මෝස්තර නිරූපණය පිළිබඳ පන්තියකට සහභාගී වූ 19 හැවිරිදි තරුණියක් දූෂණය කිරීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.
ඒ, පොලිස් හදිසි ඇමතුම් අංක 119 ට ලැබුණු දුරකථන පණිවුඩයකට අනුවය.
සිද්ධියට සම්බන්ධ සැකකරු අද (14) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මාවතගම නගරයේ පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයක පවත්වාගෙන යන මෝස්තර නිරූපණ ශිල්පය විෂයය ඉගෙන ගැනීමට අදාළ තරුණිය ඊයේ (13) පැමිණි අවස්ථාවේදී මෙම සිදුවීම ඇතිවී තිබේ.
එහිදී අදාළ පන්තිය අවසන් වනවිට පැවැති අධික වර්ෂාව හේතුවෙන් එම තරුණිය ඇතුළු තවත් තරුණියන් තිදෙනෙකු කෙටි වෙලාවක් එහි නතරවී සිට ඇත.
පසුව මෝස්තර නිරූපණ ශිල්පය උගන්වනු ලබන සැකකාර ගුරුවරයා අදාළ තරුණියන් සමග මත්පැන් පානය කර තිබෙන බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ බව මාවතගම පොලීසියේ උසස් නිලධාරියෙකු පැවසීය.
පසුව අනෙක් තරුණියන් තිදෙනා පිටව ගොස් ඇති අතර අදාළ තරුණිය අධික ලෙස මත්වීමෙන් එහි නතරවී ඇත.
පොලීසිය සඳහන් කළේ එහිදී මෙම අපරාධය සිදුකර ඇති බවය.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මෝස්තර නිරූපණ ශිල්පය උගන්වනු ලබන ගුරුවරයාව මාවතගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු මාවතගම අරම්පොලවත්තේ පදිංචි 40 හැවිරිදි විවාහකයෙකි.
අතවරයට ලක්වූ තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් අනුව මාවතගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.