27 C
Colombo
25/11/2024

දෙන්නම ඉල්ලා අස් වෙන්න : මෛත්‍රීපාලගෙන් ලේකම් දෙපලටම දැනුම් දීමක්

Share with your friends :

මේ වන විට අර්බුදයක් බවට පත්ව තිබෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස එම සන්ධානයේ නායකයා වන හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මහින්ද අමරවීර අමාත්‍යවරයාට සහ තිලංග සුමතිපාල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට දැනුම් දී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

එම දැනුම් දීම කර තිබෙන්නේ ඉකුත් 8 වෙනි දින පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදීයි.

එම රැස්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධූරයට අයිතිවාසිකම් කියන අමරවීර සහ සුමතිපාල යන මහත්වරුන් දෙපළම සහභාගි වී තිබෙන බවත් එම මාර්ග පෙන්වා දෙනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ධූරයෙන් අමරවීර හා සුමතිපාල යන මහත්වරුන් දෙපළටම ඉල්ලා අස් වි නව ලේකම්වරයෙක් පත් කර ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස එම රැස්වීමේදී ඉල්ලීමක් කර ඇති සිරිසේන මහතා එසේ පත් වන නව ලේකම්වරයා ලෙස නව කෙනෙකු හෝ අවශ්‍ය නම් අමරවීර හා සුමතිපාල යන මහත්වරුන් දෙදෙනාගෙන් කෙනකු පත් කරගන්නා ලෙසටත් දැනුම් දී තිබෙනවා.

ඒ හැරුණු කොට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධූරය සම්බන්ධයෙන් අමරවීර අමාත්‍යවරයා පනවා ඇති නඩුවද ඉල්ලා අස් කර ගන්නා ලෙසට ඉල්ලීමක්ද සිරිසේන මහතා කර තිබෙන බවයි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළය ලාංඡනය යටතේ තරග කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලාපොරොත්තුව බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාද වන සිරිසේන මහතා එම රැස්වීමේ දී පවසා ඇති බවයි දැන ගන්නට තිබෙන්නේ.

මහින්ද අමරවීර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයට එරෙහිව යමින් ඔහු ආණ්ඩුවේ ඇමැති ධුරයක් ලබා ගැනීමත් සමග එම තනතුර සඳහා මීට ටික කලකට පෙර තිලංග සුමතිපාල මහතාව නම් කළ අතර ඊට එරෙහිව අමරවීර මහතා අධිකරණයේ නඩුවක්ද පවරා තිබෙනවා.

Share with your friends :