ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහා AIR BELGIUM ගුවන් සේවයේ යානා තුනක් විශාල කුලියක් ගෙවමින් ලීසිං පදනම මත කුලියට ගැනීම නිසා මෙහෙයුම් වියදම දෙගුණයක් වී ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පාඩුව විශාල වශයෙන් ඉහල ගොස් තිබේ.
ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහා ප්‍රමාණවත් ගුවන් යානා නොමැතිවීම හේතුවෙන් මෙසේ ගුවන් යානා මිලදී ගෙන ඇත්තේ ඒවායේ ගුවන් නියමුවන් හා කාර්ය මණ්ඩලයද සමගය. මේ කාර්ය මණ්ඩලය සමග ශ්‍රීලන්කන් කාර්ය මණ්ඩලයේ කීපදෙනෙකුද එක් කෙරෙන බව සඳහන්ය.
මාසයකට සාමාන්‍යයෙන් මේ එක් ගුවන් යානයකට ඩොලර් ලක්ෂ 29 ක් පමණ කුලියක් AIR BELGIUM වෙත ගෙවන අතර එම ප්‍රමාණය සාමාන්‍ය වෙළඳපොල ගුවන් යානා කුලියට වඩා බෙහෙවින් වැඩි බව සඳහන්ය. ශ්‍රීලන්කන් ගුවන් යානාවක් මේ සඳහා යෙදවූ විට යන වියදම මෙයින් අඩක් බව ශ්‍රීලන්කන් වෘත්තීය සමිති පවසති.
එම ගුවන් යානා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධානතම ගමනාන්ත වන ෆ්රෑන්ක්ෆර්ට් ,පැරිස් ආදී ගමනාන්ත සඳහා යොදා ගෙන ඇති අතර සාමාන්‍යයෙන් මෙවැනි කුලියට ගත ගුවන් යානා එවැනි ප්‍රධානතම ගමනාන්ත වෙත කිසිදු ගුවන් සේවාවක් යොදවන්නේ නැත.
මෙම යානා කුලියට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රීලන්කන් වෘත්තීය සමිති චෝදනා කරන්නේ ශ්‍රීලන්කන් ප්‍රධාන විධායක රිචඩ් නටාල් වෙතය. වැටුප්,දීමනා ,නිවාස හා වාහන ඇතුළුව රුපියල් ලක්ෂ 90 කට අධික මුදලක් මාසිකව මොහු වෙනුවෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවය වැය කරනු ලබයි. බ්‍රිතාන්‍ය ජාතිකයකු වන මොහු මීට පෙර අසාර්ථකවූ බහරේන් ගුවන් සේවාවක සේවය කල බව සඳහන්ය.
මොහු අදාළ තනතුරට බඳවා ගත් අවස්ථාවේ ඔස්ට්‍රේලියාවේ වාසය කරන AIR NUIGINI ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වසන්ත කුමාරසිරි නමැති ශ්රීලාංකිකයාද ඒ සඳහා අයදුම් කර තිබුනේ රට වෙනුවෙන් යමක් කරන්නට අවස්ථාව ලදොත් ඒ සඳහා ඉදිරිපත්වන බව පවසමිනි. එහෙත් ශ්‍රීලන්කන් කළමනාකාරිත්වය විදේශිකයෙක් ඒ සඳහා බඳවා ගැනීමට තීරණය කරන ලදී. එහෙත් අද වන විට ශ්‍රීලන්කන් ගුවන් සේවය තවදුරටත් ප්රපාතයටම ගමන් කරමින් තිබේ.