක් නොවීය.එවකට මට අවශ්‍ය වූයේ මගේ ජීවන ගමනේ අරමුණු ඉටු කර ගැනීමට සහාය දිය හැකි ගැහැනියක පමණි.එම ගැහැණිය මා උදෙසා දෙන සහයෝගයට හිලව්වට ඇයගේ ජීවිතයේ ඇය බලාපොරොත්තු වන්නා වූ අරමුණු ඉටුකර ගැනීමට ඇයට ද සහාය දීමට මම සැදී පැහැදී සිටියෙමි.
මගේ ජීවිතයේ එම කාල වකවානුව නිමාව ඇති බවත් සැබවින්ම දැන් මට අවශ්‍ය කුමක්දැයි මා දැන සිටින බවත් ඇයට කීමට මට අවශ්‍ය විය.
පසුගිය වසරේ පෙබරවාරි මාසයෙහි තෙවන සතියේ බදාදා දිනය විශේෂ වූ දිනයකි.ඒ නිසංසලාගේ උපන්දිනයද මගේ විවාහ සංවත්සරය ද යෙදී තිබූ දෛවෝපගත දිනයයි.
එදින මා නිවස වෙත යෑමට පිටත් වූයේ “මගේ දුක් කසාදයේ අවසානය සනිටුහන් කර නිසංසලා සමග විවාහයකට එළඹීමට මට අවශ්‍ය බව නිවසේ සිටින විනිසුරු තුමියට කියන්නෙමි” යන පොරොන්දුව නිසංසලාට ලබා දීමෙන් පසුවය.
කැමැත්තෙන් වුවත් අකමැත්තෙන් වුවත් ඉතා ඉක්මනින් දික්කසාදය ලබාගත යුතු තත්ත්වයකට පත්ව සිටි නිසංසලා හා මා සිටියේ දෙමාපියන් වීමට බලකෙරෙන පසුබිමකය.
මම,මගේ විවාහය තුළ මට දරුවන් අවශ්‍ය නොවන බව තීරණය කරගෙන සිටි මිනිසකු වුවද මේ අවස්ථාවේ නිසංසලාගේ කුස තුළ මගේ දරුවකු වැඩෙන බව දැන ගැනීම මා තුළ ඇති කර තිබුණේ ප්‍රහර්ෂයකි. වසර කීපයකට පෙර මෙවැනිම ආකාරයේ අනපේක්ෂිත ගැබ් ගැනීමකට ලක්වූ නිවසේ සිටින විනිසුරුවරිය මගෙන් කිසිදු පෙර විමසීමකින් පවා තොරව විභාගයට මුහුණ දීමට සූදානම් වීම උදෙසා කාලය අවශ්‍ය බව කියමින් එම දරු ගැබ විනාශ කර තිබූ අයුරු මට අද මෙන් මතකය.ඒ වන විට මා සිටියේ මාසයක කාලයක් උදෙසා විදේශ ගතවය.
“ඇයි ඔයා මගෙන් අහන්නැතුව එහෙම තීරණයක් ගත්තෙ? යනුවෙන් මා ඇසූ විට ඇයගේ පිළිතුර වූයේ “මම හිතුවේ කොහොමත් ඔයා මට දොස් කියයි කියලා.අනික ඔයා කොහොමත් කැමති නෑනෙ. ඒක නිසා”යන්නය.
සැබෑවකි මම දරුවන්ට ප්‍රිය මිනිසකු නොවූයෙමි.දැනුදු මට මා දරුවන් ප්‍රිය කරන පියෙකු වියහැකි මිනිසකු බව පෙනෙන්නේ නැත. හැඟෙන්නේ නැත.නමුත් ලෝකයා ඉදිරියේ, දරුවන් අහිමි මිනිසකු වීම මා පෙළයි.එය කිසියම් ආකාරයක නොහැකියාවක් යැයි මිනිසුන් කතා වෙනු ඇති බව මම දන්නෙමි.”කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ දරුවෙක්වත් නැතුව” යනුවෙන් ඇතැමෙක් කියනු මටම පවා ඇති තිබේ.
කෙසේ හෝ දැන් ඉතින් නිවසේ සිටින විනිසුරු විනිසුරු තුමියගෙන් දික්කසාදය ලබාගත යුතුය.
“එයා එහෙම ලේසියෙන් ඩිවෝස් එක දෙන එකක් නෑ”
නිසංසලා කීවාය. මමද එය දැන සිටියෙමි.
මා නිවසට ඇතුලු වූයේ දොරකොඩ සිට හොඳ හුස්මක් ගැනීමෙන් පසුවය.ඇය දැඩි ගැහැනියකි.ශක්තිමත් ගැහැනියකි.ඇය සමග වාද කිරීමට කරුණු තිබිය යුතුය.ඈ විනිසුරුවරියක බව අමතක නොකළ යුතුය.
මා නිවසට ඇතුලු වන විට බලාපොරොත්තු නොවූ ආකාරයෙන් රෝමාන්තික සංගීතයක් වාදනය වනු ඇසිණි.ඒ සැක්සෆෝන් වාදනය ඇය මෙන්ම මා ද ප්‍රිය කළ එකකි. කාලයක අප දෙදෙනා අප උදෙසාම මැවී ඇති බවක් සිතන තරමට ප්‍රේමයෙන් වෙලී සිටියා නො වේ දැ යි කල්පනා වීමත් සමඟ කිසියම් ආකාරයක ශෝකජනක මනෝභාවයක් මා තුළින් ඉස්මතු ව නැගී ආවේ වුවද මම එය යටපත් කර ගතිමි.
කාමරයේ දොර හැරීමත් සමඟ මා දුටුවේ රෝස පැහැ දිගු ගවුමක් හැඳ රෝස මලක් අතැති ව මා දෙස බලා සිටි ඇය ය.ඒ ඇයමය.මා විසින් අතැර යාමට සූදානම් ව සිටි ඇයමය.මට ඈ කෙරෙහි ඇති වූයේ නොරිස්සුමකි.මේ බලෙන් එල්ලීමට දරණ උත්සාහයක් බඳු හැඟීමක් මා තුළ විය..ඈ සිනාසෙමින් බලා සිටියාය.අත වූ රෝස මල මා වෙත දිගු කළාය.
මම එය මඟහැර ගොස් ඇඳ මත තිබූ රිමෝටය සොයාගතිමි.තවත් මොහොතකින් මගේ අතින් සැක්සෆෝන් වාදනය නැවතී ගියේය.
“උදාරි ..මට කියන්න දෙයක් තියෙනවා.මම අවුරුද්දක් තිස්සේ ඔයාට මේක කියන්න බලාගෙන ඉන්නවා.සතියක් දෙකක් නෙවෙයි අවුරුද්දක් තිස්සෙ.මේකයි.මට ඔයාට නරකත් කරන්න ඕනේ නෑ.ඔයාට මේ ගේ අයිතියි.හැබැයි.මේකයි.”
ඇඳෙහි කෙළවරක හිඳගත් ඈ කොට්ටය ඇද විට්ටමට තබා එයට හේත්තු වූවාය.ඉනික්බිති ඉතා සෙමෙන් මම දන්නවා යැයි කීවාය.
“මේකයි මේක දැන් ටික කාලයක් වෙනවා”
“මම දන්නවා”
“මේකයි මම කියන දේ සම්පූර්ණම අහල ඉවරවෙලා කතා කරන්න.මම මේ කියන්න හදන්නෙ ඔයා හිතන දෙයක් නෙවෙයි.මේක මේ..”
“අහන්න දෙයක් නෑ මම දන්නව චරිත් .එයාගෙ නම නිසංසලා.ඔයාගෙ ඔෆිස් එකේ වැඩ කරන්නෙ.එයාගෙ අම්මා ටීච කෙනෙක්.කලින් හස්බන්ඩ් නේවි ඔෆිසර් කෙනෙක්.අවුරුද්දක් තිස්සෙ ඔයාගෙයි එයාගෙයි සම්බන්ධයක් තියෙනවා”
මගේ ඇතුළත ශබ්ද නැඟෙන අයුරින් එක් කලාපයක් අඳුරු වී ගියේය.මට අවශ්‍යව තිබුණේ ඇයට ඒ සියල්ල කීමටය.එහෙත් ඇය ඒ සියල්ල දැන ගැනීම මගේ කැමැත්ත ද නොවීය.
“ඔයා කොහොමද දන්නෙ? කවුද කිව්වෙ?”
“මම දැක්කා ඔයා කවි ලියලා තියෙනවා .ඒව හරි ලස්සනයි.මෙච්චරක් කල් ලියන මේසේ උඩින් තිබ්බ කවි ලියලා ලාච්චුවට ඇතුලට දාලා ලොක් කරලා වහල තියෙනකොට ඒව මට නෙවෙයි කියලා මට තේරුනා”
“මෙහෙමයි හිතලා කළා නෙමෙයි.දන්නෙම නැතුව හැමදේම සිද්ධ වුණා”
“ආදරයක් ලස්සනම දන්නෙම නැතුව ආවම..හැබැයි චරිත් දෙමාපියභාවය කියන එක එහෙම දන්නෙම නැතුව එන්න හොඳ දෙයක් නෙවෙයි .ඒක ආශා කරලා ,කැමති වෙලා එන්න ඕන දෙයක්”
එසේ නම් ඇය ඒ පිළිබඳව දැනුවත්ය. කවුරුන් විසින් කියා තිබුනා වුවත් එය මට වාසිදායක ආකාරයේ කේලමකි.මට මගේ කාරිය පහසු වී තිබිණි.
“ඒව මම බලාගන්නං.මේකයි මට ඩිවෝස් එක ඕන” මම සෘජුවම කියූවෙමි.
“ඔයාද ෆයිල් කරන්නෙ? නැත්තං ඒකත් මම ද?”
“ඔයාම කරන්න.ඔයාටනෙ වරද වෙලා තියෙන්නෙ”
“මට වරදක් වෙලා නෑ.ඔයාට අලුතෙන් ආදරයක් ඇතිවෙලා තියෙන එක වැරැද්දක් නෙමෙයිනෙ”
ඈ සුසුමක් හෙලුවාය.
“එතකොට ඔයා මෙහෙන් යනවද නැත්නම් එයාව මෙහෙට ගේනවද?”
ඈ අසන්නට වූයේ නැගී සිට තමා හැඳ සිටි ගවුමට උඩින් ජැකට්ටුවක් දමා ගන්නා අතරය.
මම මගේ අත මානයේ වූ රිමෝටය රැගෙන වායු සමීකරණය නිවා දැමූයෙමි.
“මේ ගේ ඔයාට.මම ෆ්‍රැන්සිස් ලේන් එකෙන් ගෙයක් ගත්තා.”
“අදම යනවද?”
“ඔව්”
“ඇඳුම් අරන් යනවද? පැකින් වලට උදව්වක් ඕනද?”
“නෑ මම කරගන්නම්..මේ ඔයා..”
“ඩෝන්ට් වොරි චරිත් අයෑම් ෆයින්”
“ඔයාට කොහොමත් ඕන දෙයක් දරාගන්න පුලුවන් .ඔයාට ලොකුවට දැනෙන්නෙ නෑ.ඒත් නිසංසලා අහිංසකයි.මගෙන් එයාට වරදක් වෙලා තියෙනව.එයාට දුක් විඳින්න බෑ.මලක් වගෙ ගෑනියෙක්” මම කියාගෙන ගියෙමි.
කිසිදු හැඟීමක් නොමැති බවක් පෙන්වූ ඈ සැහැල්ලු ලෙස ගොස් අල්මාරිය හැර මගේ ඇඳුම් සියල්ලගෙන් ඇඳ මතින් තැබුවා ය.
“ලොන්ඩ්‍රි එකට දාපු ඇඳුම් ටික එහෙට එවන්න කියලා ලොන්ඩරි එකට කෝල් එකක් දාලා කියන්න”
ඈ මගේ ඇඳුම් පැළඳුම්ද අවශ්‍ය ලිපි ලේඛන යන සියල්ල බෑගයන්වල ඇසිරුවාය.
“මම සේරම කලින් ලෑස්ති කරල තිබ්බේ.නිසංසලාගෙ එපොයිමන්ට් එක අටටනෙ.ඩොක්ටර් මලින්ද හොඳ වීඕජී කෙනෙක්.එයා ලඟට ගිය එක හොඳයි.ඔයාට එයාව ගන්න යන්නත් වෙලාව තියෙන්න ඕන නිසා මම සේරම කලින් ලෑස්ති කරා.”
ඈ සියල්ල දැන සිටියාය.
“ඔයා බලාගෙන ඉඳල තියෙන්නෙ මාව එලව ගන්න නේ”
මම උපහාසයෙන් කීවෙමි.
ඈ මේසය වෙත ගොස් පෑන සහ කුඩා පොත රැගෙන එහි පිටුවෙහි යමක් ලිව්වාය. ඒ වසරකට පෙර අප දෙදෙනා අතරින් ගිලිහී ගිය චාරිත්‍රයකි.ඉන් පෙර වසර දහසයක් පුරාවට අපි එම චාරිත්‍රය ඉටුකරමින් පැමිණියෙමු.
එනම් වඩා වඩාත් ප්‍රේමණීය වන විට හා අතිශයින් කෝප වන විට වචන වලින් නොබැන අතින් ලියා හැඟීම් පෙන්වීමය.ඈ ලියූ දෙය මා වෙත දිගු කරනු ඇතැයි මා බලාපොරොත්තු වූ නමුදු ඈ එය මා වෙත නො පෑවාය. කඩදාසිය ගුලිකොට පෑන් රඳවනය තුළ එබුවාය.ඇයට අවැසි වූයේ එය මගෙන් සඟවන්නට බව වටහාගත් මම එය නොදුටුවා සේ සිටීමට තීරණය කළෙමි.
මා දොර තෙක් ඇවිද ආ විට ඇයද මා පසුපසින් පැමිණියාය.ඈ දොර හැර මා දෙස බලා සිටියාය.මම නැවත වරක් ඇය දෙස හැරී බැලුවෙමි. මා බලාපොරොත්තු වූවාට වඩා බොහෝ පහසුවෙන් ඇය මා නිදහස් කර තිබිණි..සැබැවින්ම එය විශ්වාස කළ හැකි මට්ටමක තිබුණේ ද නැත. අනෙක් අතට ඒ කොහොමත් ශක්තිමත් ගැහැනියකි. ඇයට මා ඇතිවද නැතිවද පැවතිය හැකිය.
“ඔයා හිතන්න එපා. මම හොඳින්.. මම හොඳින්”
එසේ කියූ ඈ මට අත වැනුවාය.මගේ දෑතෙහි බෑගයන් දෙකක් වූ බැවින් ඇයට අත වැනීමට මට හැකි වූයේ නැත.
“මම නම් හිතුවේ නෑ එයා එච්චර ඉක්මනින්ම ඔයාට ගැලවෙන්න දෙයි කියලා”
නිසංසලා කියූවේ ප්‍රේමාන්විත මුහුණකින් යුතුවය.
“මම හිතුවෙත් නෑ හැබැයි මං හිතන්නේ එයාට මිනිහෙක් ඕන්නෑ එයා ඉතින් මැඩම් උදාරිනෙ”
නිසංසලා වෛද්‍යවරයා වෙත ගෙන යෑමේ කාර්ය මා මත නොවීය.එය ඇයගේ මවත් පියාත් ඉටු කළෝය.මම මගේ අලුත් නිවසට වී කල්පනාවෙහි ගිලී සිටියෙමි.නිවසේ සිටි විනිසුරුතුමිය එය දැන ගත්තේ කෙසේද?එය නොව, සියල්ල දැනගත්තේ කෙසේද?
කෙතරම් කල්පනා කර බැලුවද මගේත් නිසංසලාගේත් සම්බන්ධය පිළිබඳව ඈ දැන සිටි බවට වන කිසිදු සලකුණක් මගේ මතකයේ තිබුණේ නැත.අවසන රාත්‍රී එකට පමණ මම ඇයට ඇමතුමක් ගත්තෙමි.පුදුමයකට මෙන් පළමු තත්පරයෙන් ඈ පිළිතුරු දුන්නාය.ඒ වසර පහකට හෝ හයකට පසු ඒ තරම් ඉක්මනින් ඇය මට ප්‍රතිචාර දැක්වූ පළමු වතාවය.
“ඔයා කවදද මේක දැනගත්තෙ?”
“ඔයා ඉස්සෙල්ලම කවියක් ලියල ඒක ලාච්චුවට දාලා වහපු දවසේ මම දැනගත්තා ඔයාගේ වෙනසක් වෙලා කියලා.ඔයාගෙ ෆෝන් එක මගේ ෆින්ගර් මාක් එක අඳුරන් නැතුව ගිය දවසේ… හරියටම අවුරුද්දකට කලින් මට දැනුනා අපි දුරස් වෙලා කියලා.ඊට පස්සේ මං ඔයාව හැක් කළා. නඩු අංක…… කොලුවගෙන් උදව් ගත්තෙ..දැන් මේ මොහොත වෙනකනුත් මං ඔයා දිහා බලාගෙන ඉන්නේ………..
.ඔය නිසංසලාට ගන්න කියලා කියල තියන ටැබ්ලට් එක ලංකාවෙ කොහෙන්වත් ගන්න වෙන්නේ නෑ.ඩොක්ටර් අකීරට කිව්වා නම් එයා ගෙනල්ල දෙයි”
“ඒ කියන්නේ අවුරුද්දක් තිස්සේ ඔයා ඔත්තු බැලුවා”
“නෑ මං අවුරුද්දක් තිස්සේ ඔයාගේ අලුත් ආදරේ දිහා බලාගෙන හිටියා”
“ඇයි ඔයා මට ඒක නවත්තන්න කියලවත් කිව්වෙ නැත්තෙ?බලනකොට ඔයාටත් මගෙන් වෙන් වෙන්න නේ ඕනේ වෙලා තිබිලා තියෙන්නේ? ඇයි ඔයාටත් වෙන කවුරු හරි ඉන්නවද?
මඳ නිහැඬියාවක් විය.මගේ ප්‍රශ්ණය කුරිරු බව දැනී ගියද වචන නැවත ගැනීමට නොහැකි බව දැන නිහඬ වත රැකීමී.
“ඔයා සල්ලි දීලා ගෑනියෙක් ගාවට ගියානම් මම ඒක නවත්තන්න මහන්සි වෙනවා ඒත් ආදරයක් කියන එක ඇති වෙන්නේ හිතලා මතලා නෙමෙයි.ඒක ආදරයක්.මම කොහොමද ආදරයක් නවත්තන්නෙ..මම ඒක දිහා බලන් හිටියෙ.රැක බලාගන්න සුරක්ෂිත කරන ආදරයක්.ගෑනියෙක් ලබන්න පෙරුම් පුරන විදියේ ආදරයක්.නිසංසලා වාසනාවන්තයි”
“ඔයා නිසංසලාට ඉරිසියයි”
“ඇයි ඔයා මේ වෙලාවේ කෝල් කළේ?”
ඇයගේ එම පැනයට තවදුරටත් පිළිතුරු දීමට මට අවශ්‍ය නොවූ බැවින් මම ඇමතුම විසන්ධි කළෙමි.
පසුදා උදෑසන ලිපි ලේඛන කීපයක අවශ්‍යතාවයක් උද්ගත වූ අතර එම ලිපි ලේඛන තිබුණේ විනිසුරුවරියගේ නිවසේ කාර්යාලයේය. කාර්යාලයේ පමණක් නොව නිවසේ ද දොර යතුරු තවමත් මා අත තිබූ බැවින් හා කිසියම් හේතුවක් නිසාවෙන් දොර හැර ඇතුලට පලයන් යැයි මගේ සිත කියන්නට වූ බැවින් මම නිවස තුළට ගියෙමි. ඇය හා මා අතර වූ ප්‍රශ්නයෙහි කිසිදු හෝඩුවාවක් දැන නොසිටි මුරකරුවා මා නිවසට ඇතුලු වීම පිළිබඳව සැකයක් හෝ සංකාවක් දැරුවේ නැත.
මම ශබ්ද නොනැගෙන සේ කාමරය වෙත පිය නැගීමි.ඇය එදින සිටින්නේ නිවසේ නම් ඒ කාමරයේ බව ඉඳුරා දැන සිටි මට ඇය කරමින් සිටින්නේ කුමක්දැයි දැන ගැනීමට අවශ්‍ය විය.ඒ ඇයිදැයි ඇයිදැයි මම නොදන්නෙමි.කාමරයේ දොර හැර දමා තිබිණි.තවමත් රාත්‍රී ගවුමෙන් පසුවූ ඈ මේසය මත තබාගත් කොලයක වේගයෙන් යමක් ලියමින් සිටියාය.ඇයගේ පිටුපසින් අඩි පහළොවක් හෝ විස්සක් ඈතින් සිටගෙන සිටි මම හැරී යාමට සැරසුනෙමි.
“ඇයි චරිත්?”
“ආ ඔයා දැක්කද මම එනවා”
“නෑ මට දැනුණා”
“ඒ කොහොමද?”
“සුවඳින්”
“බොරු කියන්න එපා මම කවදාවත් කිසිම සෙන්ට් එකක් පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි”
“ඔවු ඒ උනාට ඔයාගේ විශේෂ සුවඳක් තියෙනවා මට ඒක ඕනම තැනක අඳුරන්න පුළුවන්”
“ඩොකියුමන්ට් වගයක් අරන් යන්න ආවෙ.. දැන් ඉතිං ගෙදර යතුරු මගේ ළඟ තියෙන එක එච්චර හරි නැති නිසා මම හිතුවේ ඔයාට යතුරු දීලා යන්න”
“ඇයි යතුරු ඔයා ළඟ තියෙන එක නරක?”
“තවදුරටත් අපි හස්බන් වයිෆ් නෙමෙයිනේ”
“නීතියෙන් හස්බන් වයිෆ් වෙන්න අවුරුදු දෙකකට ඉස්සරත් අපි දෙන්නා ගාවම යතුරු තිබුණු ඇනෙක්ස් එකක් අපිට තිබුණා”
අතීතය හාරා අවුස්සමින් රසවිඳීමට හෝ දුක් වීමට මට අවශ්‍ය නොවූයෙන් මම පිටවී ආවෙමි.
ඇයගේ කතා කතා විලාශය අසංවේදීය.ඇයට එක් කඳුළක් වැට්ටවිය හැකිව තිබිණි.එසේ වූවා නම් ඇතැම් විට මා ඈට අනුකම්පා කරන්නට ඉඩ තිබිණි.ඒ කිසිවක් නැත.ඇයට අවශ්‍ය තනිව ජීවත් වන්නටය. ඉදින්ඒ තනිව ජීවත් වූවාවේ යැයි සිතුවෙමි.
එදින රාත්‍රී එකොළහට පමණ ඇයගෙන් කෙටි පණිවිඩයක් විය. “ඔයා කවදහරි, කවදහරි ඇත්තටම මට ආදරේ කළාද චරිත්” මම පණිවිඩය නොදුටුවා සේ සිටියෙමි.නිමාව සනිටුහන් වීමට යන සබඳතාවයක් කුමන ආකාරයෙන් වත් දිගු කරගැනීම අවශ්‍ය නැතැයි සිතීමී.
පාන්දර එකට පමණ මගේ දුරකථනය නොනවත්වා නාද වන්නට විය.ඇමතුම පැමිණියේ විනිසුරුවරිය සිටින නිවසෙහි මුරකරු කුටියෙනි.
“මහත්තයා නෝනට කවුරුහරි වෙඩි තිබ්බා”
මගේ සියොළඟ කිලිපොලා ගියේය.නිසංසලා ඇඳ මත හිඳ ගෙන සිදුව ඇත්තේ කුමක් දැයි විමසමින් කලබල කරද්දීම ඇයව නොසලකා හැරි මම මගේ මගේ නිවස තෙක් ගියෙමි.
“මම ගෙදර යනවා.” මගේ මුවෙන් නිසංසලා වෙත ගිය එම වචන කීපය නැවත වරක් සිහිපත් කර බලතහොත් මම ගෙදර යනවා යනු මා ඒ වනවිටත් සිටියේ ගෙදර නොවේ යන්න නොවේද.
මැඩම් උදාරී රෝහල් ගත කරන ලදී. ඈ සිටියේ ජීවිතයත් මරණයත් අතර සටනකය. ඇයගේ හිස පසාරු කරගෙන ගිය වෙඩි උණ්ඩය ඇයගේම ආරක්ෂාව උදෙසා තිබූ පිස්තෝලයෙන් වූවක් බවට සැක කෙරිණි.
පරීක්ෂණ ආරම්භ විය. නිවසේ සාලයෙහි වු ආරක්ෂිත කැමරාවෙහි සටහන්ව තිබූ රූපරාමු වලින් මගේ මතකයේ තවමත් ඇත්තේ එකම එක රූප රාමුවකි. ඇය විසින් මට නිසංසලා වෙත යෑමට ඉඩ දී මට අත වනා දොර වසාගත් පසු …..
ඈ නිවසේ සාලය මත හිඳගෙන ඇයගේ දෙදණ මත හිස තබාගෙන හඬමින් සිටියාය.
මද වේලාවකට පසු ඈ සිය මුහුණ ටයිල් මත තැවරීමට ඉඩදී දෑතින්ම ටයිල් කැට බදාගෙන හැඬුවාය.ඈ සිටියේ දැඩි සීතලකින් ආරක්වීමට මෙන් වකුටු වී ගත් ගත් ඉරියව්වකය.
ඇයගේ හිස වෙඩි උණ්ඩයෙන් පසාරු වී තිබුණේ නිවසේ දෙවන මහලේ බැල්කනියේ දීය.නමුදු කාමරය දැඩි පරීක්ෂාවට බඳුන් විය. එහිදී නිල දරුවන්ට සොයාගත හැකි වූ එක් කුඩා කොළ කැබැල්ලක් විය. එය තිබුණේ පෑන් රඳවනය තුළය.ඒ ඇය, නිසංසලා වෙත යෑමට මා නිදහස් කළ දිනයේ ඈ විසින් මේසය මත තබා ලියා මට නොපෙන්වා පෑන් රදවනය තුළ සැඟවූ කොල කැබැල්ල ය.
එවෙලෙ මා ඇගෙන් විමසා සිටියේ මා ඇයව හැරදමා යෑම ඇය බලාපොරොත්තු වුවා ද යන වගය. මා එළවා දමන්නට ඔබ බලා සිටියාද වැනි පැනයක් මා ඇගෙන් ඇසූ බව මට මතකය.එයට පිළිතුරු ලෙස ඈ ලියූ එම කොළ කැබැල්ලේ තිබුණේ ගීත ඛණ්ඩය කි.
“ඔබ යන්නම යන්නම යනවා නම්
මට ඉන්න කියන්නත් බැහැනේ ඉතින්”
බැල්කනියෙහහි තිබූ තිබු උස් ස්ටූලය මත රවුම් හැඩයේ ලී පතුරක් තිබීම සහ පෑනක් තිබීම හේතුවෙන් එතැන ඇය විසින් ලියා තබන්නට ඇති කිසියම් සටහනක් තිබිය යුතු බව විශ්වාස කළ නිළදරුවෝ එය සෙවූහ.රාත්‍රියේ වූ සුළඟට හසුව බැල්කනියෙන් පහලට වැටෙන්නට ඇතැයි සැක කෙරෙන එම කොළ කැබැල්ල සොයාගත් නිළදරුවාට අනුව එහි තිබුනේ ”
මම මගේ රාජකාරි ජීවිතයෙහි වන පීඩනය දරාගත නොහැකි බැවිනි දීර්ඝ නින්දකට යමි”
යන්න පමණි.
එකී උස් ස්ටූලය මතම ඇයගේ කළු පැහැති කෝපි කෝප්පය විය. ඈ එම කෝප්පය පාවිච්චි කළේ කළු කෝපි පානය කිරීම උදෙසා පමණි.
එම කලු පැහැති,කලු කෝපි කෝප්පය ඇයගත් මගේත් පළමු හමුවදා සිහිකර වන්නට විය.
එවකට මම ඇයගේ සහෝදරයාගේ මිතුරෙකු වීමි. ඇයගේ නිවසට මා ගිය පළමු දිනයේ මා දොරකොඩ සිටගෙන සිටිය දී නිවෙස තුළ සිට කෝපි කෝප්පයකුත් රැගෙන එළියට ආ ඈ ඇයගෙ හදිසියේ වරදින්ම සිය කෝපි කෝප්පය බිඳ ගත්තාය.
මට යමක් සිහි විය.අතිශයින් ප්‍රේමණීය යමක් මට කීමට ඇයට හෝ ඇයට කීමට මට හෝ තිබුණහොත් අප ඒවා ලියා කළු කෝපි ටින්නුව තුළ දමා තැබීමට පුරුදු වී සිටියෙමු. කුස්සියේ වන කලු කෝපි ටින්නුව තුළ යමක් තිබිය හැකිය..නිලදරුවන් ද අනෙකුත් ඥාතීන්ද හිතමිත්‍රාදීන් ද මඟ හැර කළු කෝපි ටින්නුව වෙත යෑමට මට දින දෙකක් ගත විය .
ඒ වනවිටත් මැඩම් උදාරී සිටියේ දැඩි සත්කාර ඒකකයේ ජීවිතයක් ජීවිතයත් මරණයත් අතර ය.
මා නිවැරදිය ඒ තුළ සටහනක් විය.
ඉතින් චරිත්…
විනිසුරුවරියක වන මම මගේ දික්කසාදය උදෙසා උසාවි යෑමට සූදානම්ව සිටිමි.මැඩම් උදාරී වන මට නීතිය ඉදිරියේ දිනිය හැකිය.නමුදු මා විසින් පරාජය කළ යුතුව ඇත්තේ සැමදා දිනනු දැකීමට මා ආශා කළ මිනිසාය.ඔහු ආදරවන්තයෙකි.මම තුන් වැන්නා වෙමි.ඒක පාර්ශවීය ආදරයකින් දැවෙමි.විවාහයෙන් වසර දාහතකට පසුව නැවත වරක් ඒකපාර්ශවීය පෙම්වතියක වීම කුමනාකරදැයි දනුයේ එයට මුහුණ දුන් ගැහැනියකම පමණි.
විටෙක දරුණු මත්ද්‍රව්‍යක් පානය කොට මොලය හිරි වට්ටවා ගැනීමට සිතමි.විටෙක තොන්ඩුවක එල්ලීමට සිතමි. තවත් විටෙක දිලිසෙන පිස්තෝලය ගෙන නිකට යටින් තබා හිස් මුදුනින් එන අයුරින් එක් උණ්ඩයක් මුදා හැරීමට සිතමි.ඇයි මට තනිව ජීවත් විය නොහැකිද? හැකිය .එහෙත් ඔබට සමුදීමෙන් පසු තව දුරටත් ජීවත් වන්නේ කෙසේදැයි මට වැටහෙන්නේ නැත.
නිසංසලා මලක් මෙන් ගැහැනියක් නම් එවිට මා ගහක් ගලක්ද ? ඇයට දුක් විඳිමට නොහැකි බව කල්පනා වූ ඔබට, ඔබගෙන්ද මුක්ත වූ කළ උදාරීට මෙන් මවක පියෙකු හෝ දරුවෙකු වත් නැති බවක් සිහිපත් නොවන තරමට මා ඔබේ සිතින් ඉවත්ව ගොස් ඇති හැටි..
මා සිටින්නේ උපදේශනයට යොමු විය යුතු අවස්ථාවක වන බව දනිමි.නමුදු මා යන්නේ කුමන උපදේශකවරයා ළඟට ද.මා ප්‍රතිකාර ගැනීම උදෙසා යන්නේ කුමන වෛද්‍යවරයා ළඟට ද.ජීවිතය තරම් විශ්වාස කළ මිනිසා විශ්වාසය බිඳ දමන අයුරු වසරක් පුරා බලා සිටි මම දැන් හොඳින්ම බිඳ වැටී සිටිම්.ඔය වෛද්‍යවරුන් හෝ උපදේශකවරුන් මගේ පුද්ගලික තොරතුරු ප්‍රසිද්ධියට පත් කරනු ඇතැයි බිය වෙමි.
ඉතිං චරිත්…..
වසර දහහතක් පුරා එකට ජීවත් වූ ගැහැනියගේ මානසික ව්‍යාකූලතාවය බිඳුවකින් වත් නො වැටහෙන තරමට මා ඔබගේ අවධානයෙන් දුරස් කර තැබීමට මා කළ වරද කුමක්ද? ඔබට වඩා ඉහළ සමාජ තත්ත්වයකින් යුක්ත වීමද.
තවත් මොහොතකින් ඔබට කෙටි පණිවිඩයක් තබමි.
“කවදාක හෝ මට ආදරය කළා දැයි අසමි”ඔබගේ පිළිතුර ඔව් යන්න වුවහොත් ඇයත් සමඟ එම නිවසේ මාත් සමඟ මෙම නිවසේත් සාමකාමීව ජීවත් වෙමු යැයි පවසමි.මන්ද යත් මට සිටින්නේ ඔබ පමණය.ඔබගෙන් මුක්ත වූ කළ මා හිස් ය.මගේ සියල්ල බැඳී තිබුණේ ඔබ සමඟය.
ඇතැම් විට ඔබ පිළිතුරු නොදෙනු ඇත. මන්ද යත් දැන් ඔබ දිවිහිමියෙන් ඇයට ආදරය කරයි.ආදරය.මට වේදනාවක් උරුම වී ඇත.නමුත් එය ඔබේ වරදක් නොවන බව හොඳින්ම දනිමි. ආදරය පැමිණෙන්නේ නොදැනීමය.ඉතින් ඔබට ආදරයක් දැනී තිබේ.ඔබට මා සමග සිටින්නැයි කීමේ තේරුමක් නැත. අනෙක් අතට ඔබ දන්නා පරිදි මා දැවැන්ත හා ශක්තිමත් ගැහැනියකි.මම කිසිවක් පිළිබඳව සංවේදී තැනැත්තියක් නොවේ. ඒ ඔබගේ හඳුනාගැනීම දෙස බලන කල ඔබ කිසිදා මා වටහා ගෙන සිට නැති බවක් මට හැඟෙයි.
මා යථාර්ථය කතා කිරීමට පටන්ගත් කල ඔබට මා පණ්ඩිත හා අසංවේදී ගැහැනියක ලෙස පෙනෙන්නට පටන් ගත් අයුරු සිනා උපදවන සුළුය.
ඔවු ලෝකය එවැනි තැනකි. ගැහැනුන් යථාර්ථය පිළිබඳව කතා කරන විට, ගැහැණුන් ආධ්‍යාත්ම්ක සත්‍යන් කතා කරන විට අමු යථාර්ථයන් ගෙන හැර පාන විට ඔවුන් පණ්ඩිත හා අසංවේදී ගැහැනුන් යැයි කියන ලෝකයා මායමින් යුත් ගැහැනුන් සංදර්ශන දක්වන විට ඔවුන් ගැහැනු කමින් පිරී සංවේදී ගැහැනුන් යැයි කියති.
මම යථාර්ථවාදී ගැහැනියක් වෙමි.සියල්ල දනිමි එහෙත් මා මගේ පාලනයෙන් තොරව ඇති බවද දනිමි.කිසියම් හෙයකින් අද රාත්‍රියේ මා මගේ පාලනයෙන් මුක්තව දිගු නිද්‍රාවක් වෙත ගියහොත් ඔබට කීමට නොහැකි ව ඉතිරි වූ යමක් ඔබට කියා යමි. “තාමත් මං ඔයාට ආදරෙයි චරිත්”..එච්චරයි…
පස් වන දිනයේ සන්ධ්‍යාවෙහි මා ඇමතූ උසස් පොලිස් නිලධාරියෙකු “සර් මැඩම් උදාරී නැති වුණා” කියූ අතර නිසංසලා අනෙක් පසින් පැම්ණ” මම ඇබෝෂන් කරගන්නවා” යැයි කීවාය.
“ඇයි?” මම ඇසූවෙමි.
“ඒ තරම් සංවේදී ගෑනියෙක්ව අසංවේදීම ගෑනියෙක් කියලා අඳුරගත්ත ඔයා මාව කොහොම තේරුම් ගනීද චරිත්.ඇත්තටම ඔයාට ඇයි මැඩම් උදාරිව තේරුන්නැත්තෙ?”
“ඇත්තටම ඇයි මට මැඩම් උදාරිව තේරුන්නැත්තෙ?”
================ලියලා අවුරුද්දයි=====
සුජාතා මැණිකේ ඉහළගෙදර
previous post