27 C
Colombo
25/11/2024

මල්වතුහිරිපිටිය හිමිනමගේ ඝාතකයන් පැමිණි මෝටර් රථය හමුවෙයි

Share with your friends :

මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයන් 4 දෙනකු විසින් කළ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ එම හිමිනම අද (23) ගම්පහ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අපවත්වී ඇතැයි මල්වතුහිරිපිටිය පොලිසිය කියයි.

මෙම වෙඩි තැබීමෙන් අපවත් වූයේ කලපලුවාවේ ධම්මරතන නැමැති (45) හිමිනමක බව පොලිසිය කියයි.

අපවත්වූ හිමිනම හේනේගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කර ඇති අතර එම විහාරස්ථානයේ කලක පටන් පැවැති ඉඩම් ආරවුලක් මත මෙම හිමිනම මල්වතුහිරිපිටිය විහාරස්ථානයට පැමිණ දානය වළඳා නැවත හේනේගම විහාරස්ථානයට වැඩම කරන බව පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණයවී තිබේ.

සිද්ධිය වූ අද (23) මෙම හිමිනම දහවල් 12.15 ට පමණ විහාරස්ථානයේ දානය වළඳමින් සිටින අවස්ථාවේදී සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයන් 4 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා හිමිනම සතුව මත්කුඩු තිබෙන බවට ලද තොරතුරක් මත පරීක්ෂා කිරීමට පැමිණි බව පවසා ඇත. පසුව හිමිනම පරීක්ෂා කරන මුවාවෙන් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර පලාගොස් ඇත බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණයවී තිබේ.

මේ අතර මල්වතුහිරිපිටිය විහාරස්ථානයේදී කලපලුවාවේ ධම්මරතන හිමිට වෙඩි තැබීම සදහා පැමිණි සුඛෝපභෝගී මෝටර් රථය කඩුවෙල ගොඩැල්ල ප්‍රදේශයේ ලදු කැලෑවක ගිනි තබා විනාශ කර තිබියදී අද 23 සවස හමුවූ බව කඩුවෙල පොලිසිය කියයි.

මෝටර් රථය සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති අතර කිසියම් ප්‍රදේශයකින් සොරාගත් එකක් බවට සැක කළ හැකි යැයි පොලිස් නිලධාරියකු පැවසීය.

ඝාතකයන් පැමිණි මෝටර් රථය සවිකර තිබූ ලියාපදිංචි අංකය හිමි මෝටර් රථය පානදුර එළුවිල ප්‍රදේශයේ ගරාජයක තිබී සොයාගෙන ඇත. එම වාහනය කිසිවකුටත් ලබා නොදෙන බවත් බැටරියක් මාරුකර අලුත්වැඩියක් සඳහා පානදුරේ ගරාජයක යොමු කළ බව වාහනයේ හිමිකරු පොලිසිය කියා ඇත.

කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

Share with your friends :