27 C
Colombo
18/11/2024

රේගු නිලධාරීන් රාජකාරියටත් තෑගි අරන්-ලොක්කෙක් කෝටි 38ක තෑගි අරන්

Share with your friends :

වැටලීම් වෙනුවෙන් රුපියල් කෝටියකට වැඩි මුදලින් ත්‍යාග ලබාගත් ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් 174 දෙනකු පිළිබඳව තොරතුරු අනාවරණයවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

රේගු වැටලීම් සිදු කිරීම හා දඩ නියම කිරීම රේගු නිලධාරීන්ගේ රාජකාරියේ ප්‍රධානතම අංශයකි. ඒ අනුව රාජකාරියට ලැබෙන වැටුපට අමතරව ත්‍යාග මුදල්ද ඔවුන් ලබා ගනී. ඒ අනුව ඔවුන් වැටුප් ලබා ගන්නේ කවර කටයුත්තක් වෙනුවෙන්ද යන්න ගැටලුවකි.
මේ අතර නියම කරන දඩ මුදල් වලින් සියයට පනහක් එම දඩ නියම කරන පුද්ගලයාට හිමි වීම නිසා කවර හෝ ආකාරයෙන් දඩ නියම කරන්නට ඇතැම් රේගු නිලධාරීහු පෙළඹේ. එසේම නවක රෙගු නිලධාරීන්ට භාණ්ඩ වල මිල නියම කිරීම සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නොමැති අතර ඔවුන් භාණ්ඩ වල මිල ලෙස ගන්නේ ජාත්‍යන්තර වෙළඳපොලේ තොග මිල නොවන අතර මෙරට සිල්ලර වෙළඳ පොලේ අදාළ භාණ්ඩය විකුණන මිලවේ.
රේගු නිලධාරීන් 35 දෙනෙකු 2016 වර්ෂයේ දී ද නිලධාරීන් තිස් දෙනකු 2017 වර්ෂයේදීද නිලධාරීන් විසිඑක් දෙනකු 2018 වර්ෂයේදීද 16 දෙනකු 2019 වර්ෂයේදීද තුන් දෙනෙකු 2020 වර්ෂයේ දීද දාහත් දෙනෙකු 2021 වර්ෂයේදීද නිලධාරීන් තිස් දෙදෙනෙකු 2022 වර්ෂයේදීද නිලධාරින් 20 දෙනකු 2023 වර්ෂයේදීදරුපියල් කෝටියකට වැඩි මුදලින් මෙසේ ත්‍යාග ලබාගෙන ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකා රේගුවේ ඉහළම ත්‍යාග මුදල්ලබාගෙන ඇති නිලධාරීන් 100දෙනා එසේ ලබාගෙන ඇති ත්‍යාග මුදල්වල වටිනාකම කෝටි 104 ක් බව බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

ඉහළම ත්‍යාග ලැබූ නිලධාරියා ලබා ගත් ත්‍යාග මුදල් වටිනාකම ( 2017, 2021 සහ 2022) පිළිවෙලින් කෝටි 9ක් කෝටි 12 ක් සහ කෝටි 11 ක් වෙයි.

මේ අනුව 2016 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා නොකඩවා ත්‍යාග ලැබූ නිලධාරියකුද වසර හයක් නොකඩවා ත්‍යාග ලැබූ නිලධාරීන් සිවු දෙනෙකුද වසර පහක් නොකඩවා ත්‍යාග ලැබූ නිලධාරීන් නව දෙනෙකුද වසර හතරක් නොකඩවා ත්‍යාග ලැබූ නිලධාරින් විසිහතර දෙනකුද වූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

වසර හතක් නොකඩවා ත්‍යාග ලැබූ නිලධාරින් එක් අයකුද වූ අතර ඔහු ලැබූ ත්‍යාග මුදල් වල වටිනාකම රුපියල් කෝටි 38 ඉක්මවන බව වාර්තාව සඳහන් කළේය

රුපියල් කෝටියට වඩා ත්‍යාග ලැබූ නිලධාරීන්ගෙන් එම ත්‍යාග සහ වැටුපට අමතරව රුපියල් ලක්ෂ 20කට වඩා ප්‍රතිලාභ ලබාගත් නිලධාරීන් සංඛ්‍යාව හතක් බව විගණන වාර්තාවේ දැක්වේ.

මෙම තොරතුරු සඳහන් වන්නේ කළමනාකරණය සහ අරමුදල්වල පරිපාලනය පිළිබඳ විශේෂ විගණන වාර්තාවේය.

Share with your friends :