27 C
Colombo
05/11/2024

මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමේ තීරණයට ඇමතිවරුන්ගේ විරෝධය

Share with your friends :

මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමට ජනාධිපති ලේකම්වරයා ගෙන ඇති තීරණයට කැබිනට් ඇමතිවරු ඇතුළු පාර්ශව ගණනාවක විරෝධය එල්ලවී තිබේ.ඒ සම්බන්ධයෙන් බොහෝදෙනා පවසන්නේ මේ හේතුවෙන් විදුලි ගාස්තු ජල ගාස්තු ආදිය ඉදිරි කාලයේදී පාලනයකින් තොරව ඉහල යනු ඇති බවය. එසේම හදිසි විදුලිය මිලදී ගැනීම් ආදිය මේ හේතුවෙන් ඩීසල් මාෆියාවට අවශ්‍ය ආකාරයට සිදු කරන්නට මෙය හේතුවනු ඇති බවට බොහෝ පිරිස් චෝදනා කර තිබේ.
මේ සම්බන්ධයෙන් තම විරෝධය පළකර ඇති ජල සම්පාදන ඇමති වාසුදේව නානායක්කාර මහතා ඒ බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිඛිතවද දන්වා යවා තිබේ.
ඒ මගින් ඇමතිවරයා පෙන්වා දී ඇත්තේ ජනාධිපති කාර්යාලය විසින් කොමිසම සම්බන්ධයෙන් තීන්දු ගත නොහැකි බවද එම කොමිසම පවතින්නේ අග්‍රාමාත්‍යවරයා යටතේ බැවින් ඒ සම්බන්ධයෙන් තීන්දු ගත යුත්තේ ද අගමැතිවරයා විසින් බවය.මෙම තත්ත්වය මත ජනතාවගේ දැඩි විරෝධය ආණ්ඩුවට එල්ලවිය හැකි යැයි ද ඇමතිවරයා තම ලිපිය මගින් අනතුරු අඟවා ඇත.
මේ අතර මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීම සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසා තිබේ. ජනාධිපති ලේකම්වරයා විසින් ඒ සම්බන්ධයෙන් තමා සමග සාකච්ඡා කළේ හෝ තමා දැනුවත් කළේ හෝ නොමැති බව ඇමතිවරයා පවසයි.
ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරන ලෙස මහා භාණ්ඩාගාර ලේකම්වරයා වෙත පසුගියදා ලිපියක් යොමු කර තිබිණි.
එහි සේවකයන් මුදල් අමාත්‍යංශයේ අංශ වලට හා විදුලි බල අමාත්‍යංශය වෙත අනුයුක්ත කරන ලෙසද එම ලිපියෙන් දන්වා තිබිණි.
අගමැති හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය වාර්තාවේ සඳහන් යෝජනාවට අදාලව මෙම කොමිසම වසා දැමීමට උපදෙස් දෙන බවද අදාල ලිපියේ සඳහන්ව තිබිණි.
කෙසේ වෙතත් ඩලස් අලහප්පෙරුම මහතා පවසා ඇත්තේ අයවැය යෝජනාවල සඳහන් වී ඇත්තේ මහජන උපයෝගීතා කොමිසම තුළ සංශෝධනය සිදුවිය යුතු බව මිස වසා දැමීමක් නොවන බවය.විදුලිබල ක්ෂේත්‍රය සඳහා යම් නියාමනයක් අවශ්‍ය බැවින් මෙම කොමිසම වසා දැමීමට එකඟ නොවන බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරි කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කරන බවත් ඩලස් අලහප්පෙරුම මහතා පවසා තිබේ.
මෙරට විදුලිබල කර්මාන්තයේ නියාමනය ආයතනය ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, වර්ෂ 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනත යටතේ පාර්ලිමේන්තුව මගින් ස්ථාපිත කළ ආයතනයකි. එහි බලතල ඉදිරියේදී විදුලි බල මණ්ඩලය හා පාරිභෝගික අධිකාරිය වෙත ලබා දීමට යන බවටද දැනගැනීමට තිබේ.

Share with your friends :