27 C
Colombo
23/09/2024

පොහොට්ටුව ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින්ට ඉදිරිපත් කර ඇති කොන්දේසි 10

Share with your friends :

1. ජනාධිපතිවරණයේදී 51% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීම සඳහා අනෙකුත් දේශපාලන පක්ෂ, කණ්ඩායම්, සිවිල් සංවිධාන සමග සන්ධානගත වීමේ වැඩපිළිවෙල ඉදිරිපත් කළ යුතුය

2. ලෝකයේ අනෙකුත් රටවල් සමග තරග කළ හැකි ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් රටේ සිසු පරපුරට ලබාදීමට අදාළ වැඩපිළිවෙලක් සකස් කළ යුතුය. එමෙන්ම ලෝකයේ ඕනෑම රටක රැකියාවක නිරත විය හැකි පරිදි මෙරට වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමට උසවා තැබිය යුතුය

3. ගොවි ජනතාව සඳහා ලබාදෙන පොහොර සහනාධාරය වැඩිකිරීම, නව දෙමුහුන් බීජවර්ග හඳුන්වාදීම තුළින් අස්වනු වැඩිකිරීම, පාංශු පරීක්ෂණ පත‍්‍රිකාව (soil health cards) පදනම් කරගත් පොහොර නිර්දේශ ක්‍රමයක් හඳුන්වාදීම යනාදිය ඔස්සේ කෘෂිකර්මාන්තය සංවර්ධනය කරමින් ස්මාර්ට් කෘෂිකර්මාන්තයක් බිහිකිරීමේ වැඩපිළිවෙල ඉදිරිපත් කළ යුතුය

4. ග්‍රාමීය ප්‍රදේශවල සහ නාගරික ප්‍රදේශවල දිළිඳුකම තුරන්කිරීම සඳහාත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දියුණු කිරීම සඳහාත් එම ප්‍රදේශවලට මුදල් ගලා එන වැඩපිළිවෙලක් සකස් කළ යුතුය. ඒ අනුව ග්‍රාමීය සහ නාගරික ප්‍රදේශවල ජනතාවට රැකියා දස ලක්ෂයක් බිහිකරන වැඩපිළිවෙලක් සකස් කළ යුතුය. ඉහත වැඩපිළිවෙලවල් වලින් සෑම පුද්ගලයකුටම නිශ්චිත ආදායම් මාර්ගයක් ලබාගැනීමට හැකි බව සහතික කිරීම

5. ආර්ථික වර්ධන වේගය 7% දක්වා වැඩි කළ යුතු අතර ආර්ථිකය ප්‍රසාරණය කළ යුතුය. ඒ සඳහා දේශීය සහ විදේශ ආයෝජන ආකර්ෂණය කරගනිමින් නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමේ වැඩපිළිවෙල සකස් කළ යුතුය

6. බඩු මිල සහ ජීවන වියදම ජනතාවට දරාගත හැකි මට්ටමක් දක්වා අඩු කළ යුතුය. දැනට ජනතාව මත දැඩි පීඩනයක් ඇතිවන පරිදි පනවා ඇති VAT බද්ද අඩු කළ යුතුය.

7. රජය සතු ව්‍යාපාර හෝ රාජ්‍ය දේපළ පෞද්ගලීකරණය නොකළ යුතුය. එමෙන්ම දැනට පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර ලාබ ලබන තත්වයට පත්කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කළ යුතුය. සියලුම මහජන සේවාවන් සඳහා ඒකාබද්ධ තොරතුරු සන්නිවේදන තාක්ෂණ වේදිකාවක් පිහිටුවිය යුතුය. වංචා සහ දූෂණ සිදු නොවන පරිදි රජයේ සියලුම මිලදී ගැනීම් සහ ටෙන්ඩර් පටිපාටි සඳහා ලෝකයේ වෙනත් රටවල මෙන් විනිවිදභාවයෙන් යුතු මහජනයාට තොරතුරු දැකගත හැකි ක්‍රමවේදයක් සකස් කළ යුතුය. වංචා සහ දූෂණ පිටුදැකීම සඳහා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය

8. ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල 17 ම අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේදී පළමු 1000 අතරට ගෙන ඒම සඳහා එම විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ යුතුය. එමෙන්ම රැකියා විරහිත උපාධිධාරීන් නැවත බිහි නොවීම සඳහා එම විශ්වවිද්‍යාලවල පාඨමාලාවන් ජාත්‍යන්තර රැකියා වෙළඳපොලට ගැලපෙන පරිදි සකස් කළ යුතුය

9. සංචාරක කර්මාන්තය නඟා සිටුවීම සඳහා ශ්‍රී ලංකාවට වසරකට සංචාරකයින් ලක්ෂ 50ක් ගෙන්වා ගැනීමේ ඉලක්කය සහිතව ඊට අදාළ සැලැස්මක් ඉදිරිපත් කළ යුතුය

10. ශ්‍රී ලංකාවට යළි විදේශ විනිමය අර්බුදයකට මුහුණ දීමට සිදු නොවන පරිදි ඩොලර් ඉපයීමේ උපායමාර්ග සහිත නිශ්චිත නව වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ යුතුය. විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ප්‍රේෂණ වැඩිකරගැනීමේ උපායමාර්ග සහ භාණ්ඩ හා සේවා අපනයනයෙන් ලැබෙන ආදායම වැඩිකරගැනීමේ උපායමාර්ග සකස් කළ යුතුය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂත්වය හිමිවන්නේ මෙම සියලුම කොන්දේසි සම්පූර්ණ කළ හැකි අපේක්ෂකයකුට පමණි.

Share with your friends :