27 C
Colombo
24/11/2024

සනත් නිශාන්තගේ මරණය සැකයි කියූ බිරිඳ දැන් කියන කතාව

Share with your friends :

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණය සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් සැකයක් පවතින බව ඔහුගේ බිරිඳ වන චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය පසුගිය දා ප්‍රකාශ කළා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙමින්.

මෙම රිය අනතුර සහ සිය සැමියාගේ මරණය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් ද කර තිබුණා.

එහි දී වාර්තා වූයේ රිය අනතුර සිදු වූ ආකාරය පිළිබඳව මෙන්ම එම අවස්ථාවේ රිය පැදවූ ප්‍රභාත් එරංග ඩිල්නේෂා නමැති රියදුරුගේ හැසිරීම් සම්බන්ධව යම් ගැටළුකාරී තත්ත්වයක් පවතින බව පෙරේරා මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත පැවසූ බවයි.

කෙසේ වෙතත් දැන් ඇය පවසන්නේ තම ස්වාමිපුරුෂයාගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේ රිය අනතුර සම්බන්ධයෙන් නිර්මාණය වූ සමාජ මතවාදය ද සැලකිල්ලට ගෙන බවයි.

ජාතික පුවත් පතක් කළ විමසීමක දී ඇය මේ බව පවසා තිබුණා.

එහි දී ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ අනතුර සිදු වූ අවස්ථාවේ ජීප් රථය පැදවූ රියැදුරු ඍජුව ම ඉලක්ක කර ගෙන මෙම පැමිණිල්ල නොකළ බව යි.

කිසියම් පුද්ගලයෙකු දඬු කඳේ ගසනවාට වඩා සැබැවින් ම මෙම අනතුරට හේතුව සොයා ගැනීම තම පැමිණිල්ලේ අරමුණ බව ද ඇය පැවසූ බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ සනත් නිශාන්ත මහතාගේ හදිසි මරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඇතුළු විවිධ පාර්ශවලින් මතුවන මතවාද තම සිතට මහත් බලපෑමක් බවයි.

එම නිසා මෙම අනතුරට සැබෑ හේතුව සොයා ගැනීම තම එක ම වුවමනාව බව ද ඇය පවසනවා.

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ 11 වැනි කිලෝමීටර් කණුව අසළ දී පසුගිය 25 වැනි දා සිදු වූ රිය අනතුරින් රාජපක්ෂ කඳවුරේ ආන්දෝලනාත්මක චරිතයක් වූ සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත් වූ අතර පසුව රථය පැදවූ රියදුරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේවන විට ඇප මත මුදාහැර තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ රියදුරුගේ ජංගම දුරකතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව සඳහන්.

ඒ රිය අනතුරට පෙර ඔහුගේ වට්ස්ඇප් ගිණුමෙහි පළ කර තිබූ මරණය ගැන කියවෙන සටහනක් හේතුවෙන්.

එමෙන්ම සමාජ ජාල ඔස්සේ ඇතැම් පිරිස් අමාත්‍යවරයාගේ මරණය සැක සහිත එකක් බවට මත පළ කොට තිබුණා.


සබැඳි පුවත් > > >


Share with your friends :