27 C
Colombo
24/11/2024

අනුරගේ මාලිමාව ගැන ඉන්දීය ‘රෝ’ ඔත්තු සේවයෙන් හෙළිදරව්වක්

Share with your friends :

ශ්‍රී ලංකාවේ මීළඟ පාලක පක්ෂය කවුරුන්දැයි ඉන්දියාවේ “රෝ” ඔත්තු සේවය විසින් මේවන විටත් තොරතුරු වාර්තා කර ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසනවා.

ඔහු අනාවරණය කළේ මෙරට මීලඟ ආණ්ඩුව ජාතික ජනබලවේගය විසින් පිහිටුවනු ඇති බවට “රෝ” සංවිධානය තොරතුරු ඉදිරිපත් කර ඇති බව යි.

එමෙන්ම මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ ද මෙම “රෝ” තොරතුර සම්බන්ධව දැඩි කතාබහට ලක්ව ඇති බව පුවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මීලඟ මැතිවරණයේ දී ජාතික ජන බලවේගය ජයගන්නා බවට “රෝ” සංවිධානය වෙත තොරතුරු ලැබී ඇති බවට වූ පුවත වෙත ඇතැම් දේශපාලන ප්‍රබලයන් පවා දැඩි අවධානයකින් සිටින බව යි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ.

මේ අතර මේවන විට ඉන්දියාවේ සංචාරයේ නිරත ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස අද (09) කේරල ප්‍රාන්තයේ සංචාරයක නිරත වුණා.

එහි දී ඔවුන් ප්‍රාන්ත ආණ්ඩුවේ කර්මාන්ත හා නීතිය පිළිබඳ අමාත්‍යවරයා සමග සාකච්ඡාවකට ද එක්ව තිබෙනවා.

එමෙන්ම වික්‍රම් සාරාභායි අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීමට ද ජාතික ජනබලවේගයේ නායකයා ඇතුළු පිරිස එක් වූවා.

එපමණක් නොව ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ යටිතල පහසුකම් සැපයීමේ විශාලතම තොරතුරු තාක්ෂණ උද්‍යානවලින් එකක් වන තිරුවානන්දපුරම්හි ටෙක්නොපාක්හි සංචාරයක ද මෙම පිරිස නිරත වී තිබෙනවා.

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස සිය ඉන්දීය සංචාරය නිමවා හෙට (10) දිනයේ යළි දිවයිනට පැමිණීමට නියමිතයි.

මේ අතර තම පක්ෂයේ නායකයා ඇතුළු පිරිස ඉන්දියාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහක් හටගෙන ඇති බවත්, මෙම සංචාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත් වීමෙන් සිදුවූවක් බවට වූ අදහසක් ඇතැම් පිරිස් ප්‍රචාරය කිරීමට උත්සහ ගන්නා බවත් ජාතික ජනබලවේගයේ මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය පවසා සිටියා.

කෙසේ වෙතත් සිය නායකයා ඇතුළු පිරිස ඉන්දීයාවේ සංචාරයක නිරත වන්නේ ඉන්දීය රජයෙන් ජාතික ජනබලවේගයට පැමිණි ආරාධනාවකට අනුව බව යි ඇය අවධාරණය කළේ.

මෙම සංචාරය පිළිබඳ විවිධ පාර්ශව කලබල වී ඇත්තේ මන්දැයි තමන්ට තේරුම් ගත හැකි බවත්, ඒ සම්බන්ධයෙන් පුදුම වීමට හේතුවක් ද නොමැති බවත් ඇය වැඩිදුරටත් පවසා සිටියා.


සබැඳි පුවත් > > >


Share with your friends :