27 C
Colombo
14/11/2024

2024 ලග්න පලාපල

Share with your friends :

2024 ජනවාරි 01 දින ඉර උදාවත් සමඟ අහස් සිතියමට අනුව ධනු රාශිය හා සිංහ නවාංශකය උදාවෙමින් පවතී. එහි ග්‍රහ පිහිටීම් අනුව සලකා බැලීමේදී කුම්භ රාශියට අයත් ලංකා කේන්දරයට අනුව විශේෂයෙන් පීඩිත ජනතාවට සහන රැසක් සැලසෙනු ඇත. ඒ අනුව විදෙස් රටවලින් තව තවත් ඇප උපකාර ලැබෙන ව්‍යාපාර ප්‍රජාව හිස ඔසවන, තරුණ තරුණියන්ගේ රැකියා ගැටලුවලට විසඳුම් අධ්‍යාපන ගැටලු අවම වීම් සිදුවනු ඇත. එමෙන්ම දේශීය නිෂ්පාදනවලට ඉහළ තැනක් හිමි වන තත්ත්වයකි.

මේෂ ලග්නයට අයත් ලෝකායතන කේන්ද්‍රයට අනුව රට රටවල අසමගිතා එදිරිවාදිකම් දුරු වී යුද ගිනිදැල් නිවී සාමය සමගිය උදාවන වසරක් ලෙසද 2024 නව වසර හඳුන්වා දීමට පුළුවන.

මේෂ – නව ව්‍යාපාර ආදායම උසස්වෙයි.
ලග්නාධිපති රවි සමග 9 වැන්නේ ද ශනි ස්වක්‍ෂේත්‍රව 11 වැන්නේ ද රාහු 12 වැන්න සහ ගුරු ලග්න ශනි ද සඳු 5 වැනි ද කේතු 6 වැන්න සහ බුධ සිකුරු සමග 8 වැන්න ගෝචර මෙම වසර ශුභයි.

රැකී රක්ෂා තනතුරු ලාභ ලබයි. තත්ත්වයෙන් ඉහළට යන අතර වගකීම් බහුල වෙයි. තරමක් සතුරු බලපෑම් ඇති වෙයි. හදිසි ලාභ ද ලබයි. තම තැන්පත් ධනය වර්ධනය වෙයි.

පවුල් දිවිය ශුභයි. අඹුසැමි සුහදතාව ගෙන දෙයි. සාමය ගෙන දෙන ප්‍රශ්න ද ඇති වෙයි. ස්ථිර වාසස්ථාන ලබයි. නව නිවසකට ගෙවදීම එවැනි නිවසක් සෑදීම වැනි දේවලට හේතුයි. ආදර සබඳතා ප්‍රබල වෙයි. විවාහයකට හේතු දෙයි.

ප්‍රීති උත්සව සාද වැනි දේවල් බහුල වෙයි. අධ්‍යාපනයට හොඳයි. දෙස් විදෙස් සංචාර කිරීම් වැනි දේවලවලට හේතුයි. දේශක ව්‍යාපෘතිවල යෙදෙන්නන්ට හොඳයි. සෞන්දර්යාත්මක ක්‍රියාවන්ගෙන් ජය ප්‍රසාදය ගෙන දෙයි. ආගමික වැඩසටහන්වල යෙදෙන තම ඇසුරු කරන්නෝ ඒ සඳහා යොමු කරවන වසරකි.

ධනය – යහපත් ලැබීම් මතු කරයි. නව ව්‍යාපාර නිසා තම ආදායම උසස් වේ. තවද තම එදිනෙදා කටයුතු සඳහා බොහෝ අයගෙන් ඇප උපකාර පරිත්‍යාග ලැබෙන තත්ත්වයකි. නව ආයෝජනවලට යොමුවේ. ඒවා උසස් ලැබීම් බවට පත්වේ.

රැකී රක්ෂා – රැකියාවේ තනතුරු උසස් වේ. තමාට බොහෝ විට වෘත්තිය ස්ථානගත ප්‍රධානින්ගේ උපකාර මෙන්ම පිළිගැනීමට ලක්වන වසරකි. තමා ඉදිරිපත් කළ ආර්ථික සැලැස්මක් සාර්ථකවීම තුළ අන් අයගේ සහාය සැලකිල්ල හිමිවන වසරකි.

ගෘහ ජීවිතය – ගෘහ ජීවිතය කාර්ය බහුල වේ. නිවසේ නිතර උත්සවශ්‍රීයක් උසුලයි. බොහෝ විට විවිධ පුණ්‍යකර්ම හා භෝජන සංග්‍රහයන් සිදුවනු ඇත. එදිනෙදා කටයුතුවල කිසියම් පිළිවෙළක් දක්නට ලැබේ. තම දූ දරුවන් වෙනුවෙන් ජීවන සහකරු හෝ සහකාරිය වෙනුවෙන් වැඩි කැපවීමක් දක්නට ලැබේ. නිවසේ අලංකරණ කටයුත්තක් සිදු වන, නව වාහන නිවාස හිමිවනු ඇත. ගෘහ ජීවිතයේ සුන්දර මතක සටහන් සනිටුහන් වන වැඩිපුර තම අලංකාරය සඳහා ඇප කැපවන ඇඳුම් ආයිත්තම් විලාසිතා පිළිබඳ වැඩි යොමුවීමක් සමඟ වැඩිපුර වියපැහැදම් සිදු කරන වසරක් බවට හඳුන්වාදීමට පුළුවන.

අධ්‍යාපනය – වඩාත් ඉගෙනුම් කටයුතු කෙරේ යොමුවන අලුත් ආකාරයට සිතන අතර විභාගාදි කටයුතු කෙරේ වැඩි නැඹුරුවක් පෙන්වයි. පිටරට අධ්‍යාපනයට පවා පමුණුවන තත්ත්වයකි. ඒ සඳහා ඔබට පිටරට ශිෂ්‍යත්ව පවා හිමිවේ.

සෞඛ්‍යය – ශරීර සෞඛ්‍යයට තර්ජන නැත. කුස උෂ්ණ ගතියක්, පපුවේ හිසේ සෙම් ගතියක් හැරෙන්නට කිවයුතු විශේෂ උවදුරක් සිදු නොවේ. එහෙත් තම ආහාර රටාව ගැන විශේෂත්වයක් දැක්විය යුතුවේ.
ශුභ වර්ණය – රතු, රන්වන්, ජය අංකය – 01, 05

පවතින පීඩා දුරු කර ගැනීමට පහත පූජාවන් මැනවි.

නිතර බෝධි වන්දනාව ද, බුද්ධ පූජා පැවැත්වීම ද මැනවි. ස්කන්ධ කුමරුට පුද පූජා පැවැත්වීම, බෝධි වන්දනාවේදී, තලතෙල් පහන් දල්වා මිශ්‍ර පාට මල් පුදා ආශිර්වාද ප්‍රාර්ථනාව මැනවි.

වෘෂභ -තරග ජය ගනී
ලග්නාධිපති සිකුරු බුධ සමග සංයෝගව 7 වැන්නේ ද රවි කුජ සමග 8 වැන්නේ ද ශනි 10 වැන්නේ ද රාහු 11 වැන්න සහ ගුරු 12 වැන්නේ ද සඳු 4 වැන්න ද කේතු 5 වැන්න ගෝචර වෘෂභයට මෙම වසර ශුභාශුභ ඵලදෙයි.

රැකීරක්ෂාවල වෙනසක් සිදු නොවේ. තරමක් ශුභදායකව ස්ථාන මාරුවීම් වැනි දේවලට හේතුයි. රැකියා බලාපොරොත්තු වූවන්ට ශුභයි. වෙළහෙළදාම්වලින් ජය දෙයි. ණයතුරුස්වලින් අතමිදේ.

ගෘහ ජීවිතය ද ශුභයි. තම ඥාතීන් අතර ප්‍රධාන වෙයි. ඉඩකඩම් පිළිබඳ ආරවුලක් ශුභවාදීව විසඳේ. පදිංචියෙහි වෙනසකට හේතුයි. අවිවාහකයින්ට ශුභයි. මංගල සීනු නාද වෙයි. නිශ්ඵල වැඩ කටයුතුවලට ද යොමු වීමට ඉඩ තිබේ. ප්‍රීති සාද සංවිධානයට සහභාගි වීමට ආදී ක්‍රියාවනට හේතුයි.

අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභයි. තරග ජය ගනී. තම අරමුණු ජය ගනී. විදෙස්ගතවීම්වලට විදෙස් රැකියාවනට හේතුයි. විදෙස්ගතව සිටින තම ඥාති මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ලබයි. ආගමික වතාවත් ගරු කර දිවි ගෙවයි. අධ්‍යාත්මික ගුණ වර්ධනය වන ක්‍රියාවන්හි යෙදේ.
ධනය – ව්‍යාපාර ජය ලබයි. වියදම සීමා කර ගත යුතුවේ. සකසුරුවම ඇ‍තොත් ඔබගේ ආදායම උසස් ලෙස පවත්වා ගැනීමට පුළුවන. විදෙස් රටක සිටින අයකු වෙතින් ඔබට යම් මූල්‍යමය පරිත්‍යාග හිමිවේ. ආදායම් ඉපයීමේ සැලසුම්සහගත බවක් දක්නට ලැබේ.

ගෘහ ජීවිතය – කටයුතු බහුල වේ. එහෙත් වාහන සිහිනය සැබෑ වේ. නව නිවසක පදිංචියට යයි. බොහෝ දෙනාගේ ඇප උපකාර ලැබේ. පිටරට ගමන් බිමන් එළඹීමට පුළුවන. තම අධ්‍යාත්මික දියුණුව සඳහා කැප වේ. වසර මැද භාගය වන විට කරගෙන ආ කටයුතුවල සාර්ථකත්වයක් දක්නට ලැබේ. අවිවාහක අයට මංගල යෝගද තරුණ තරුණියන්ගේ ආදරය, ආලය වැඩි දියුණුවන තත්ත්වයකි. පිනට දහමට කැපවන බොහෝ සමාජසේවා කටයුතු නිසා පෞද්ගලික කටයුතුවලට යම් බාධා එල්ල වන තත්ත්වයකි. යහපත් පුද්ගලයින් ඇසුරට ලැබේ. නිතර දෙවේලේ තම කලා කුසලතා පිළිබඳ නිර්මාණශීලී බව මතු කිරීමට සමත් වේ. බොහෝ දෙනා අතර කැපී පෙනීමට ලක් වේ.

අධ්‍යාපනය – පිටරට අධ්‍යාපනය මෙන්ම තමා කරගෙන ආ අධ්‍යාපන රටාවේ වෙනසක් සිදුවේ. තෝරාගත් මග වෙනස්කොට තමාට සිය ජීවන ගමන තීන්දු කෙරෙන විෂයධාරා තෝරා ගැනීමක් සිදුවන අතර විභාගාදියෙන් ජය ලබන බොහෝ සමාජ පැසසුමට ලක්වන විවිධ උපාධි හා පාඨමාලා ජය ගැනීමට හැකිවේ.

සෞඛ්‍යය – තුනටියේ ආපදා, පපුවේ සෙම, හතිය මෙන්ම දණහිස ආශ්‍රිත උවදුරු වීමේ අවදානම පවතී. විශේෂයෙන් කුස උෂ්ණ ගති, කුස ගෑස් මතු වීමට පවා ඉඩ ඇත. තමා කරගෙන ආ ව්‍යායාම් ආදිය ඉදිරියටත් පවත්වාගෙන යාම නුවණට හුරුවේ.

ශුභ වර්ණය සුදු පැහැය, රන්වන් පැහැය ජය අංකය – 02, 07

සිකුරාදා දිනක බෝධියකදී මීතෙල් පහන් දල්වා සුදු කහ මල් පුදා බෝධි ගෞරව පූජා පවත්වා බෝධි සත්‍යක්‍රියාව සිදු කර සඳේට ලෝකයාට ග්‍රහදෙවිවරුන්ට පිටදී ආශීර්වාද ප්‍රාර්ථනාව මැනවි. සුමන සමන් දෙවිඳුට පිංදී පූජා පැවැත්වීම ද ඉතා ශුභයි. අංගවිකල වූවන්ට දානමානාදී ක්‍රියා පැවැත්වීම ශුභයි.

මිථුන-ගෘහ ජීවිතය ශුභයි
ලග්නාධිපති බුධ සිකුරු සමග 6 වැන්නේ ද රවි කුජ සංයෝගය 7 වැන්නේ ද සෙනසුරු 9 වැන්නේ ද රාහු 10 වැන්නේ ද ගුරු 11 වැන්නේ ද සඳු 3 වැන්න සහ කේතු 4 වැන්න ගෝචර මෙම වසර ශුභඵල දෙයි.

රැකී රක්ෂා ස්ථානවල වගකීම් සමග උසස්වීම්වලට හේතු වෙයි. තම වටිනාකම ප්‍රදර්ශනය වෙයි. රැකියා ලාභ ලබයි. ණයතුරුස්වලින් අතමිදේ. අමතර ලාභ ද ලබන වසරකි.

ගෘහ ජීවිතය ශුභයි. ඇසුරින් දුරස්ථව සිටි අඹුසැමියන් සුහද වෙයි. බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. ප්‍රේම සබඳතා ඇති වන අතර රහස් සබඳතා ද ඇති වෙයි.

අධ්‍යාපනයේ යෙදෙන්නන්ට හොඳයි. තම උත්සාහයේ තරමට ප්‍රතිඵලදායක වෙයි. සෞන්දර්ය ක්‍රියාවල යෙදෙන්නෝ ප්‍රසාදයට පත් වෙයි. ලිපි ලේඛනවලින් ජය දෙයි. තම අදිටන් මත විදෙස් රැකියා ලාභ ලබයි. ප්‍රීතිසාද උත්සව යෙදේ. තම ළඟම ඥාතියකුට අපලයි. පෙනෙන මෙන් නොපෙනෙන සතුරු බලපෑම් ඇති වෙයි. ආගමට දහමට ලැදිව ක්‍රියා කරයි.
ධනය – ධනය අතින් ඉතා යහපත් වේ. නව ආදායම් මතු කෙරේ. ඒ සඳහා බොහෝ විට නව වසරත් සමඟ අලුත් අලුත් ව්‍යාපාරවලට යොමුවේ. නවතා දමා තිබූ ව්‍යාපාර කර්මාන්ත නැවත ඇරඹීමට සිතයි. බොහෝ අයගේ උපකාර ඒ සඳහා හිමිවේ.

ගෘහ ජීවිතය – වාසස්ථාන වෙනසකට හේතුවේ. තමාගේ ජීවිතයේ නොඇසූ විරූ ‍චෝදනා ඇසීමට සිදුවේ. මවු පාර්ශ්වයේ අයකුගෙන් ඇප උපකාර ලැබේ. ඒ අතර ඉඩම් දේපළ හිමිකමක්ද වෙයි. නිවසේ නිතර පුණ්‍යකර්ම සිදුවේ. ආගමට දහමට ළැදිවේ. පිටරට ගමන් බිමන් යෙදේ. බොහෝ විට සමාජ සේවා කටයුතු, දේශපාලන කටයුතු බහුල වන අතර සමාජයෙන් ඒ සඳහා සහාය හිමිවේ. බො‍හෝ විට ඔබට උදාවන කාර්ය බහුලතාව නිසා පෞද්ගලික කටයුතුවලට බාධා එල්ල වේ. වසර මැද සිට බොහෝ වාසනාවන්ත ගෘහ ජීවිතයකට මග පෑදේ.

අධ්‍යාපනය – විභාගාදී කටයුතු බහුල වේ. ඉන් ජය ලබයි. පොත පතට වැඩි නැඹුරුවක් දක්නට ලැබේ. සම්මුඛ පරීක්ෂණාදියෙන් ජය හිමිවේ. විවිධ පාඨමාලා හා විභාගවලට මුහුණ දෙන වසරකි. සම්මාන සහතික හිමිවේ.

සෞඛ්‍ය – පපුවේ වියළිගති, සෙම නරක්වීම්, දණහිසට ආපදා විය හැකිය. මුත්‍රගත රෝග බහුල වන අතර තම ශරීර උෂ්ණතාව දැඩිවීමේ අවදානම පවතී. වා – පිත් – සෙම් රෝග බහුල වේ. අධික සැර උෂ්ණ ආහාර පාන අවම කළ යුතුවේ.

ශුභ වර්ණය – ලා කොළ, රන්වන්, ජය අංකය – 03, 05

පවතින දෝෂ සමථයට. බදාදා දිනවල බුද්ධ විහාරයකදී ගිලන්පස බුද්ධ පූජා පවත්වා, වන්දනා කර මෙත් වඩා දේව ලෝකයට පිටදීම අසරණ වූවන්ට, පුලන්නන්ට ශ්‍රමණ බමුණන් උදෙසා දානමය පූජා පැවැත්වීම ද ශ්‍රී උපුල්වන් දෙවිඳුට පූජා පවත්වා සෙත් ප්‍රාර්ථනාව ශුභයි.

කටක – ව්‍යාපාර දියුණු වෙයි
ලග්නාධිපති සඳු 2 වැන්නේ ද කේතු 3 වැන්නේ ද බුධ සිකුරු සමග 5 වැන්න සහ රවි කුජ සංයෝගව 6 වැන්නේ ද ශනි 8 වැන්නේ ද රාහු 9 සහ ගුරු 10 වැන්න ගෝචර කටක ලග්නයට මෙම වසර ශුභාශුභ වේ.

රැකියා බලාපොරොත්තු අයට අරමුණ ජය වේ. තම රැකියා ස්ථානවල සතුරු බලපෑම් එල්ල වුවද බුද්ධියෙන් ජයගත හැක. ව්‍යාපාර දියුණු වෙයි. තැන්පත් ධනය ද වර්ධනය වේ.

ගෘහ ජිවිතය ශුභයි. අඹුසැමියන් අතර අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. තම ඥාතීන් සමග සාමයෙන් ක්‍රියා කරයි. ප්‍රීති සාද වැනි දේවල් ද බහුලව යෙදේ. අවිවාහකයින්ට ශුභයි. ස්ථාන මාරුවීම් ශුභවාදීව යෙදේ. සෞන්දර්ය ක්‍රියාවන්වල යෙදෙන්නෝ ජනප්‍රිය වේ.

අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ද ශුභයි. නව පාඨමාලා හැදෑරීමට අවස්ථාව යෙදේ. විදෙස්ගතවීම්වලට හේතුයි. විදෙස් රැකියා ලාභ ලබයි. නව නිවාස ලාභ ද ලබයි. අන්සතු දේපළ උරුමයකට හේතුයි. දහමට ලැදිව ක්‍රියා කරයි. ආගමික වතාවත් ගරු කරයි. පරෝපකාරියි.
ධනය – ඉතා උසස් ආදායම් මතු කෙරේ. අලුත් අලුත් ක්‍රමෝපායයන් අනුගමනය කිරීම තුළ නව ආර්ථික රටාවකට හිමිකම් ලබයි. විවිධ ධන පරිත්‍යාග හිමි වනු ඇත.

රැකී රක්ෂා – රැකියාවේ ඉහළම තැනට යයි. බොහෝ අයගේ පැසසුමට ලක්වේ. තනතුරු උසස් වේ. නව රැකියා වාසනාව, ස්ථානමාරු මතුවේ. තමා ඉදිරිපත් කළ ආර්ථික සැලැස්මක් සාර්ථකවීම නිසා ප්‍රධානින්ගේ පැසසුමට ලක්වේ. පිරිසක් පාලනය කිරීමට වාසනාව ඇතිවේ. වේතනයේ ඉහළ යාමක් ද පවතී. සිතේ සතුටින් රැකියාව කරයි. සතුරු මැඩ පැවැත්වේ. රැකියාවේ යහපත් මිතුරු ඇසුර හිමිවේ.

ගෘහ ජීවිතය – වාසනාවන්තවේ. කටයුතු සඵල වේ. තම පවුලට අලුත් සාමාජිකයකු එක්වේ. සිතට සැනසීම උදාවේ. බොහෝ අයගේ ඇප උපකාර නිසා නිවසේ යම් යම් විනෝදාස්වාදය පිණිස සිදු කෙරෙන උත්සව පිළිබඳ කාලය මිඩංගු කරයි. තමා ඇසුරු කළ අයගෙන් ජීවිතයට යම් ශක්තියක් හිමිවේ. ඇසූ පිරූ තැන් ඇති අය ඇසුරට ලැබේ. ජීවිතයට නැවුම් අදහස් මතු කෙරේ. කලාකාමීවේ. සමාජ සේවා කටයුතු බහුල වේ. ඒ නිසාම අසල්වාසි නෑසියෝ හිතෛෂි අයගේ පැසසුමට ආදර කරුණාවට ලක්වේ. දුර බැහැර ගමන් යෙදෙයි. ඒවා තම අනාගත අභිවෘද්ධිය උදෙසා වෙයි. නිතර ආගමික කටයුතු කෙරේ උනන්දු වේ. සිතට සැනසීම උදාවන වසරකි.

අධ්‍යාපනය – අධ්‍යාපනයෙන් ජය ලබයි. බොහෝ අයගේ අනුශාසනා ලැබේ. පූජ්‍ය පක්ෂයේ අවදානමට ලක්වීම නිසා ආගමික විෂයධාරා පිළිබඳව අධ්‍යයනයට යොමු වේ. උසස් විභාග ප්‍රතිඵල හිමි වේ. නිතර ගවේෂණාත්මක තොරතුරු පිළිබඳ උනන්දු වේ. ග්‍රන්ථකරණයට යොමු වේ.

සෞඛ්‍ය – තුනටියේ ආපදා – යටි බඩේ උෂ්ණතා මතු කෙරේ. බොහෝ විට උඩකින් වැටීම, ලිස්සා වැටීම නිසා උරහිසට අගුණ පළවනු ඇත. මුත්‍ර පිටවීමේ අවහිරතා ද මතුවනු පෙනේ. උපරිම වතුර පානය අවශ්‍යයි.
ශුභ වර්ණය – රෝස, කහ, ජය අංකය – 01, 04

පවතින දෝෂ සමථයට විහාරමළු ඇමදීම බෝධිමළු ඇමදීම. ශ්‍රමණ බමුණන් උදෙසා දානමානාදිය දී ආශීර්වාද ප්‍රාර්ථනාව මැනවි. වැඩිහිටි නිවාසවල අය උදෙසා දානමය උපකරණ දීම, පත්තිනි දෙවඟනට පිං අනුමෝදන් තියා, පුද පූජා පැවැත්වීම මැනවි.

සිංහ – වාහන, ඉඩම්, නිවාස හිමිකම
ලග්නාධිපති රවි කුජ සමග 5 වැන්නේ ද ශනි 7 වැන්න සහ රාහු 8 වැන්නේ ද ගුරු 9 වැන්නේ ද සඳු ලග්නගතව ද කේතු 2 වැන්නේ ද බුධ සිකුරු සංයෝගව 4 වැන්න ගෝචර මෙම වසර තරමක් ශුභයි.

රැකියාවල වෙනසක් නොවුව ද ස්ථාන මාරුවීම් යෙදේ. එය යහපතට හේතු වේ. හදිසි ධන ලාභ ද ලබයි. තැන්පත් ධනය වර්ධනය වෙයි. ව්‍යාපාර දියුණු වෙයි.

ගෘහ ජීවිතය ශුභයි. නමුත් කේලාම් මත චංචල සිතුවිලි මතු වීමෙන් මතවාද ඇති වෙයි. එබැවින් බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. විදෙස් ගමන් යෙදෙන අතර, ප්‍රීති උත්සව, සාද වැනි දේවල් තරමක් බහුලව යෙදේ. අවිවාහකයින්ට බලාපොරොත්තු ඉටු වෙයි.

අධ්‍යාපනික කටයුතුවලින් ජයගත හැක. තරග තුරඟ ජය ගනී. නව නිර්මාණ තුළින් ජනප්‍රසාදය ලබයි. සියුම් කලාවන්වල යෙදෙන්නෝ ප්‍රසාදයට පත් වෙයි. අලංකාර කටයුතු සඳහා මිල මුදල් වැය කරයි. යාන වාහන මිලට ගැනීමට විකිණීමට ශුභයි. රහස් සබඳතාවලට හේතුයි. දුරදිග බලා ක්‍රියා කළ යුතුයි. දහමට ලැදිව ක්‍රියා කරයි.
ධනය – ධනය ලැබේ. ලැබූ සැණින් වියදම් වේ. ඒ නිසා සකසුරුවම අත්‍යවශ්‍ය වේ. උපායශීලි ක්‍රම මගින් ධනය එක් රැස් කරයි. ඒ තුළින් කිසිවකුට අවහිරයක් නොවීම නිසා එයට සමාජ සහයෝගයද හිමි වේ. නවතා දමා තිබූ ව්‍යාපාරයක් නැවත ආරම්භ කිරීමෙන් අලුත් ආදායම් මාර්ගයකට ඉඩ සැලසේ.

රැකී රක්ෂා – රැකියාවේ උසස්වීම් පිළිගැනීම් වැඩි වේ. නව රැකියාවකට වාසනාව පවතී. ඒ නිසා ස්ථානමාරු හා තනතුරු උසස්වීම් සහිතයි. වසර මැද සිට බොහෝ රැකියා එනම් එකවිට රැකියා කීපයක් කිරීමට පෙලඹේ. කටයුතු බහුල තත්ත්වයකි.

ගෘහ ජීවිතය – වාසනාවන්ත වේ. වාහන, ඉඩම්, නිවාස හිමිකම උදාවේ. වසර ආරම්භයත් සමඟ බොහෝ විට තමා බලාපොරොත්තුව සිටි අභිවෘද්ධියට මග සැලසේ. උනන්දු සහගත බව නිසා බොහෝ අයගෙන් ඇප උපකාරද – සමාජ වැඩවලදී තමාට අන් අයගේ ඇප උපකාර ද හිමිවේ. නමුත් ගෘහ ජීවිතයේ කටයුතු පොදු ජනතාවටම ඵලදායී ලෙස සිදු කිරීමට පෙ‍ලඹෙන නිසා තමාට පෞද්ගලිකව තිබූ බලාපොරොත්තු සීමාවන ලකුණු පෙනේ. විවාහ ස්ථානගත මතභේද මතු කෙරේ. පිටස්තර අයගෙන් ලැබෙන චෝදනා අපහාස නින්දා නිසා යම් තරමක ඉදිරිපත්වීමේ අවස්ථාව සීමා වනු ඇත.

අධ්‍යාපනය – ඉතා පැහැදිලි මානසික තත්ත්වයක් නිසා ඉගෙනුම ශක්තියක් කර ගනී. කලාකාමි අදහස් මතුවීම නිසා සෞන්දර්ය විෂයයන් කෙරේ උනන්දුව වැඩි වේ. පොදු නීතියට අවනත වේ. නීති වෘත්තියට යොමුවිය හැකි මට්ටමේ අධ්‍යාපනයකට සිත යොමු කෙරේ.

සෞඛ්‍ය – මුත්‍ර දෝෂ, වකුගඩු ආශ්‍රිත රෝග පමුණුවයි. තුනටියට උවදුරු ගෙනේ. විශේෂයෙන් යම් යම් ආරවුල් මතභේදවලට පැටලීම නිසා කෙනෙකුගේ පහරදීමකට වුවද ලක්වී අනතුරු උදාකර ගනී. විශේෂයෙන් ලේ දූෂ්‍ය විය හැකි රෝග මතු කරන නිසා ප්‍රවේශම් වන්න.

ශුභ වර්ණය – තැඹිලි, ලාදම්, ජය අංකය – 01, 06

පවතින පීඩා ජය ගැනීමට බෝධිය අසලදී එඬරු තෙල් පහන් දල්වා සුදු මල්, රතු මල් හැකි තරම් පුදා වන්දනා කර සඳේට ලෝකයා ග්‍රහ දේව මණ්ඩලයට පිංදී ආශීර්වාද ප්‍රාර්ථනාව මැනවි. සිර කළ සතුන් නිදහස් කිරීම, ඊශ්වර දේව පූජා පවත්වා සෙත් ප්‍රාර්ථනා උතුම්.

කන්‍යා – තනතුරු ලාභ
ලග්නාධිපති බුධ සිකුරු සමග 3 වැන්නේ ද රවි කුජ සංයෝගව 4 වැන්නේ ද ශනි 6 වැන්නේ ද රාහු 7 වැන්න ගුරු 8 වැන්න සහ සඳු 12 වැන්න කේතු ලග්නගතව ගෝචර වීම කන්‍යාවට වසර ශුභයි.

රැකියා ස්ථානවල තනතුරු ලාභ ලබයි. තත්ත්වය උසස් වෙයි. ව්‍යාපාර ද පැහැදිලි දියුණුවකට පත් වෙයි. තම තැන්පත් ධනය වර්ධනය වෙයි. හදිසි ලාභ ද ලබයි. ගෘහ ජීවිතය ශුභයි. නව ඥාතීන් දැන හඳුනා ගැනීමට ද හැකි වෙයි. මංගල සීනු නාද වන වසරකි. සෞන්දර්ය කටයුතු, දේශන කටයුතු ආදියෙන් ජය ලබයි. ගමන් බිමන් බහුල වෙයි. ප්‍රීති උත්සව, මංගල සාද වැනි දේවල් නිතර යෙදෙන වසරකි.

අධ්‍යාපනයේ යෙදෙන්නන්ට හොඳයි. ධාරණ ශක්තිය වර්ධනය වෙයි. තරග තුරග ජය ගනී. විදෙස් රැකියා ලාභ ද ලබයි. විදෙස්ගත ඥාති මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ද ලබයි. උගතුන් වියතුන් ඇසුරට පත් වෙයි. පතල් කැණීම් වැනි භූමිය පිළිබඳ ක්‍රියාවන්ගෙන් ශුභඵල ලබයි. පුණය ක්‍රියාවන්වල නිතර යෙදේ. තම ඥාතීන් ද දහමට යොමු කරවයි.

ධනය – ලැබීම්වලට යහපත්ය. නමුත් ශරීරය වෙහෙසා කරන කටයුතු වලින් ආදායම් ලැබේ. ඒ අතර වියදම අධික වේ. ලැබෙන දේ ක්ෂණයෙන් තමාට අහිමිවීමට තරම් ඉඩකඩ පවතින නිසා සකසුරුවම, සෝදිසිය හොඳින් පවත්වාගෙන යන්න.

ගෘහ ජීවිතය – සිතේ කනස්සල්ල මතු වේ. පීඩාකාරි මානසිකත්වයකින් සිටින නිසා කටයුතු අවුල් වේ. බොහෝ වාසනාවන්ත දේ මගහැරී යාමට පුළුවන. දේපළ ඉඩකඩම් වාසනාව ඇත. ඒ තමාට හිමිවන්නට තිබී යටපත්ව ගිය දේපළක් නම් ඔබට හිමිවන ලෙස මතුවීම නිසා විය හැකි. හදිසි ධන යෝග හා අන් අයගේ පරිත්‍යාග නිසා යම් යම් අරමුණු කරා යාමේදී අධිෂ්ඨානය ඉහළ යාමක් සිදු වේ. විවාහ ස්ථාන ගැටලු, අඹු සැමියන් අතර මත භේද හට ගනී. උසස් ආදායම් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික ඇප උපකාර ගරු සම්මාන ලැබේ. දේශපාලනය, සමාජ සේවය පිළිබඳව වඩාත් විධිමත්ව කැපවනු ඇත.

අධ්‍යාපනය – ඉතා හොඳ දැනුම් සම්භාරයකට හිමිකම් ලබයි. ඒ සඳහා පොත පත සමාජ මාධ්‍ය ජාලා උපකාර කර ගනී. වඩ වඩාත් විභාගවලට පෙනී සිටින වසරකි. ඉන් ජයග්‍රහණද හිමි වේ. අන් අයට තම දැනුම ප්‍රදානය කොට ඒ අය විභාගවලින් සමතුන් කිරීමට ඔබ උනන්දු වනු ඇත.

සෞඛ්‍ය – හිසට විවිධ උෂ්ණ රෝග මතු කෙරේ. ස්නායු ආපදා ද පැමිණේ. වසර ආරම්භයේ සිට වසර මැද භාගය වනතුරුම විවිධ ශාරීරික අපහසුතාවලට භාජනය වේ. පපුවේ වියළි බව, ලේ උෂ්ණ වීම මතු කෙරේ.
ශුභ වර්ණය කොළ, කහ, ජය අංකය 03, 06

කන්‍යා පවතින පීඩා දමනයට බෝධියක් අසලට ගොස් බදාදා දිනක මීතෙල් තලතෙල් මිශ්‍ර පහන් ද පංච වර්ණයෙන් මල් පුදා වන්දනා කර දේව සමාගමට ග්‍රහදේව සමාගමට පිංදීම, දරු සම්පත් ලබන මාතාවන් උදෙසා පෝෂණ ද්‍රව්‍ය දානය වශයෙන් දීම උපුල්වන් ශ්‍රී විෂ්ණු දෙවිඳු උදෙසා පුද පූජා පැවැත්වීම ආශීර්වාද ලබා ශුභවාදීව ශුභයි.

තුලා – දූ දරුවන් නිසා සිත් සතුටු වෙයි
ලග්නාධිපති සිකුරු බුධ සමග 2 වැන්නේ ද රවි කුජ සංයෝගව 3 වැන්නේ ද ශනි 5 වැන්න සහ රාහු 6 වැන්න ගුරු 7 වැන්න ද සඳු 11 වැන්න කේතු 12 වැන්න ගෝචර මෙම වසර ශුභයි.

රැකියා කටයුතු යහපත් වේ. තනතුරු ලාභ ස්ථිර වේ.

රැකියා ලාභ ද ලබයි. ව්‍යාපාරවල පැහැදිලි දියුණුවත් ඇති වෙයි. අමතර ලාභ ද ලබයි. ණය තුරුස්වලින් අතමිදීමට හැකි වේ.

ගෘහ ජීවිතය ශුභයි. ශුභවාදී මිතුරු මිතුරියන් ඇසුරට පත් වෙයි. අඹු සැමි වාද භේද ඉවත්වෙයි. කලා කටයුතුවල නිරත වන්නන්ට ශුභයි. ගමන් බිමන් ප්‍රීති උත්සව අධික වන වසරකි. ආරංචි පමණින් ක්‍රියාකාරි වීම ශුභවාදී නොවේ. භූමි ලාභ, කෘෂි කාර්මික ක්‍රියා ආදියෙන් ජය ගෙන දෙයි. අධ්‍යාපනයේ යෙදෙන්නන්ට අලස බවක් ඇති වෙයි. උත්සාහයේ තරමට ජය ගෙන දෙයි. දූ දරුවන් නිසා සිත් සතුටු වෙයි. ඥාතීන්ගෙන් උදව් උපකාර ද ලබයි. නව නිවාස ඉදිකිරීමට හේතුයි. පෙනෙන මෙන් නොපෙනෙන සතුරු බලපෑම් මත තරමක් මනසට වද දෙන ප්‍රශ්න මතු කරයි. ආගමට දහමට බරව ක්‍රියා කරයි. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි යොමු වෙයි.

ධනය – හදිසි ධන ලාභ ලැබේ. ලොතරැයි ජය ඒ අතර වෙයි. දේපළ විකුණා දැමීමක් නිසා අතමිට සරුවේ. විවිධ පරිත්‍යාග අනුවද තම ආර්ථිකය උසස් වනු පෙනේ. මවුපාර්ශ්වයේ මූල්‍ය පරිත්‍යාගයන්ද පෙන්වයි.

රැකී රක්ෂා – රැකියා අභිවෘද්ධිය සහිතයි. නව වගකීම් උදාවේ. ඒ අනුව වසර මැද සිට බොහෝ රැකියා පල මෙන්ම විවිධ උසස්වීම් නිලතල හා රැකියාවේ යහපත් විදියට හිමිවන ස්ථානමාරු ද ඒ අතර වෙයි.

ගෘහ ජීවිතය – වාසනාවන්ත තත්ත්වයකි. අවිවාහක අයට මංගල යෝගද තරුණ තරුණියන්ගේ ආදර සබඳතා ශක්තිමත් වීමද පෙන්වයි. එසේම අධ්‍යාත්මික දියුණුව හා ආගමික සහජීවනය සිතට දැනේ. නිවසේ පුණ්‍ය කටයුතු, දානමය කටයුතු නිතර සිදු වේ. බලාපොරොත්තු වී සිටි නව ගමනකට යොමු කරයි. සමාජ සේවා කටයුතු කෙරෙන් ප්‍රසාදය ලබයි. පිටරටකට යාමට සිතා සිටියේ නම් පිටරට රැකියා, පිටරට සංචාරයන් උදා වේ. දේපළක් පිළිබඳ තිබූ ගැටලුවක් මග හැරෙන අතර තමාට හිමි වන්නට තිබී අන්සතුව පැවති දේපළක් තමාට හිමි වනු ඇත. පැවති නීති ගැටලු ද කෙමෙන් පහවන අතර යම් පිරිසකගේ අත් උදව් මත ජීවන ගමන සාර්ථක කර ගැනීමට වසර ආරම්භයත් සමඟ අවස්ථාව උදා වේ.

අධ්‍යාපනය – නව තොරතුරු සොයා යාමට පෙලඹේ. ඒ නිසාම තම බුද්ධිය දැනුම වැඩි දියුණු වේ. සමාජයෙන් ගතහැකි දැනුම තමා ග්‍රහණය කර ගනී. භාෂා කීපයක් පිළිබඳ අධ්‍යයනයට හසුකර ගනී. තම අභිවෘද්ධිය පිණිස අධ්‍යාපනය එක් මාධ්‍යයක් බවට පත්කර ගනී.

සෞඛ්‍ය – උරහිසේ ආපදා පාදයේ වළලුකර ආශ්‍රිත ආපදා මතු වේ. වකුගඩු සම්බන්ධ රෝග පවතින අය ප්‍රවේශම් විය යුතු වසරකි. විශේෂයෙන් සැර උෂ්ණ ගති නිසා යටි බඩ සම්බන්ධ රෝග කුස ගෑස් මතුවීම තුළ අපහසුතා මතු කෙරේ. ඒ නිසා සැර උෂ්ණ ආහාරපාන අවම කරන්න.
ශුභ වර්ණය- සුදු, කහ, ජය අංකය- 02, 07

පවතින බාධා වලින් ජය ගැනීම සඳහා බුද්ධ මන්දිර ප්‍රතිමා පිරිසිදු කිරීම, ක්‍ෂිරදානය පිදීම, අසරණයන් දුගියන් උදෙසා වියළි සලාක දානය දීම, සමන් දෙවිඳුට පූජා පැවැත්වීම, පිං අනුමෝදන් කිරීමාදිය තුළින් බාධා ඉවත් වෙයි.

වෘශ්චික – රැකියා වාසනාව
ලග්නාධිපති කුජ රවි සමග සංයෝගව 2 වැන්නේ ද ශනි 4 වැන්නේ ද රාහු 5 වැන්න සහ ගුරු 6 වැන්නේ ද සඳු 10 වැන්න සහ කේතු 11 වැන්නේ ද බුධ සිකුරු ලග්නයේ ගෝචර මෙම වසර තරමක් ශුභඵල දෙයි.

ගෘහ ජීවිතය හොඳයි. භාර්යාව ස්වාමියාටත් ස්වාමියා භාර්යාවටත් අවනතව ක්‍රියා කරයි. තම ඥාතීන් අතර ප්‍රධාන වෙයි. නිවාස අලුත්වැඩියා හෝ අලුතින් සෑදීමට හේතුයි. ගමන් බිමන් බහුල වසරකි. දේපළ පිළිබඳ නීතිමය ප්‍රශ්න ඇති වෙයි.

අධ්‍යාපන ක්‍රියාවකදී අලස ගති උත්පාදනය වෙයි. උත්සාහයෙන් ක්‍රියා කළ යුතුයි. නව නිර්මාණකරණයට ශුභයි. ප්‍රසාදයට පත්වන ක්‍රියා යෙදේ. බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. භූමිලාභ සම්පත් ගෙන දෙයි. ආගමික වතාවත් ගරුකරන අතර දැහැම් සිතුවිලි වර්ධනය වෙයි.
අධිෂ්ඨානයෙන් අනාගතයට මුහුණ දුනහොත් සකසුරුවම අනුගමනය කළොත් ජය ගත හැකිය. ආපදා අවම කරගත හැකිය. ඒ තුළින් නව ප්‍රගතියක් ජීවිතයට එක්කර ගත හැක. විමසිලිමත් බව අත්‍යවශ්‍යයි.

රැකී රක්ෂා – රැකියා වාසනාව සහිතයි. වෘත්තීය ගරුත්වය ආරක්ෂාකර ගනී. නව පදවි තානාන්තර හිමි වේ. උසස් සැලසුම්සහගත බවක් නිසා බොහෝ වගකිව යුතු අයගේ ගරු බුහුමනට පැසසුමට ලක් වේ. ඒ නිසාම වසර මුල සිටම තම අනාගත වෘත්තීය මට්ටම උසස් කර ගනී.

ගෘහ ජීවිතය – සිතේ සතුට, අභිවෘද්ධිය උදා වේ. කා අතරත් කැපී පෙනෙන මට්ටමකට පත් වේ. ආගිය තැන පැසසුම් ලබයි. මුල සිටම ක්‍රමානුකූල බව, සැලසුම්සහගත බව පිළිවෙළ සිතට ගැනීම තුළ අනාගතයට යහපත් සූදානමක් එකතු කර ගනී. තම විවාහ ස්ථානගත අභිවෘද්ධිය අඹු සැමියන් අතර විශ්වාසය, ආදර කරුණාව මතු කෙරේ. නව පිරිස් ඇසුරට ලැබේ. නිවසේ විවිධ උත්සව සිදු කෙරෙන අතර ඉන් තම ජීවිතයේ සතුට සමාදානයට රුකුලක් වෙයි. සමාජ සේවා කටයුතු, දේශපාලන කටයුතු තුළින් ජනාදරයට පත් වේ. ඒ නිසාම තම අභිවෘද්ධිය මතුකර ගනී. බොහෝ පිරිස් අතර තමාගේ නිර්මාණශීලි බව ඉස්මතු වීම නිසා බොහෝ විට සම්මාන සහතික නම්බුනාම පවා හිමිවීමට ඉඩ තිබේ.

අධ්‍යාපනය – අධ්‍යාපනයට බාධා පැමිණුනද ඒවා ක්‍රමයෙන් මගහරවාගෙන ඉදිරියට යයි. තම දැනුම අන් අයට බෙදා දීමෙන් නව දැනුම තම ජීවිතයට එක්කර ගනී. විවිධ විෂයානුබද්ධ ක්‍රියාකාරකම්වලට යොමු වීමෙන් සමාජ සහයෝගය මත තම දැනුම උසස් කර ගනී.

සෞඛ්‍ය – උගුරේ ආපදා, තයිරොයිඩ් ආපදා උත්සන්න විය හැකිය. පපුවේ අධික සෙම මතු කිරීමෙන් පෙණහලු ආශ්‍රිත උවදුරු මතු කෙරේ. උණ – සෙම්ප්‍රතිශ්‍යාව, දත් රෝග බහුලව වැලඳේ. සීතල තත්ත්වයන්ගෙන් ආරක්ෂා වන්න.

ශුභ වර්ණය – දුඹුරු, ලා රතු, ජය අංකය – 03, 08

පවතින පීඩා දමනයට තුන්තරා බෝධීන් පිරිසිදු කිරීම්, බුද්ධ පූජා, ක්‍ෂීර දාන පූජා පවත්වා සදේව ලෝකයට පිංදීම, ශ්‍රමණ බමුණන් වෙනුවෙන් දානමානාදී පූජා පැවැත්වීම, කදිර දෙවිඳුට පූජා පවත්වා සෙත් පැතීම, සිරකළ සතුන් නිදහස් කිරීම ශුභවාදී ඵල මතු කරයි.

ධනු – ධනයෙන් උසස් වේ
ලග්නාධිපති ගුරු 5 වැන්නේ ද සඳු 9 වැන්නේ ද කේතු 10 වැන්න සහ බුධ සිකුරු 12 වැන්නේ ද රවි කුජ සංයෝගව ලග්නගතව ද ශනි 3 වැන්නේ ද රාහු 4 වැන්න ගෝචර මෙම වසර ශුභාශුභ ඵල දෙයි.

රැකියා ස්ථානවල පැවැති බාධා ඉවත්වෙයි. උසස්වීම්වලට හේතුයි. වගකීම් දැරීමට සිදු වෙයි. ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. තැන්පත් ධනය වර්ධනය වෙයි.

ගෘහ ජීවිතය ශුභයි. දූ දරුවන් සමග සාමයෙන් ගෙවෙයි. තම ඥාතීන් අතර ප්‍රධානව ක්‍රියා කිරීමට සිදු වෙයි. උත්සව සාද වැනි දේවල් බහුලව යෙදේ. අලංකාර කටයුතු සඳහා වැයපස ඉහළ යයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. මංගල සීනු හඬවන වසරකි.

අධ්‍යාපනයෙහි යෙදෙන්නන්ට තරමක් ශුභයි. මහන්සියේ තරමට ඵල ලබයි. විදෙස්ගතවීමට බලාපොරොත්තු වූවන්ට අරමුණු සාර්ථක වෙයි. සතුරු බලපෑම් ඇති වෙයි. ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. අනවශ්‍ය ලෙස වැයපස ඉහළයෑමට ද ඉඩ තිබේ. පතල් කැණීම් වැනි දේවලින් ජය ගෙන දෙයි. ආගමට දහමට ලැදිව ක්‍රියා කරයි. තම ඇසුරු කරන්නෝ ද දහමට යොමුකරවන ක්‍රියා දියත් කරයි.

ධනය – ධනයෙන් උසස් වේ. ඒ සඳහා තමා විවිධ ආකාරයේ ව්‍යාපෘතීන් හා ව්‍යාපාර අරඹනු ඇත. ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය පවා හිමි වේ. කොන්ත්‍රාත් කටයුතු, ඉදිකිරීම් කටයුතු කෙරෙන් ආදායම් ලබයි.

රැකී රක්ෂා – . සාමකාමී අදහස් මතු කෙරේ. සතුරු පීඩා මග හැරේ. ප්‍රධානීන්ගේ ප්‍රශංසා මතු කෙරේ. බොහෝ විට තම අභිවෘද්ධිය උදෙසා පැවරෙන රාජකාරි වෙලාවට කලාවට ඉටු කිරීමෙන් විවිධ අයගේ පැසසුම් හිමි වනු ඇත. විදේශ ගමන් බහුල වේ. බොහෝ විට විදෙස් රැකියාවකට යාමට අවස්ථාව උදා වේ. නව ව්‍යාපාර ආරම්භය නව ව්‍යාපෘතියකට අත ගැසීම නිසා ජීවිතය කාර්ය බහුල වුවද අනාගතය සඳහා සතුටුවිය හැකි පදනමක් වැටේ. තමාගේ ඉටුකර ගැනීමට නොහැකිව තිබූ බොහෝ අරමුණු නව ජවයකින් යුතුව සඵලකර ගැනීමට බොහෝ අයගේ ඇප උපකාර හිමි වේ. දේපළක් පිළිබඳ තිබූ නීති ගැටලුවක් සමතයකට පත්වේ. සිතට මහත් සැනසීමක් උදා වේ.

අධ්‍යාපනය – නව දැනුම සොයා යයි. පොතපත පරිශීලනය කරයි. සමාජයේ හොඳනරක තේරුම් ගනී. ඒවා අධ්‍යයනය කොට අනාගත පරපුරට ඉගෙනගත හැකි පාඩම් ලෙස ලේඛන කලාවට පවා ඔබ පෙලඹේ. විශ්ව භාෂාව පිළිබඳ උනන්දුව වැඩි කෙරේ. විභාග ආදිය ජයගෙන අනාගත වෘත්තියට ඒවා යොමු කර ගනී.

සෞඛ්‍ය – පපුවට ආපදා, ඇට මිදුළු, මස් පිඩු වේදනා, දණහිස ආශ්‍රිත උවදුරු පෙන්වයි. විශේෂයෙන් උරහිසේ පැවති ආපදාවක් කලකට පසු යළි මතුවිය හැකිය. වා-පිත්-සෙම් රෝග බහුල වේ. වෛරස් රෝග උණ සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීමේ ඉඩකඩ වැඩිය

ශුභ වර්ණය- කහ, තැඹිලි, ජය අංකය- 01, 07

දැනට ඇති බාධාවලින් ජය ගැනීමට බෝධියකට තලතෙල් පහන් දල්වා, කහමල්, නිල් මල් පුදා වන්දනා කර, දේව සමාගමට පිංදීම, මරණයට කැපවූ සතුන් නිදහස් කිරීම, සිල්ගත් මාතාවන් උදෙසා දිවා දාන වේලක්, සුදු වස්ත්‍ර සමග දීම ශුභයි.

මකර – තරග විභාග ජය
ලග්නාධිපති ශනි 2 වැන්නේ ද රාහු 3 වැන්නේ ද ගුරු 4 වැන්න සහ සඳු 8 වැන්න ද කේතු 9 වැන්න ද බුධ සිකුරු සංයෝගව 11 වැන්නේ ද රවි කුජ සමග 12 වැන්න ගෝචර මෙම වසර ශුභා ශුභ ඵල දෙයි.
ව්‍යාපාර දියුණුවකට පත් වෙයි. අමතර ලාභ ද ලබයි. ණය තුරුස්වලින් මිදේ.

ගෘහ ජීවිතය ශුභයි. භාර්යාව සැමියාටත් සැමියා භාර්යාවටත් අවනතව ක්‍රියා කරයි. ප්‍රීති උත්සව සාද යෙදේ. ගමන් බිමන් ද බහුල වන වසරකි. ප්‍රේම සබඳතා වර්ධනය වේ. අවිවාහක අයට මංගල සීනු නාද වෙයි. රහස් සබඳතා ද වර්ධනය වෙයි. බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. ඉඩකඩම් පිළිබඳ ප්‍රශ්න යහපත් ලෙස නිරාකරණය වෙයි.

අධ්‍යාපන කටයුතුවල යෙදෙන්නන්ට ශුභයි. උනන්දුවේ තරමට ජය ගනී. තරග විභාගාදී ආදියෙනි ජය ලබයි. නව නිවාස ලාභයකට හේතුයි. පදිංචියේ වෙනසකට හේතුයි. ඇසුරු කරන්නන්ගේ උපකාරයෙන් දියුණු මගට යොමු වෙයි. දහමට ලැදිව ක්‍රියා කරයි. අධ්‍යාත්මික ගුණ වගාවන්වල යෙදේ.

ධනය – ඉතා සුබ ආදායම් ලැබේ. පැවති බාධා දුරු වී නව ව්‍යාපාරවලින් ජය ලබයි. සිතට සතුට අභිවෘද්ධිය උදාවේ. පැවති ණය මුදලකින් නිදහස් වීමට හැකි වේ. ලොතරැයි ජය හා හදිසි ධන පරිත්‍යාග හිමි වේ. පිටරටක සිටින අයකුගේ මාර්ගයෙන් මුදලක් හිමි වේ.

රැකී රක්ෂාව – ඉතා සුබ රැකියා ඵල අත්පත් වේ. ඒ සඳහා සැලකියයුතු වගකිවයුතු අයගේ අවදානය යොමු වේ. කාගෙත් පැසසුමට ලක්වන ආකාරයට අන් සේවක සේවිකාවන්ගේ ඇප උපකාර හිමිවේ. නිලතල උසස් වේ. නව රැකියා ලබයි. උසස් පිළිගැනීමකට ලක් වේ.

ගෘහ ජීවිතය – විවිධ සමාජ අපවාදයන්ට භාජනය වේ. ඒ නිසා තමා ඒවායින් ගැලවී සිටීමට මහත් වෙහෙසක් දරයි. තම ඥාති හිතෛෂී අය වෙතින් ඉදිරි ගමනට බාධා සැලසේ. එහෙත් වසර මැද සිට ඒ සියල්ල අවසන් වී යහපත, අභිවෘද්ධිය, මානසික සුවය උදා වේ. ඉදිරිය පිළිබඳව තිබෙන සැක සංකා දුරුවේ. පොදු කටයුතු කෙරේ උනන්දුව ඇතිවේ. පිටරට යෝගබල වැඩි වේ. නව ව්‍යාපාර අරඹයි. ඒ සඳහා රාජ්‍යතාන්ත්‍රික ඇප උපකාර පවා හිමි වේ. දුෂ්කර කටයුතු කෙරේ වැඩියෙන් මුහුණ දෙන අතර අන් අයගේ අතහිත දීම මත අභියෝග ජය ගන්නවා ඇත.

අධ්‍යාපනය – විශේෂයෙන් විවිධ භාෂා පිළිබඳ උනන්දුව වැඩි වේ. සමාජ මාධ්‍ය තුළින් බොහෝ දැනුම් සම්භාරයක් ලබාගනු ඇත. කාව්‍යකරණය, සාහිත්‍යය පිළිබඳ නිතර නියැළෙනු ඇත. ඒ නිසා සමාජයට ඔබගේ දැනුම ඉතා උපකාරි එකක් වනු ඇත. ගුරු වෘත්තියේ නියැළෙන අය තම දැනුම වඩ වඩාත් වැඩි දියුණු කර ගැනීමට විවිධ පාඨමාලාවලට යොමු වනු ඇත.

සෞඛ්‍ය – උගුරේ ආපදා තයිරොයිඩ් ආපදා පමුණුවයි. කුස උෂ්ණ ගති වඩයි. පාදයේ වළලුකරට අගුණයි. හදිසි අනතුරුවලට ඉඩ ඇත. උඩ නැඟීම් බිම පැනීම් සීමා කරන්න. ගින්දර විදුලිය ආශ්‍රිත උවදුරු ද පෙන්වයි.
ශුභ වර්ණය – නිල්, දුඹුරු, ජය අංකය – 04, 08

පවතින පීඩා දුරුවීමට ශනිදාවක බෝධියකට අබතෙල් පහන් දල්වා නිල් මල් මිශ්‍රව පංච වර්ණ මල් පුද දී වන්දනා කර සදේව දේව මණ්ඩලයට, ග්‍රහ දේව මණ්ඩලයට පිංදීම ශුභයි.

දුගී මගී යාචකාදීන්ට ආහාර ද්‍රව්‍ය දානය වශයෙන් දීම, උපුල්වන් ශ්‍රී විෂ්ණු දෙවිඳුට පූජා පවත්වා සෙත් ලබා ගැනීම මැනවි.

කුම්භ –හදිසි ධනය හිමි වේ
ලග්නාධිපති ශනි ලග්නයේ ද රාහු 2 වැන්නේ ද ගුරු 3 වැන්න සහ සඳු 7 වැන්නේ ද කේතු 8 වැන්න බුධ සිකුරු සංයෝගව 10 වැන්නේ ද රවි කුජ 11 වැන්න ගෝචර මෙම වසර ශුභයි.

රැකී රක්ෂා උසස් වෙයි. තනතුරු ලාභ ද ලබයි. අමතර ආදායම් මාර්ග මතු වෙයි. තම ව්‍යාපාර ඉහළ මට්ටමකට පත් වෙයි. තැන්පත් ධනය වර්ධන ය වෙයි.

ගෘහ ජීවිතය ශුභයි. සාමය වර්ධන ක්‍රියාවන් යෙදෙන අතර ප්‍රීති සාද උත්සව ද යෙදෙන වසරකි. තවද කලක් වද දුන් ඉඩම් ප්‍රශ්නයක් සාර්ථකව විසඳේ. නව නිවාස ලාභ ලබයි. ඇසුරු කරන්නන් නිසා පැහැදිලි දියුණුවකට හේතු ඇති කරයි. මංගල යෝග උදා වෙයි.

අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභයි. තම මහන්සියේ තරමට ප්‍රතිඵල ශුභදායකයි. තම ඥාතීන් අතර ප්‍රධාන වෙයි. ඔවුන්ගේ අවශ්‍යතා මත වැයපස ඉහළ යයි. යාන වාහන ලාභ ලබයි. මහ පොළව ආශ්‍රිත ක්‍රියාවන්ගෙන් ජය ගෙන දෙයි. ආගමට දහමට ලැදිව ක්‍රියා කරයි. තම ඇසුරු කරන්නෝ දහමට යොමු කරවයි. ඒ සඳහා මිල මුදල් ද වැය කෙරේ.

ධනය – හදිසි ධනය හිමි වේ. නමුත් වසර ආරම්භයත් සමඟ වියදම් නැති නාස්තිවීම් පෙන්වයි. ඒ අතර සකසුරුවම, සැලසුම්සහගත බව හුරු වුවහොත් ඒවා මග හරවා ගත හැකිය. නොසැලකිල්ල නිසා අනවශ්‍ය වියදම් මතු කෙරේ. වසර මැද සිට ඒ සියලු අපහසුතා මගහැරී අභිවෘද්ධිය ඇතිවනු ඇත.

රැකී රක්ෂා – රැකියා වාසනාව, නව රැකියා හිමිවීම, දැනට කරන රැකියාවක් වෙත්නම් එහි පදවි තානාන්තර උසස් වීම පෙන්වයි. තමා වෘත්තීය ස්ථානයට නැතිවම බැරි අයකු කරයි. රැකියා එකක් නොව රැකියා කීපයකම වගකීම් ඔබට හිමිවේ. පිරිසක් පාලනය කිරීමට ඔබට පැවරේ. බැබළෙන තත්ත්වයක් ඒ තුළ දක්නට ලැබේ.

ගෘහ ජීවිතය – සිතට යම් යම් කලකිරීම් වසර ආරම්භයත් සමඟ එළඹුණද වසර මැද සිට ඒවා අවසන් වේ. ගරු නම්බු ලැබේ. වියදම වැඩි නිසා විවිධ මානසික ආතතියන් පැමිණුන ද වසර මැද සිට යහපත් මානසික තත්ත්වයන් උදා වේ. පොදු කටයුතු සාර්ථක වේ. නව ව්‍යාපාර නව ව්‍යාපෘති ආරම්භ කෙරේ. නිවසේ නිතර උත්සවශ්‍රීයක් මතු කෙරේ. පවුලට නව සාමාජිකයන් එක්වේ. සමාජ සුබසාධනය පිළිබඳ ඒකරාශි වීමකින් පොදු කටයුතු සාර්ථක වී ඉදිරි පියවරකට එය ආධාරකයක් කර ගනු ඇත. දේශපාලන ක්‍රියාමාර්ග කෙරේ වැඩි නැඹුරුවක් පෙන්වයි.

අධ්‍යාපනය – අලුත් අලුත් දේ ඉගෙනුමට හසුකර ගනී. භාෂා ඥානය වැඩි දියුණු වේ. විවිධ භාෂා ඉගෙන ගනී. ඉන් ප්‍රසාදය අත්කර ගනී. විභාගාදියෙන් උසස් ප්‍රතිඵල උදාකර ගනී. සම්මුඛ පරීක්ෂණාදියෙන් සමත් වේ.

සෞඛ්‍ය – තුනටියේ ආපදා, හදිසි වැටීම්, තැළීම් මතු කෙරේ. හිසේ පපුවේ සෙම වඩයි. ස්නායුගත උදුරු පෙනේ. උගුරේ ආපදා, කටු සිරවීම්, සෙම් වේළීම් නිසා විවිධ පීඩා ගෙන දේ. සීතලෙන් ප්‍රවේශම් වන්න. දණහිසෙන් පහළ ආපදා විය හැකිය.
ශුභ වර්ණය – නිල්, දම්, ජය අංකය – 05, 09

පවතින දෝෂ සමනයට බෝධි වන්දනා සිදු කිරීම, අබතෙල් පහන් දල්වා නිල් කහ මල් පුදා වන්දනා කර දේව සමාගමට, ග්‍රහ දේව සමාගමට පිංදී ආශීර්වාද ප්‍රාර්ථනාව සිදුකරන්න. සිරකළ සතුන් නිදහස් කිරීම, උපුල්වන් ශ්‍රී විෂ්ණු දෙවිඳුට පූජා පවත්වා සෙත් ලැබීම ඉතා උතුම්.

මීන –තනතුරු ලාභ දෙයි
ලග්නාධිපති ගුරු 2 වැන්නේ ද සඳු 6 වැන්න සහ කේතු 7 වැන්නේ ද බුධ සිකුරු 9 වැන්න සහ රවි කුජ 10 වැන්නේ ද ශනි 12 වැන්න ද රාහු ලග්නගතව ගෝචර මෙම වසර ශුභා ශුභ මිශ්‍ර ඵල දෙයි.

රැකියා ලාභ ද ලබයි. තනතුරු ලාභ දෙයි. ව්‍යාපාරවල දියුණුවක් දැකිය හැකි වෙයි. තැන්පත් ධනය තරමක් වර්ධනය වේ.

ගෘහ ජීවිතය ශුභයි. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. ප්‍රීති උත්සව සාද ගමන් බිමන් මෙම වසර සුලබ කරයි. අලංකාර කටයුතු සඳහා වැයපස ඉහළ යයි. නව නිවාස ඉදිකිරීමකට හේතුයි. අන්සතු දේපළ උරුමයකට හේතුයි. නොගැලපෙන සබඳතා මත තරමක් පීඩා ද ගෙන දෙයි.

විදෙස්ගතවීම්, විදෙස් රැකියා ලාභ ලබයි. කලාත්මක ක්‍රියාවන්වලත් ප්‍රසිද්ධ වෙයි. නිර්මාණකරණයට ශුභයි. කැටයම් කලා වැනි සියුම් ක්‍රියාවන්වල යෙදෙන්නන්ට ඉතා ශුභයි. සුඛෝපභෝගි භාණ්ඩ පරිහරණයට ලැබෙන කාලයකි. භූමි ලාභ සම්පත් ගෙන දෙයි. ආගමික වතාවත්වල යෙදෙන දහමට ලැදිව ක්‍රියාකරන වසරකි.

ධනය – උසස් ධනය ලබයි. විවිධ ආර්ථික ක්‍රමෝපායයන් අනුගමනය කරයි. තවද වියදමට වඩා ආදායම උසස් වේ. ඒ නිසාම සමාජයේ ධනය අතින් ඉහළින් වැජඹේ.

රැකී රක්ෂා -රැකියා අවස්ථා බහුල කෙරේ. නව පත්වීම් ලබයි. පිටරට රැකියාවකට පවා හේතු මතු කරයි. පිරිසක් පාලනය කිරීමට පවා වාසනාව සහිත වෘත්තියක් හිමිවේ. රාජ්‍යතාන්ත්‍රික ඇප උපකාර මත එය සිදු වේ. එහෙත් නොසැලකිලිමත් වුවහොත් රැකියා ස්ථානගත සතුරෝ ඇති වේ. තම නිරහංකාරකම නොවුවහොත් තමාට ලැබෙන වරප්‍රසාද අනුව අන් අය එයට විරෝධය පළ කරනු ඇත. ඒ නිසා කා අතරත් හොඳනම දිනා ගැනීමට උනන්දු වන්න.

ගෘහ ජීවිතය – පිටරට ගමන් යෙදේ. බොහෝ විට තම අභිවෘද්ධිය සකසා ගැනීමට මහත් වෙහෙසක් දරන්නට සිදු වේ. සමාජ කටයුතු නිසා තම පෞද්ගලික කටයුතුවලට බාධා පැමිණේ. ඥාති සබඳතා පලුදුවේ. කෙසේ වුවද වසර මැද සිට මේ තත්ත්වය වෙනස් වේ. පෙර පිං මහිමය පළවේ. නව සිතුවිලි පහළව අභිවෘද්ධියට කටයුතු සලසා ගනී. නිර්මාණශීලි වෙයි. පොතපත ග්‍රන්ථකරණය පිළිබඳ යොමුවීමෙන් ජනාදරයට පත්වේ.

අධ්‍යාපනය – මානසිකව පවතින ආතතිය නිසා අධ්‍යාපනයට තිබෙන උනන්දුව අවම වේ. එහෙත් බොහෝ විට පීඩාකාරි බව මධ්‍යයේ වුවද විභාග ජය ගනු ඇත. පිටරට අධ්‍යාපනයට පවා වාසනාව මතු කෙරේ. විවිධ භාෂා ඉගෙන ගැනීමට ඇති උනන්දුව වැඩිවේ.

සෞඛ්‍ය – හිසේ ආපදා, නහරගත මස්පිඩුගත ආපදා මතු කෙරේ. තම ශරීර සෞඛ්‍ය පිරිහෙන බව සිතට දැනුණොත් විවිධ මානසික ආතතියන් එළඹීමට පුළුවන. ඒ නිසා සිතේ සන්සුන් බව ආරක්ෂා කර ගන්න. මුත්‍රගත ආපදා අවහිරතා මතු වේ. දණහිසට ද යම් අපලකාරි තත්ත්වයක් එලඹේ.

ශුභ වර්ණය – කහ, දම්, ජය අංකය – 02, 09

පවතින පීඩා සමනයට බෝධි වන්දනාව සිදු කළ යුතු අතර තලතෙල් පහන් දල්වා, කහ මල්, රෝස පැහැති මල් පුදා වන්දනා කර දේව සමාගමට, ග්‍රහ දේව සමාගමට පිංදී ආශීර්වාද ප්‍රාර්ථනාව කරන්න. දුගීන්ට දුප්පතුන්ට වියළි සලාක දානය දීම, ගණපති, ඊශ්වර දෙවිඳුට ආශීර්වාද පතා පුද පූජා පැවැත්වීම ශුභයි. අධ්‍යාපනයෙන් ජය

Share with your friends :