27 C
Colombo
23/09/2024

බදු ගෙවීම පහසු කරන්න ප්‍රාදේශීය ලේකම් හරහා බදු අයකරන ලෙස රජයෙන් ඉල්ලති

Share with your friends :

බදු ගෙවීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස රටපුරා ජනතාව රජයෙන් ඉල්ලා සිටිති.

බදු එකතු කිරීම සඳහා අවුරුදු 18 ට වැඩි සියලුම දෙනාට බදු ෆයිල් එනම් බදු ලිපිගොනු විවෘත කලද ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් නොවීම හා ඒ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිසි පහසුකම් නොසැපයීම නිසා ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිති. ONLINE ක්‍රමයට බදු ලිපිගොනු විවෘත කරගන්නට බහුතර ජනතාව දන්නේද නැත. දේශීය
ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යාල ඇත්තේ පළාත් මට්ටමින් හෝ දිස්ත්‍රික්ක මට්ටමින් පමණි. අදාළ කාර්යාල වෙත යාමට විශාල ප්‍රවාහන වියදමක් හා කාලයක් ගතවීම හා එහිදී සිදුවන රස්තියාදුව නිසා ඒ සඳහා සාමාන්‍ය ජනතාව යොමුවන්නේ අඩු වශයෙනි.

බදු ප්‍රශ්න සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු නිලධාරීන් මුණගැසෙන ව්‍යාපාරිකයන්ට අඩු බදු ප්‍රමාණයන් ගෙවීමට හැකි පරිදි ක්‍රමවේද සකස් කර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් විශාල වශයෙන් මුදල් ලබාගන්නා බවට චෝදනා එල්ලවී තිබේ.

අතීතයේ ඉංග්‍රීසි පාලන සමයේ ශ්‍රීලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පැවතුනේ බදු එකතු කිරීම සඳහාය. එකල DRO කන්තෝරු ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාල හැඳින්වුයේ මේ නිසාය. එනම් DIVISIONAL REVENUE OFFICER ලෙස එකල ප්‍රාදේශීය ලේකම්වරයා හැඳින්විණි. තවමත් ඉන්දියාවේ එම ක්‍රමය ක්‍රියාත්මක වන අතර දිසාපතිවරු හඳුන්වන්නේ COLLECTOR යන නාමයෙනි. එහෙත් ශ්‍රීලංකාවේ පසුකාලීනව මේ ක්‍රමය වෙනස් කරලීම නිසි බදු ආදායම නොලැබීමට හේතු විය.

ව්‍යාපාර ලියාපදිංචි කිරීම ,වාහන වල වාර්ෂික බලපත්‍ර නිකුත් කිරීම , විශ්‍රාම වැටුප් ලබාදීම , අස්වැසුම ආධාර ලබාදීම ,ඉඩම් හිමිකරුවන් පිලිබඳ විස්තර ආදී සියල්ල සිදු කරනු ලබන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගිනි.
සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ග්‍රාමසේවා නිලධාරී , සමෘද්ධි නිලධාරී, කෘෂිකර්ම නිලධාරී, පවුල් සෞඛ්‍ය නිලධාරී .සංවර්ධන නිලධාරී ලෙස නිලධාරීහු පස් දෙනා බැගින් සිටිති. මීට අමතරව ක්ෂේත්‍ර නිලධාරීන්ද සිටිති.
බදු එකතු කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කළහොත් ජනතාවට විශාල පහසුවක් වන අතරම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ට ජනතාව වෙත ගොස් ඔවුන් දැනුවත් කර ඒ සඳහා යොමු කර ගත හැක. එසේ එකතු කරන බදු ප්‍රමාණය මත කිසියම් දිරිගැන්වීමේ දීමනාවක්ද අදාළ නිලධාරීන් වෙත ගෙවිය හැක. දැනටත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත අදාළ දිරිගැන්වීමේ දීමනාවන් ගෙවනු ලබන අතර එම නිසා රජයට ඒ සඳහා අමතර මුදලක් වැය නොවේ.

වැට් බදු වැඩි කිරීම හා ඇතැම් භාණ්ඩ හා සේවා සඳහා අලුතින් වැට් බදු පැනවීම නිසා සාමාන්‍ය ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටින අතර බදු ආදායම වැඩි කර ගත හොත් වැට් බදු නැවත අඩු කර සාමාන්‍ය ජනතාවට වහාම සහන සැලසීම සිදු කරන්නට රජයට අවස්ථාව ලැබෙනු ඇත.
කෙසේ වෙතත් මේ සඳහා දේශීය අදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් දැඩි විරෝධය පළකර ඇති නමුත් ඒ සඳහා ග්‍රාමීය මට්ටමේ වැඩපිළිවෙලක්ද ඔවුන් ඉදිරිපත් කර නැත. ඒ රටේ නිසි බදු අය කර ගැනීමේ ක්‍රියාවලියක් නිර්මාණය වුවහොත් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්හට අසාධාරණ හා අයතා ආකාරයට මුදල් ලබා ගැනීමට ඇති අවස්ථාවන් එමගින් ඇහිරෙන නිසාය.
ලොව බොහෝ රටවල ක්‍රියාත්මක වන්නේ මහජන හිතවාදී බදු ක්‍රමවේදයය. එය මල නොතලා රොන් ගන්නා ක්‍රමයක් මෙනි. ග්‍රාමීය ඇති හැකි ජනතාවගෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් යොදවා ගෙන සුළු බදු මුදලක් පැනවීම හරහා සමස්ත රටෙන් එකතුවන බදු මුදල අති විශාලය. එසේම රේගුව හා සුරා බදු දෙපාර්තමේන්තු මගින් එකතුවන බදු වඩා කාර්යක්ෂම කල යුතුව තිබේ. එමගින් වැඩි කල වැට් බදු අඩු කර සාමාන්‍ය ජනතාවට සහන සැලසිය හැක.
එසේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් වැඩිම බදු ගෙවන දස දෙනෙකුට රජයේ කාර්යාල, බැංකු ,රෝහල් හා ගුවන් තොටුපල වැනි ස්ථාන වලදී ප්‍රමුඛතාවය ලබා දෙන ක්‍රමවේදයක් ඇති කිරීම හරහා ජනතාව වැඩි වශයෙන් බදු ගෙවීම සඳහා පෙළඹවීම සිදු කල හැක.

Share with your friends :