එළඹෙන මාර්තු මාසයේදී පළාත් පාලන ඡන්දය පවත්වන ලෙසට මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බවත්, එවිට ආණ්ඩුවට උත්තර දිය හැකි බවත්, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
ඡන්දය ජනතාවගේ අයිතිවාසිකමක් බව ද කොළඹ අගරදගුරුතුමෝ සඳහන් කළහ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ මත්තුමගල ශ්‍රී හෘදයේ දේවස්ථානයේ දී පැවති දේව මෙහෙයට එක්වෙමිනි.
ශ්‍රී ලංකාවේ සිටි මධ්‍යම පංතියත් දැන් දිලිඳුන්ගේ පන්තියට වැටී ඇතැයි කී අගරදගුරුතුමෝ ලොකු මහ පාරවල්, මහ කුලුනු හදමින් ලෝකයටම මහන්තත්තකම පෙන්වීමෙන් රට දියුණුයි කියා පෙන්විය නොහැකි බව ද කීහ.
පම්පෝරි ගසන්නට ලොකු ගුවන්තොටුපොළවල් හැදුවාට, එක ගුවන්යානයක්වත් නතර නොවන බව කී කාදිනල්තුමෝ බොරු ෂෝ කර එම්ටි පොකට් තත්වයට රට වැටී ඇතැයි ද ප්‍රකාශ කළහ.
ලංකාවේ බොහෝ දෙනෙක් කන්න වේලක් නැතුව ජීවත්වෙන තත්වයක් තුළ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නට කියමින් නත්තලේ දී කොළඹ නගරය සුරපුරයක් ලෙස පෙන්වීමට රජය සූදානම් වන බව කී කොළඹ අගරදගුරුතුමෝ නායකයන් සතුටින් සිටින අතර, ලෝකයේ හැම රටකම ගොස් හිඟාකන රටක් බවට රට පත්ව තිබෙන බව ද කීහ.
දහම් පාසලට එන දරුවන්ට මුලින්ම කෑම දිය යුතු බවත්, නැතිනම් ඔවුන් ක්ලාන්ත වන බවත් පියතුමන්ලා කිහිපදෙනෙක් තමන්ට පැවසූ බව ද කාදිනල්තුමෝ පැවසූහ.
අහස උසට කුලුනක් හදලා. ඒකෙන් කොමිස් ගසා ඇති නමුත් ඒ සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ද අගරදගුරුතුමෝ සඳහන් කළහ.