27 C
Colombo
19/11/2024

ජාතික විගණනය බාල බෙහෙත් සිද්ධියේ වැරදිකරු පෙන්නයි

Share with your friends :

ගුණාත්මකභාවය පරීක්ෂා කෙරෙන අවම ක්‍රමවේදයකින් හෝ තොරව ඖෂධ මෙරටට ගෙන්වා රෝගී ජනතාව අවදානමට ලක් ලක්කර ඇති හෙයින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට සිටි ප්‍රධාන විධායක නිලධාරියා සහ ඒවා අනුමත කර ඇති පාලක මණ්ඩලය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බවට ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

සෞඛ්‍යයට අහිතකර ඖෂධ සැපයූ සැපයුම්කරුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙසටද නිර්දේශ කර ඇත.

තත්වයෙන් අසමත් ඖෂධ සැපයූ සමාගම් අසාදු ලේඛන ගත කිරීමටද මුදල් අමාත්‍යාංශයට නිර්දේශ කර ඇත.

පිළිගත් විධිමත් ක්‍රමවේදයන්ට පටහැනිව ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතික නිකුත් කිරීමේදී ඇතිවිය හැකි අක්‍රමිකතා වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටද නිර්දේශ කර ඇත.
රෝගීන් සඳහා භාවිතා කරන ඖෂධ වල ගුණාත්මක තත්ත්වය තහවුරු කිරීමට ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කළ යුතු බවටද නිර්දේශ කර ඇත.
ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයන සිද්ධිය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාව පදනම් කර ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

වෘත්තීය හා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

2022 – 2023 වසරවල ඖෂධ අවශ්‍යතාවය, ප්‍රසම්පාදනය, සැපයුම, බෙදාහැරීම හා නියාමනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව ජාතික විගණන කාර්යාලය පසුගියදා නිකුත් කළේය.

එම වාර්තා මගින් ප්‍රශ්නගත ඖෂධ ආනයන සිද්ධියට අදාළව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවක ප්‍රධාන විධායක නිලධාරියා හා එය අනුමත කළ පාලක මණ්ඩලයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවට නිර්දේශ කර තිබුණි.

ඒ අනුව, අදාළ නිර්දේශ ඇතුළත් ලේඛන ඉදිරිපත් කරමින් අද (18) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.

එමෙන්ම ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් ද මෙහිදී විමසීමක් සිදුකළ බව ඔහු කියා සිටියේය.

Share with your friends :