27 C
Colombo
24/11/2024

සහේලි නැති සොවින් පකිස්ථානයේ තනිවූ ලංකාවේ කාවන් කැම්බෝඩියාවට යයි

Share with your friends :

1985 දී ශ්‍රිලංකාවේ සිට පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට යන කාවන් හට සහේලි හමුවන්නේ 1990 දීය. ඇය ඉස්ලාමාබාද් වෙත එන්නේ බංග්ලාදේශයේ සිටය. ඉන්පසුව කාවන්ගේ ලෝකයේ එතෙක් පැවති තනිකම නැතිවී ගොස් සහේලි සමග පෙමින් බැඳෙන්නට යන්නේ සුළු කාලයකි. මේ දෙදෙනාටම වෙන්වූ ලෝකයක තනිව පෙමින් බැඳෙන මෙම දෙදෙනාගේ ආදර කතාව හදිසියේම අවසන් වන්නේ 2012 වසරේදීය. ඒ සහේලි හදිසියේම මෙලොවින් සමුගැනීම නිසාය. එතැන් පටන් තනිකඩ ජීවිතය නැවත ආරම්භ කරන කාවන් පසුගිය වසර අටම ගත කලේ තනිකමෙනි. තනිකම මුළු ජීවිතයම වෙලා ගත්තද ඒ කාලය තුල ලොව පුරා ජනතාව කාවන් ගැන කතා කරන්නට පටන් ගත්හ. පසුගියදා කාවන් පකිස්ථානයේ සිට කැම්බෝඩියාව වෙත ගියේ තම තනිකඩ ජීවිතය අවසන් කර තම නව පෙම්වතිය දැකගන්නටත් ජීවිතයේ ඉතිරි කාලය ඇය සමග නිදහසේ ගත කරන්නටත්ය.
අප මේ කතාකරන 36 හැවිරිදි කාවන් මහා සද්දන්තයෙකි. 1985 දී ශ්‍රීලංකා වේදී උපන් කාවන් එවකට පක්ස්ථානයේ ජනාධිපති සිය උල් හක් වෙත ශ්‍රීලංකා රජය විසින් තෑගී කරන්නේ දෙරට අතර ඇති සම්බන්ධතාවය වැඩි දියුණු කරලීම සඳහාය. ඒ අනුව ශ්‍රිලංකාවෙන් 1985 වසරේදී පකිස්ථානයේ ඉස්ලාමාබාද් නගරයේ මාර්ගාසාර් සත්වෝද්‍යානයට යන කාවන් ඇත්පැටවා හැදී වැඩෙන්නේ පකිස්ථානයේය.ක්‍රමයෙන් ලොකු මහත්වෙන කාවන් සඳහා සුදුසු සහකාරියක වන සහේලි ඇතින්න සත්වෝද්‍යානය වෙත ලැබෙන්නේ 1990 දීය. ඒ බංගලාදේශයෙනි.
මේ දෙදෙනාගේ ප්‍රේමනීය ජීවිතය හදිසියේම අවසන් වන්නේ 2012 වසරේ හදිසියේම සහේලි මෙලොව හැර යාමත් සමගය. එතැන් පටන් සත්වෝද්‍යානයේ තනිවන කාවන් ගැන සියලු දෙනාගේම අවධානය යොමු වන්නට පටන් ගනී. ඒ සඳහා මුලික වන්නේ පොප් ගායිකා චේර් ය. ඇය අන්තර් ජාලය ඔස්සේ ලොවේම අවධානය කාවන් සඳහා යොමු කරන්නේ කාවන් බැඳ දමා හිංසාවට ලක් කර ඇති නිසා කාවන්ට සුදුසු පරිසරයකට කාවන් මුදාහරින ලෙස ඉල්ලමිනි. ඇය එවකට පකිස්ථානු අගමැති නවාස් ෂෙරීෆ් හට මේ සම්බන්ධයෙන් දැන්වූවාය. එහෙත් රටකට ද්වීපාර්ශවීය සම්බන්ධතා හේතුවෙන් ලැබුණු ත්‍යාගයක් වූ කාවන් වෙනත් රටකට ලබා දීම පහසු කටයුත්තක් නොවීය.අවසානයේ කාවන්ගේ නිදහස සඳහා පෙත්සමක් අත්සන් කරන්නටත් ඒ වෙනුවෙන් ලොව පුරා හඬ නගන්නටත් තවත් සත්ව අයිතිවාසිකම් සංගම් එක්වුහ. එම පෙත්සම සඳහා ලක්ෂ හතරක ජනතාවක් අත්සන් කර තිබිණි. වර්තමාන පකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් ද කාවන් ගේ නිදහසට උදව් කළේය.
අවසානයේ 2020 මැයි 21 වැනිදා කොරෝනා වසංගතය අතරතුර පකිස්ථානු අධිකරණය නියෝග කලේ කාවන් සඳහා සුදුසු වාසස්ථානයක් ලබා දෙන ලෙසටය. ඒ සඳහා කාවන් රැගෙන යාමටත් අධිකරණය අවසර ලබා දුන්නේය. ඒ අනුව කාවන් හට සුදුසු වාසස්ථානය ලෙස සොයා ගැනුනේ කැම්බෝඩියාවේ පිහිටි ලෙක් වනෝද්‍යානයයි. නිදහසේ හැසිරෙන අලි ඇතුන් තුන්සියායක් පමණ එහි වෙති.
ඒ අනුව කාවන් කැම්බෝඩියාව වෙත විශේෂ ගුවන් යානයකින් රැගෙන යන්නට තීරණය විය. කැම්බෝඩියාව වෙත ගෙන යාමට කාවන් හට වෙනමම යකඩ කුටියක් නිර්මාණය කරන ලදී. එසේම කාවන්හට ගමන පුරා අනුභවය සඳහා පලතුරු වර්ග කිලෝ 200 කට වැඩි ප්‍රමාණයක් ඔහුගේ කුටිය තුල තබා තිබිණි. එසේම පශුවෛද්‍යවරුන් කණ්ඩායමක්ද ගමනට එක්වුහ.සාර්ථක ගුවන් ගමනකට පසු කාවන් පකිස්ථානයෙන් කැම්බෝඩියාවට පැමිණියේය.
මේ වන විට කාවන් සිටින්නේ කැම්බෝඩියාවේ වනෝද්‍යානයේ කොටසක නිරෝධායනයට ලක්වෙමිනි. ඉන්පසු කාවන් හට ඇතින්නියන් තිදෙනෙකු මුණගැස්වීමට නියමිතය. ඒ කාවන්හට සුදුසු සහකාරියක් ඒ අතරින් තෝරා ගන්නටය. මෙතෙක් ඉස්ලාමාබාද් සත්වෝද්‍යානයේ කුටියකට සිරවී ජීවිතයේ වසර තිස් හයක් ගත කල කාවන් තම ජීවිතයේ ඉතිරි කාලය නිදහසේ තම සහකාරිය සමග මේ වන උද්‍යානයේ ගත කරනු ඇත.

Photos-Four Paws/ Reuters

Share with your friends :