27 C
Colombo
26/09/2024

බන්දුල නිදිද ?

Share with your friends :

ලංගම රියදුරන් හා කොන්දොස්තරලා දිනකට කෝටියක් සොරකම් කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා උතුරු නැගෙනහිර ප්‍රදේශවල ලංකා ගමනාගමන මණ්ඩලයේ පොදු ප්‍රවාහන සේවාවන් සැලසීම පිළිබඳ විශේෂ නිරීක්ෂණයකට එක්වෙමින් යාපනය කොණ්ඩාවිල් හි පිහිටි උතුරු ප්‍රාදේශික කාර්යාලයේ සහ යාපනය ඩිපෝවේ විශේෂ නිරීක්ෂණයකට එක්විය.

ඩිපෝ පරිශ්‍රය නිරීක්ෂණය කරමින් එහි පරිපාලනය සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පවතින ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවකට එක්ව අමාත්‍යවරයා මෙලෙස අදහස් දැක්වීය.

“පසුගිය වසර කිහිපය පුරාවට දරුණු ආර්ථික ගැටලු රැසකට අපට මුහුණ දීමට සිදුවුණා. මෙතෙක් පැවති සෑම රජයක්ම සංවර්ධන කටයුතු ඇතුළු බොහෝ කරුණු වෙනුවෙන් දිගින් දිගටම දේශීය හා විදේශ ණය ණය ලබා ගැනීම තුළින් සහ මුදල් මුද්‍රණය තුළින් මෙන්ම කොවිඩ් වසංගතයෙන් පසුව මුහුණ දුන් අභියෝග හමුවේ, අවසානයේ රට බංකොලොත් භාවයට පත්වීම දක්වා ඇද වැටී තිබෙනවා.

මාර්ග අබලන්විම ඇතුළු මෙම ප්‍රදේශවල ජනතාව සහ ආයතන මුහුණ දෙන අපහසුතාවයන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් අපට තිබෙනවා. එමෙන්ම මෙම ඩිපෝවල අබලන්ව පවතින බස් රථ අලුත් වැඩියා කිරීම සඳහා අමතර කොටස් අවශ්‍යයි. එන්ජින් ඇතුළු එම අමතර කොටස් ගෙන්වීම සඳහා මුදල් අවශ්‍යයි. ඉතිහාසය පුරාම මෙවැනි කටයුතු සිදු කර තිබෙන්නේ ණය ලබා ගැනීමෙන්. මීට පෙර ලබා ගත් ණය නොගෙවීම මත අලුතින් ණය ලබාගැනීමට හැකියාවක් නැහැ ඒ සියලු ගැටලු අතරේ වුවත් පසුගිය වසරේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ අලුත් බස් රථ පන්සියයක් ලංගම වෙත ලබාගැනීමට හැකි වුණා. එම ණය යෝජනා ක්‍රමය යටතේම එන්ජින් 59 ක්ද ලබාගෙන තිබෙනවා. එම එන්ජින් යොදා ගනිමින් යාපනය ඩිපෝවේද බස් රථ හතරක් අලුත් වැඩියා කර තිබෙනවා.

එම සියලු සම්පත් යොදා ගනිමින් පළාතේ සියලුම ඩිපෝ ආදායම් වැඩිකර ලාභ ලබන තත්ත්වයට පත් කරගැනීමට හැකි වුවහොත් මෙම වසර තුළ ප්‍රසාද දීමනාවක් ලබාදීමේ හැකියාව පවතිනවා.

මෙම අමාත්‍යංශයේ වගකීම භාර ගැනීමත් සමග අප දේශපාලන හිතවත්කම් හා ඥාති හිතමිත්‍රකම් වෙනුවෙන් තනතුරු ලබාදීම වෙනුවට විෂයානුබද්ධ දැනුමක් සහිත වෘත්තිකයින් ලංගම ඇතුළු ආයතනවල සභාපතිවරුන් ලෙස පත් කර තිබෙනවා.

මේ සියල්ල තුළින් සොරකම, වංචාව, දූෂණය, අක්‍රමිකතා වැළැක්වීම අපගේ පළමු ප්‍රතිපත්තියයි. ලංකාවේ සියලු ඩිපෝවල දිනකට රුපියල් කෝටියකට අධික මුදලක් ඇතැම් රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ මූල්‍ය වංචා හේතුවෙන් ආයතනයට අහිමිවනවා. මෙම සියලු මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව පරීක්ෂා කර කඩිනම් පියවර ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශන කණ්ඩායමක් පත් කර තිබෙනවා. ඒ අනුව වංචාවක් වාර්තා වූ වහාම අදාල සේවකයින්ගේ වැඩ තහනම් කර කඩිනම් පරීක්ෂණයක් පවත්වා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා.

ඉදිරි මාස කිහිපය තුළ ඊ ටිකටින් ක්‍රමය ලංගම බස්රථ වල ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමටද කටයුතු කෙරෙමින් පවතිනවා. ඒ තුළින් තවදුරටත් මූල්‍ය අක්‍රමිකතා සිදුවීම පාලනය කිරීමට හැකිවනවා. එම නිසා ආයතනයේත් තම පවුල්වල පෞද්ගලික සුභ සිද්ධිය උදෙසාත් වංචාවෙන්, දූෂණයෙන් තොරව වැඩ කිරීමට එක්වන ලෙස මා ඉල්ලා සිටිනවා.

ඉදිරි කාලය තුළ ඩිපෝ ලබන ආදායමෙන් මුදල් ගෙවීමේ පදනම මත නව බස් රථ දහසක් ලබා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමටද අප කටයුතු කරනවා. ආයතන ලාභ ලැබීමේ තත්ත්වයට පත් කර ගැනීම තුළින් පවතින කාර්යය මණ්ඩල පුරප්පාඩු සඳහා තාවකාලික හෝ කොන්ත්‍රාත් පදනම යටතේ හෝ නව බඳවාගැනීම සිදුකිරීමේ හැකියාව පවතිනවා.

ලංගම පුද්ගලිකකරණය කිරීම සඳහා මම ඉඩ ලබාදෙන්නේ නැහැ. ඉදිරි පරම්පරාවන් උදෙසා භාවිතා කළ හැකි නිසි ක්‍රමවේදයක් සකස් කිරීම තුළින් කවුරුන් පාලකයින් බවට පත් වුවත් ඒ අනුව කටයුතු කිරීමේ හැකියාව පවතිනවා.”

Share with your friends :