27 C
Colombo
25/11/2024

Shamar Joseph නිසා නැවත වරක් බටහිර ඉන්දීය කොදෙව්වෝ ක්‍රිකට් ලෝකයට

Share with your friends :

Shamar Joseph නමැති නවක ක්‍රීඩකයාගේ දක්ෂතා සමග ක්‍රිකට් ලෝකයේ නැවත වරක් බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිස ඔසවා තිබේ.
ඒ අනුව වත්මන් ටෙස්ට් ලෝක ශූර ඔස්ට්‍රේලියාවට එරෙහිව සුපිරි ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්ව තිබේ.

එහිදී සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ කොදෙව් නවක ක්‍රීඩක Shamar Joseph පන්දුවාර 11.5කදී ලකුණු 68කට කඩුලු 7ක් දවාගනිමින් ජය කොදෙව්වන්ට හිමිකර දුන්නේය.

සිය මංගල ටෙස්ට් තරගාවලිය සමග එක්ව සිටින Shamar Joseph මෙහිදී ඇඟිල්ලක ආබාධයක් සමග ක්‍රීඩා කරමින් මෙම දක්ෂතාවය දැක්වීම විශේෂ වෙයි.

ඔහු සිය මංගල ටෙස්ට් තරගයේදී ද ප්‍රබල ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 5ක් දවාගෙන තිබුණේ ලකුණු 94කටය.

ඒ අනුව ඔහු සිය මංගල ටෙස්ට් තරගාවලියේදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 13කි.

මෙහිදී තරගයේ සිය පළමු ඉනිම සඳහා කොදෙව්වන් ලකුණු 311ක් රැස්කරගෙන තිබුණි.

සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට රැස්කරගත්තේ 289කි.

දෙවන ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම ලකුණු 193කදී සියලුදෙනා දැවී ගියේය.

ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය සොයා දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියාවේ සිහින Shamar Joseph විසින් සුනුවිසුණු කර දැමුවේ කිසිවෙකු නොසිතූ ලෙසටය.

ඒ අනුව ඔහු තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා යන සම්මාන ද්විත්වයම සිය නාමය ඉදිරියේ සටහන් කරගත්තේය.

හුදෙකලා සටනක නිරත වූ Steven Smith නොදැවී පන්දු 146කදී හයේ පහරක් සහ හතරේ පහර 9ක් සමග ලකුණු 91ක් රැස්කර සිටියේය.

විටෙක ක්‍රිකට් විචාරකයින් අනාවැකි පළකළේ කොදෙව් කණ්ඩායම මෙම තරගාවලියේදී ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව නවක ක්‍රීඩකයින් එක්කිරීම හාස්‍යයට ලක්කරමිනි.

එහෙත් ඒ සියල්ලට ඔවුන් මේ වනවිට පිළිතුරු දී ඇත්තේ ලකුණු 8කින් දෙවන ටෙස්ට් තරගය ජයගෙන ටෙස්ට් තරගාවලිය ද 1ට 1ක් ලෙස සමව නිම කරමිනි.
එය වසර 27කට පසුව කොදෙව් කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ දී ලද පළමු ටෙස්ට් ජය ලෙස ඉතිහාසයට එක්විය.
ඔස්ට්‍රේලියාවට එරෙහිව කොදෙව් පිල ජයග්‍රහණය සනිටුහන් කළ අවස්ථාවේදී ක්‍රිකට් විස්තර විචාරයේ යෙදුණු හිටපු කොදෙව් සුපිරි පිතිකරු බ්‍රයන් ලාරාගේ නෙත් කඳුලින් තෙත්විය.

වසර 27කට පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරග ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (28) සමත්වුණි.

ඒ බ්‍රිස්බේන් හිදි පැවැති දෙවන ටෙස්ට් තරගයෙන් ලකුණු 8ක තියුණු ජයක් වාර්තා කරමින්ය.

Share with your friends :