27 C
Colombo
24/11/2024

ශ්‍රීලංකාව හා උගන්ඩාව අතර සම්බන්ධතා තවදුරටත් ඉදිරියට

Share with your friends :

උගන්ඩා ජනාධිපති යොවේරි මුසවේනි මහතා, ශ්‍රීලංකාවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ උගන්ඩාවේ මහ කොමසාරිස් කනා කනනාදන් මහතා සමඟ දෙරට අතර සම්බන්ධතා තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් උගන්ඩාවේ කම්පාලා හිදී පසුගියදා සාකච්ඡා පැවැත්වීය.
කම්පාලාහිදී පැවැති මෙම හමුවේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීම සහ ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම සඳහා අවධානය යොමු විය.
කෙටි කාලයක් තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව අත්කර ගත් සුවිශේෂී ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව ජනාධිපති මුසවේනි මහතා එම සාකච්ඡාවලදී ප්‍රශංසා කළේය.
ජනාධිපති මුසවේනි විසින් මෙහිදී දෙරට අතර පවතින ඓතිහාසික සබඳතාව අගය කරමින් විවිධ ජාත්‍යන්තර කටයුතු වලදී එක්ව කටයුතු කිරීමේ වැදගත් කමද පැහැදිලි කළේය.
පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායක සමුළුවට සහභාගී වීම සඳහා කථානායකවරයා උගන්ඩාවට පැමිණියේය.
මෙම හමුව ශ්‍රී ලංකාව සහ උගන්ඩාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව වර්ධනය කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරයි. දෙපාර්ශ්වයම ඔවුන්ගේ ඓතිහාසික සබඳතා මෙන්ම ගෝලීය නව අභියෝග යටතේ තවදුරටත් සහයෝගීතාවයන් පුළුල් කලයුතු ආකාරය මෙහිදී සාකච්ඡා කළහ. උගන්ඩාව හා ශ්‍රී ලංකාව වසර 40ක සිට සමීප සබඳතා පවත්වයි.
කථානායකවරයාගේ දූත පිරිසට පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ද ඇතුළත්විය.

Share with your friends :