27 C
Colombo
20/11/2024

චීන ණය ව්‍යාපෘතිවලට එරෙහිව නේපාලයේ සංවාදයක්-ශ්‍රීලංකාවේ අත්දැකීම් ගැන කතාබහ

Share with your friends :

ලෝකයේ රටවල් රැසක ආර්ථික බිඳවැටීම් වලට එම රටවලට සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් අධික පොලී අනුපාත යටතේ ලබාදුන් චීන වාණිජ ණය හේතුවී තිබෙන බව මේ වන විට ලොවම දන්නා කරුණකි.

බටහිර රටවල් චෝදනා කර සිටින්නේ, චීනය ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් රැසකට සහ අප්‍රිකානු කලාපයේ රටවලට ණය ලබා දෙමින්, එම රටවල ආර්ථික මර්මස්ථාන අත්පත් කර ගන්නා බව යි.ශ්‍රී ලංකාවේ මෙන්ම තවත් ආසියානු හා අප්‍රිකානු රටවල් රැසක වරාය, ගුවන්තොටුපොළ ඇතුලු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ සංවර්ධන ව්‍යාපෘති රැසකට ණය සපයා ඇත්තේ චීනය යි.

Belt and Road Initiative (BRI) ලෙස හැඳින්වෙන මෙය ” එක් තීරයක් එක් මාර්ගයක්” ලෙසත් ඇතමුන් නව සේද මාවත ලෙසත් හඳුන්වනු ලබයි. කෙසේ හැඳින්වුවද මෙය චීන රජය විසින් අනුගමනය කරන ලද ගෝලීය යටිතල පහසුකම් සංවර්ධන උපාය මාර්ගයක් වන අතර ඒ හරහා මේවන විට රටවල් රැසක ආර්ථික මර්මස්ථාන අත්පත් කරගන්නට චීනය සමත්වී තිබේ. 2013 වසරේ ආරම්භවූ මේ ව්‍යාපෘතිය හරහා රටවල් 150 කට වැඩි ගණනක සහ ජාත්‍යන්තර සංවිධානවල ආයෝජනය කිරීමට චීනය කටයුතු කර තිබේ . BRI සමන්විත වන්නේ මාර්ග, දුම්රිය, බලශක්ති සහ ඩිජිටල් යටිතල පහසුකම් මගින් සම්බන්ධ වන නාගරික සංවර්ධන ඉඩම් කොරිඩෝ හයකින් සහ වරාය සංවර්ධනය මගින් සම්බන්ධ වූ සමුද්‍රීය සේද මාවත හරහාය.

2013 සැප්තැම්බරයේ කසකස්තානයේ නිල සංචාරයකදී චීන ජනාධිපති ෂී ජින් පිංමුලින් මෙම උපායමාර්ගය “සේද මාවත ආර්ථික තීරය” ලෙස ප්‍රකාශයට පත් කළේය. මෙය ෂී ගේ විදේශ ප්‍රතිපත්තියේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකේ.මෙම ව්‍යාපෘතියට   සහභාගී වන රටවලට ලෝක ජනගහනයෙන් 75%ක් පමණ ඇතුළත් වන අතර එය ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කරයි. මේ සඳහා විවිධ ක්‍රමෝපායන් ඔස්සේ විවිධ රටවල් සම්බන්ධ කරගන්නා ලද අතර විවිධ රටවල ප්‍රධාන පෙලේ දේශපාලනඥයන් මෙන්ම ඉහල පෙලේ නිලධාරීන් යොදවා ගන්නා ලදී. විවිධ රටවල ඇතැම් පිරිස් වෙත ලැබුණු ඉහල මට්ටමේ වරදාන හා වරප්‍රසාද නිසා ඉහල මෙන්ම වාණිජ පොලී අනුපාත යටතේ කිසිදු ප්‍රයෝජනයක් හෝ ආයෝජනයක් නොවන මහා පරිමාන ව්‍යපෘති මේ යටතේ ආරම්භ කරන ලදී. මේ සඳහා විශාල ලෙස ණය ලබා දෙන්නට චීනය කටයුතු කල අතර ඒවායෙන් කිසිදු ආදායමක් නොමැතිවීම නිසා වසර කීපයක් තුල ණය ගෙවීමට නොහැකිවීම මත එම ව්‍යපෘති රැසක්ම නැවත චීනය වෙත පවරා දෙන්නට ඇතැම් රටවල් කටයුතු කර තිබේ.

ශ්‍රීලංකාවේ මෑත කාලීන ආර්ථික අර්බුදයට මේ මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘති ඍජුවම බලපෑ අතර මේ වන විට ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙලද ප්‍රමාද වෙමින් ඇත්තේ චීන බලපෑම නිසාය. මේ වන විට ණය ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භ කරන්නට පෙර මුලින් ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක මුදලක් ගෙවන ලෙසත් ඉන්පසුව ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා ආරම්භ කල හැකි බවටත් චීනය ශ්‍රීලංකාව වෙත දන්වා ඇත. චීනයට එවැනි මුදලක් ලබා දෙන්නේ නම් පැරිස් සමාජයද එවැනිම මුදලක් ඉල්ලා ඇත. මේවා ගෙවූ විට යලිත් පෝලිම් යුගයක් නිර්මාණය වීම සිදුවේ.

මේ අතර නේපාලය සමඟ BRI ක්‍රියාත්මක කිරීමේ සැලසුම් ගිවිසුම ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම සඳහා චීනය උත්සාහයන් දැඩි කර තිබේ. BRI ව්‍යාපෘති පිළිබඳ දැනට චීනය හා නේපාලය අතර පවතින සාකච්ඡා සම්බන්ධයෙන් විනිවිදභාවයේ වැදගත්කම විශේෂඥයින් සහ නීති සම්පාදකයින් අවධාරණය කර ඇත.

සමාජ නවෝත්පාදන සහ විදේශ ප්‍රතිපත්ති කේන්ද්‍රය (CESIF) විසින් පසුගියදා සංවිධානය කරන ලද “BRI: Reflecting on BRI: Experiences and Lessons from South Asia” නමැති ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී, BRI පිළිබඳ පුළුල් පාර්ලිමේන්තු සාකච්ඡා අවශ්‍ය බව ඊට සහභාගිවුවෝ අවධාරණය කළහ. 2017 දී චීනය සමඟ නේපාලය අත්සන් කරන ලද BRI අවබෝධතා ගිවිසුම මහජන පරීක්ෂාව සඳහා වහාම ප්‍රසිද්ධ කරන ලෙසට ඔවුහු රජයෙන් ඉල්ලා සිටියහ.

මෙම චීන -නේපාල ගිවිසුමට අදාළ ව්‍යාපෘති නේපාලයේ ජනතාවට ඍජුව බලපෑම් ඇතිකරනු ලබයි . නේපාල නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ අමාත්‍ය Narayan Kaji Shrestha ගේ මෑතදී සිදුකල චීන සංචාරයේදී BRI ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම හැකි ඉක්මනින් අවසන් කිරීමට සහ සැලැස්මට අනුකූලව නේපාලයේ BRI ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමට නේපාලය සහ චීනය එකඟ වී තිබේ.

ෆෙඩරල් පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර සබඳතා සහ සංචාරක කමිටුවේ සභාපති රාජ් කිෂෝර් යාදව් මෙහිදී ප්‍රධාන දේශනය පවත්වමින් BRI පිළිබඳ පුළුල් පාර්ලිමේන්තු මැදිහත්වීමක් සඳහා වූ ඉල්ලීම අවධාරණය කළේය. BRI පිළිබඳ සාකච්ඡාවල වත්මන් තත්ත්වය රජය විසින් පැහැදිලි කිරීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළ අතර ව්‍යපෘති සඳහා වාණිජ ණය ලබා ගැනීම එරෙහිව දැඩි ලෙස ප්‍රශ්න කළේය. අනෙකුත් බහුපාර්ශ්වික මූල්‍ය ආයතන විසින් පිරිනමනු ලබන සහන පොලී අනුපාත සමඟ සැසඳිය හැකි ප්‍රදාන සහ සහනදායී ණය කෙරෙහි අවධානය යොමු කරමින් චීනය සමඟ සාකච්ඡා කල යුතු බව යාදව් සඳහන් කළේය.

මෙහි ප්‍රධාන කථිකයෙකු වූ හිටපු මුදල් අමාත්‍ය ආචාර්ය ප්‍රකාශ් ෂරන් මහට්, නේපාලය සියලු මූලාශ්‍රවලින් මූල්‍ය ආධාර සඳහා ස්ථාවර ප්‍රවේශයක් අනුගමනය කිරීමේ වැදගත්කම නැවත අවධාරණය කළ අතර, සහයෝගයේ මූලාරම්භය රටේ ජාතික අවශ්‍යතා සමඟ එහි පෙළගැස්ම යටපත් නොවිය යුතු බවද දැඩිව සඳහන් කළේය.

පිළිගැනීමේ දේශනය පවත්වමින් CESIF හි විධායක සභාපති විජේ කාන්ත් කර්නා , BRI ක්‍රියාත්මක කිරීමේ සැලසුම් ගිවිසුම පිළිබඳව ගැටළු මතු කළ අතර, ව්‍යාපෘතිවල විවිධ ස්වභාවයට ඉඩ සැලසීම සඳහා තනි තනි ව්‍යාපෘති පදනමක් මත සාකච්ඡා පැවැත්වීමේ වැදගත්කම පැහැදිලි කළේය.

එහි අනෙකුත් සැසිවලදී නේපාලය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඉන්දියාව වෙතින් BRI ව්‍යාපෘති සම්බන්ධ අත්දැකීම් ඉදිරිපත් කිරීම් ඇතුළත් විය. BRI සමඟ ඔවුන්ගේ අත්දැකීම් වලදී ඉදිරිපත්වූ කාරණා වලදී විනිවිදභාවය, ශක්‍යතා තක්සේරුව සහ පාරිසරික බලපෑම පිළිබඳ වැදගත් කරුණු රැසක් ඇතුළත් විය.

BRI සමඟ නේපාලයේ සම්බන්ධය විස්තර කරමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන අනිල් ගිරි නේපාලයේ ප්‍රතිපත්ති සම්පාදකයින්, දේශපාලනඥයන් සහ සාමාන්‍ය ජනතාව අතර BRI පිළිබඳ පුළුල් අවබෝධයක් නොමැතිකම ඉස්මතු කළේය. BRI ඵලදායී ලෙස යොදාගැනීමට සාකච්ඡා කිරීමේ මූලික මූලධර්ම මත ජාතික සම්මුතියක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවය ගිරි අවධාරණය කළේය. ප්‍රතිපත්ති හුවමාරුව සහ මූල්‍ය ඒකාග්‍රතාව වැනි අවබෝධතා ගිවිසුමේ අපැහැදිලි කොන්දේසි සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් හා නිරවද්‍යභාවයක් අවශ්‍ය බව ඔහු විශේෂයෙන් අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ Oxford Global Society හි ආර්ථික විද්‍යාඥයකු වන Talal Rafi, BRI ව්‍යාපෘති සමඟ ශ්‍රී ලංකාවේ අත්දැකීම් තුළ ඇති විවිධ අභියෝග පිළිබඳව පුළුල් විග්‍රහයක් සිදු කළේය. BRI ව්‍යාපෘතිවල විනිවිදභාවයක් නොමැතිවීම , තාවකාලික සැලසුම් කිරීම සහ නිසි වාණිජ ශක්‍යතා තක්සේරුවකින් තොරව ව්‍යාපෘති තෝරාගැනීම මෙන්ම පාරිසරික ගැටළු සම්බන්ධයෙන් ඔහු දැඩි ලෙස කරුණු ඉදිරිපත් කළේය.

එහි ඇති ප්‍රතිලාභ ද පිළිගන්නා අතරම, චීනය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරන සාකච්ඡා වල මන්දගාමී වේගය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතියට බාධා කරන බවද Rafi සඳහන් කළේය.

බංග්ලාදේශයේ ජහන්ගිර්නගර් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Mostakim Bin Motaher, මෑත වසරවලදී, ගැඹුරු වන වෙළඳ හා ආයෝජන සබඳතා සමඟ බංග්ලාදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා චීනයේ මැදිහත්වීමේ සැලකිය යුතු නැගීම කෙරෙහි අවධානය යොමු කළේය. Motaher විසින් චීනය විසින් මූල්‍යකරණය කරන ලද ව්‍යාපෘතිවල පිරිවැය ඉහළ යාම, විනිවිද භාවයෙන් තොර ලංසු තැබීමේ ක්‍රියා පටිපාටි සහ ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයන් ඇතුළු පොදු කාරණා අවධාරණය කළේය.

BRI ව්‍යාපාති සඳහා සම්බන්ධ නොවීමට ඉන්දියාව ගත් තීරණය පිටුපස ඇති ප්‍රධාන හේතු තුනක් මෙහිදී ආචාර්ය කොන්ස්ටන්ටිනෝ සේවියර් විස්තර කළේය. ඉන්දියාවේ මූලෝපායික හා ආර්ථික අවශ්‍යතා සමඟ ගැටෙන චීනය විසින් මෙහෙයවනු ලබන BRI ව්‍යාපෘතියේ ඒකපාර්ශ්වික ස්වභාවය ඔහු අවධාරණය කළේය. ප්‍රාග්ධනය අවශෝෂණය කර ගැනීමට ඉන්දියාවට ඇති හැකියාව පිළිබඳ සේවියර් මෙහිදී කරුණු දැක්වූ අතර අසල්වැසි රටවල් සමඟ සබඳතා සම්බන්ධයෙන් ඉන්දියාව ගත් තීරණයේ ප්‍රතිවිපාක ඉස්මතු කළේය. ස්වයං විශ්වාසය සහ ධාරිතා සංවර්ධනය වැඩි දියුණු කිරීමේ නේපාලයේ අවශ්‍යතාවය අවධාරණය කරමින් සේවියර් නේපාලයට ස්වාධීන උපායමාර්ගික සැලසුම් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

මෙම සම්මන්ත්‍රණයේදී නේපාලයට BRI මගින් උදාවන අවස්ථා සහ අභියෝග යන කරුණු දෙකම අරමුණු කර ගන්නා ලදී. විශේෂයෙන් BRI ක්‍රියාත්මක කිරීමේ සැලසුම් මෙන්ම ඊට අදාල ගිවිසුම සම්බන්ධ කාරනා මෙන්ම ඒ සඳහා පවතින සාකච්ඡාවලට සම්බන්ධ අපැහැදිලි සේම විනිවිදභාවයක් නොමැති කාරනා සම්බන්ධයෙන් මෙහිදී දැඩි ලෙස විවිධ පාර්ශව වල අවධානය යොමු කරවන ලදී. එසේම මෙම සම්මන්ත්‍රණය මගින් නේපාලයේ විශේෂිත උත්සුකයන් සහ අනෙකුත් දකුණු ආසියාතික රටවල BRI සමඟ ඇති අත්දැකීම්වලින් උගත් පාඩම් කෙරෙහි අවධානය යොමු කරමින් විද්වත් සාකච්ඡා සඳහා පහසුකම් සැලසීය. මෙම සම්මන්ත්‍රණයේදී පැවති සාකච්ඡා මගින් BRI ව්‍යාපෘතියේ විනිවිදභාවය, උපාය මාර්ගික සාකච්ඡා සහ එක් එක් ව්‍යාපෘතියේ ඇඟවුම් පිළිබඳ පුළුල් අවබෝධයක් අවශ්‍ය බව අවධාරණය කරන ලදී.

Share with your friends :