27 C
Colombo
24/11/2024

සේවා දිගුවලදී රජයේ ප්‍රතිපත්තිය අනුගමනය කරන්නැයි ටෙලිකොම් සේවකයෝ ඉල්ලති

Share with your friends :

ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන තනතුරු සඳහා බඳවා ගැනීමේදී වෙනත් ආයතන වල සේවය කර වයස අවුරුදු 55 න් විශ්‍රාම ගිය පුද්ගලයන් බඳවා නොගන්නා ලෙස එම සමාගමේ සේවක වෘත්තීය සමිති සභාපතිවරයාගෙන් ඉල්ලා තිබේ. ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයේ සේවකයන් සඳහා අවුරුදු 55 න් පසු ලබාදෙන දීර්ගකිරීම් ලබාදීමේදී අංශ ප්‍රධානියාගේ අභිමතය පරිදි ලබා දීම වෙනුවට මෙවර අයවැය යෝජනා වලින් පුද්ගලික අංශයට පවා සම්මතවී ඇති අවුරුදු 60 දක්වා සේවය කිරීමේ අයිතිය සාමාන්‍ය පරිදි ලබාදීමට කටයුතු කරන ලෙසද සේවක වෘත්තීය සමිති ඉල්ලා තිබේ. අංශ ප්‍රධානියාගේ අභිමතය පරිදි එසේ සේවා දිගු ලබාදීම නිසා සොරකම් නොකරන , විවධ බලපෑම් වලට අවනත නොවන සේවකයන්ට අවුරුදු 55 න් විශ්‍රාම යාමට සිදුවන බවත් එසේ සේවා දිගු ලබා ගැනීමට ඕනෑම දෙයක් සිදුකරන්නට ඉඩදී දුෂණ වංචා සම්බන්ධයෙන් නිහඬව සිටින්නට සේවකයන්ට සිදුව ඇති බවත් සේවක වෘත්තීය සමිති සභාපතිවරයාට දන්වා ඇත.
මේ වන විට ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන තනතුරු දෙකකටම වෙනත් ආයතන වලින් විශ්‍රාම ගත් දෙදෙනෙකු පත්කර ඇති බවත් මෙය ආයතනය තුලින් ක්‍රමිකව උසස්වීම් ලබා ඉහලට පැමිණෙන සේවකයන්ගේ උසස්වීම් අවස්ථා අහිමි කරන්නක් බවත් සේවක වෘත්තීය සමිති පෙන්වා දෙයි.සභාපතිවරයා අවංක චේතනාවෙන් ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනය දියුණු කරන්නටත් , දුෂණ වංචා පිටුදකිනටත් කටයුතු කරද්දී පසුගිය රජය සමයේ පත්වීම් ලැබූ ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධානීන් කීපදෙනෙකු ඊට ඉඩ නොදෙන බවත් මොවුන් සම්බන්ධයෙන් වහාම පියවර නොගතහොත් ආයතනයට දැඩි පාඩු සිදුවන කටයුතුවල මෙම නිලධාරීන් නිරතවීම පාලනය කල නොහැකි බවටත් සේවක වෘත්තීය සමිති කියා සිටිති.

Share with your friends :