27 C
Colombo
27/11/2024

ගංගානි – මහින්ද මැතිවරණ කොමිසමට කැඳවිය යුතුයි

Share with your friends :

රජයේ මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මැතිවරණ කොමිසමට කැඳවා ප්‍රශ්න කළ යුතු බවත් එම නිලධාරීන් ඉතාම පැහැදිළිව රටේ උත්තරීතර නීතිය කඩ කරමින් ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කිරීමට උත්සහ කරන බවත් නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (15) පැවසීය.

තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහරින දිනය පමණක් කල්දැමුව ද තැපැල් ඡන්දය ප්‍රකාශ කරන දිනවල කිසිඳු වෙනසක් නැතැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැහැදිළිව ප්‍රකාශ කර ඇති බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මැතිවරණය පැවැත්වීමේ කිසිඳු වෙනසක් නොමැති බව ද සඳහන් කළේය.

මැතිවරණය නියමිත දිනට පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාාවක් දී ඇති නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සියලුම රාජ්‍ය නිලධාරීන්ට මැතිවරණය පැවැත්වීමට උපරිම සහයෝගය දීමට අනිවාර්ය වගකීමක් ඇති බවත් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට සම්පූර්ණ මුදල ඉල්ලා සිටීමෙන් ඡන්ද වැලැක්වීමේ උත්සහය ප්‍රදර්ශනය කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

රජයේ මුද්‍රණාලයේ අධිපතිනිය ගංගානි ලියනගේ මහත්මිය ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට රුපියල් මිලියන 410 ක් ඉල්ලා සිටිය ද රජයේ සංදර්ශනයක් වූ නිදහස් උළෙලේ විවිධ දේවල් මුද්‍රණය කිරීමට මුදල් නොඉල්ලා එයට සංහයෝගය දුන් බව කී ඒ මහතා පැවසුවේ සියලුම සම්පත් ඇති රජයේ මුද්‍රණාලයට තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට සම්පූර්ණ මුදල අවශ්‍ය නොවන බවත්ය.

මුද්‍රණාලයේ අධිපතිනිය මුදල් ඉල්ලුවත් මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මුදල් නොදෙන බව කී මහාචාර්යවරයා මුදල් නොදීම පිළිබඳව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළ යුතු බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

නිදහස් ජනතා සන්ධානයේ කොළඹ ප්‍රධාන කාර්යාලයේදී අද (15) පැවැති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය.

Share with your friends :