27 C
Colombo
23/09/2024

සේවාවලට බාධා කළොත් වැඩතහනම්-නිවාඩුත් අවලංගුයි-ලංවිමට ඇමතිගෙන් රතු එළියක්

Share with your friends :

සේවාවලට බාධා කරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩතහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට උපදෙස් ලබාදී තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

එමෙන්ම විදුලි බිල අඩුකිරීමේ යෝජනාව ද ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා සිය ට්විටර් සටහනේ සඳහන් කර තිබේ.

මේ අතර සේවා අවශ්‍යතා සහ අඛණ්ඩව විදුලි සැපයීම පවත්වාගෙන යාම පිළිබඳව අවධානය යොමු කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ නිවාඩු ඊයේ (2) සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බව ලංකාව විදුලි බල මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා මහතා පැවසීය.
කෙසේ වෙතත් අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් සඳහා අදාළ සේවකයාගේ දෙපාර්තමේන්තුවේ පළමු ශ්‍රේණිය හෝ ඊට ඉහළ විධායක නිලධාරියෙකුගේ අනුමැතිය ඇතිව නිවාඩු ලබාගත හැකි බවද නරේන්ද්‍ර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
නව විදුලි පනතට විරෝධය දක්වමින් විදුලිබල මණ්ඩලයේ සේවකයන් අද සිට දින තුනක අඛණ්ඩ විරෝධතාවයක් ආරම්භ කිරීමට නියමිත අතර එයට බලධාරීන් සතුටුදායක ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද විදුලිබල වෘත්තීය සමිති ප්‍රකාශ කළේය.

Share with your friends :