27 C
Colombo
19/10/2024

නිවසේදීම කෙස් කළඹ සුන්දර කරගන්න

Share with your friends :

කෙස් කළඹ යනු කාන්තාවකට ඉතාම වැදගත් අංගයක්. නිරෝගී දිදුලන දිගු කෙස් කලඹක් කියන්නේම කාන්තාවන්ගේ රූසපුව වැඩි කොට පෙන්වන ඉතා වැදගත් අංගයක්. එනිසා සෑම කාන්තාවක්ම තම මුහුණ පිළිබඳව මෙන්ම කෙස් කලඹේ නිරෝගී බව පිළිබඳවත් විශේෂ සැලකිල්ලක් දැක්වීම අත්‍යවශ්‍යයි. මේ නිවෙසේදීම ඉතා පහසුවෙන්ම සකසා ගත හැකි හිසකෙස් සත්කාර කිහිපයක් . මෙම සත්කාරයන් නිසි පරිදි සිදු කිරීම තුළින් ඔබගේ කෙස් කලඹ ඉක්මනින් වර්ධනය කරගත හැකි අතරම හිසකෙස්වල ඝනකම් බවද වර්ධනය වේ.

සැවැන්දරා කළුදුරු මිශ්‍රිත හිසකෙස් සත්කාරය

අවශ්‍ය දේවල්

-සැවැන්දරා මුල් ග්‍රෑම් 20යි

-කළුදුරු ග්‍රෑම් 20යි

-කීකිරිඳිය ග්‍රෑම් 20යි

-කළු තල ඇට ග්‍රෑම් 20යි

-උළුහාල් ග්‍රෑම් 20යි

-කුරුඳු ග්‍රෑම් 20යි

-වියළි නෙල්ලි ග්‍රෑම් 20යි

-පොල්තෙල් මිලිලීටර් 20යි

සාදා ගන්නා ආකාරය

පළමුව උළුහාල්, කළු තල ඇට, කළුදුරු බ්ලෙන්ඩර් එකට දමා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. පසුව එම පවුඩර් එකට කීකිරිඳිය, වියළි නෙල්ලි, සැවැන්දරා, කුරුඳු පවුඩර් සහ පොල්තෙල් දමා ළිප තබා මඳගින්නේ විනාඩි 15ක් පමණ හොඳින් රත් කරගන්න. එය පිරිසුදු බෝතලයකට දමා භාවිතයට ගත හැකියි.

භාවිත කරන ආකාරය

සතියට තුන් වතාවක් නෑමට පෙර හිස්කබලට සහ හිසකෙස්වල ආලේප කරන්න. ඉන්පසුව විනාඩි 20ක් පමණ සියුම්ව මසාජ් කරන්න. අවසානයට මෘදු ෂැම්පු වර්ගයක් දමා ෂැම්පු කොට කන්ඩිෂනර් කොට සෝදා ඉවත් කරන්න.

කෝමාරිකා පොල් තෙල් මිශ්‍රිත හිසකෙස් සත්කාරය

-වශ්‍ය දේවල්

-පොල් තෙල් 100mlක්

-කෝමාරිකා ඉති එකක්

-ඔලිව් තෙල් තේ හැඳි 2ක්

සාදා ගන්නා ආකාරය

කෝමාරිකා ටික කුඩා කැබලිවලට කපා ගන්න. ඇලුමිනියම් භාජනයක් ගෙන එයට පොල්තෙල් 100ml දමන්න. එයට කපාගත් කෝමාරිකා කැබලි ටික දමන්න. ළිප තබා ඩබල් බොයිල් ආකාරයට විනාඩි 15ක් පමණ රත්කර ගන්න. ඉන්පසුව ළිප නිවා ළිපෙන් ඉවතට ගෙන මිශ්‍රණය නිවෙන්නට තබන්න. එයට ඔලිව් තෙල් තේ හැඳි 2ක් එක් කරන්න.

භාවිත කරන ආකාරය

සතියට තුන් වතාවක් පමණ හිස් කබලට ආලේප කරන්න. පෙර පරිදිම සියුම්ව මසාජ් කරන්න. මඳ උණුසුම් තුවායකින් හිස ආවරණය කොට විනාඩි 05ක් පමණ තබන්න. මෘදු ෂැම්පු වර්ගයක් සහ කන්ඩිෂනර් වර්ගයක් භාවිත කොට සෝදා ඉවත් කරන්න.

කෝමාරිකා පේර කොළ මිශ්‍රිත හිසකෙස් සත්කාරය

අවශ්‍ය දේවල්

-කෝමාරිකා ලොකු ඉති 2ක්

-පේර කොළ 5ක්

සාදා ගන්නා ආකාරය

කෝමාරිකා සහ පේර කොළ හොඳින් සෝදා කපා ගන්න. භාජනයක් ළිප තබා එයට කෝමාරිකා සහ පේර කොළවලට ජලය වීදුරුවක් පමණ එක් කරන්න. එය විනාඩි

10-15ක් බොයිල් කරගන්න. එයින් කහට පැහැති මිශ්‍රණයක් ලබාගත හැකියි. එය නිවෙන්නට තබා භාවිතයට ගන්න.

භාවිත කරන ආකාරය

ෂැම්පු කන්ඩිෂනර් කොට සෝදා ගත් හිසකෙස් සහ හිස්කබල මෙම ජලයෙන් හොඳින් සෝදන්න. ඉන්පසුව විනාඩි 10ක් සිට නැවතත් සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න. අවසානයට පිරිසුදු තුවායකින් හොඳින් හිසකෙස් පිසදමන්න.

හාල් වතුරවලින් සිදුකළ හැකි හිසකෙස් සත්කාරය

අවශ්‍ය දේවල් –

-සෝදාගත් සුදු හාල් කප් 1ක්

-ජලය 700mlක්

සාදා ගන්නා ආකාරය

පිරිසුදු භාජනයකට සෝදා ගත් හාල් එක්කරන්න. එයට ජලය දමා පැය 12ක් වසා තබන්න. පෙරා ජලය ටික වෙන්කරගන්න.

භාවිත කරන ආකාරය

ස්නානය කරන විටදී ෂැම්පු කන්ඩිෂනර් භාවිත කිරීමෙන් පසුව මෙම ජලයෙන් හිස සෝ‍දන්න. නැවත හිස සේදීමක් නොකළ යුතුයි. අවසානය තුවායක් ආධාරයෙන් හිසකෙස්වල තෙත මාත්තු කරගන්න. මෙම සත්කාරය සතියට තුන් වතාවක් පමණ භාවිත කළ යුතුයි.

එඬරු තෙල් ( CASTOR OIL ) භාවිතයෙන් සිදුකළ හැකි හිසකෙස් සත්කාරය

අවශ්‍ය දේවල්

-එඬරු තෙල් ( CASTOR OIL ) තේ හැඳි 2ක්

-විටමින් E කරල් 2ක්

සාදා ගන්නා ආකාරය

භාජනයක් ගෙන එයට එඬරු තෙල් තේ හැඳි 2ක් සහ විටමින් E කරලක් එක් කරන්න. මඳගින්දරේ සුළු වේලාවක් බොයිල් කර ගන්න.

භාවිත කරන ආකාරය

මෙම සත්කාරය හිස් කබලට පමණක් ආලේප කළ යුතුයි. විනාඩි 20ක් තබා මෘදු ෂැම්පු වර්ගයකින් ෂැම්පු කොට කන්ඩිෂනර් කොට සෝදා හරින්න. මෙම සත්කාරය සතියට දින කිහිපයක් භාවිත කළ හැකියි.

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී
S.L.මුදලිගේ

Share with your friends :