27 C
Colombo
26/11/2024

22 ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් ඕනෑලු

Share with your friends :

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් ඒවා සංශෝධනය කළ යුතු බවත් එසේ නැතිනම් එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

කතානායකවරයා මෙම දැනුම්දීම කළේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ නිවේදන ඉදිරිපත් කරමිනි.

මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82(1) ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූල වන හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82(5) ව්‍යවස්ථාවේ දක්වා ඇති විශේෂ බහුතරයෙන් එය සම්මත කළ යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇතැයි කතානායකවරයා දැනුම් දුන්නේය.

පනත් කෙටුම්පතේ 2 වැනි වගන්තියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) ව්‍යවස්ථාව සමග කියවනු ලැබිය යුතු 3 වැනි ව්‍යවස්ථාව සමග අනනුකූල වන විධිවිධාන අඩංගු වන හෙයින් අදාළ පනත් කෙටුම්පතෙහි එකී වගන්ති පනවනු ලැබිය හැකි වනුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82(5) ව්‍යවස්ථාවෙහි නියම කෙරෙන පරිදි විශේෂ බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදුව, 83 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ජනතාව ජනමත විචාරණයකදී අනුමත කිරීමෙන් පමණක් බවද මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසූවේය.

කෙසේ වෙතත්, 2 වැනි වගන්තියේ යෝජිත 41 (අ)(6) සහ 41(ආ)(4) වගන්ති ඉහත විග්‍රහ කරන ලද ප්‍රතිපාදනය ඉවත් කිරීම සඳහා යෝග්‍ය ලෙස සංශෝධනය වන්නේ නම් ජනමත විචාරණයක අවශ්‍යතාවය නිශේධ වන බවත්
පනත් කෙටුම්පතේ 3 වැනි වගන්තියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) ව්‍යවස්ථාව සමග කියවනු ලැබිය යුතු 3 වැනි ව්‍යවස්ථාව සමග අනනුකූල වන විධිවිධාන අඩංගු වන හෙයින් අදාළ පනත් කෙටුම්පතෙහි එකී වගන්ති පනවනු ලැබිය හැකි වනුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82(5) ව්‍යවස්ථාවෙහි නියම කෙරෙන පරිදි විශේෂ බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදුව, 83 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ජනතාව විසින් ජනමත විචාරණයකදී අනුමත කරනු ලැබීමෙන් පමණක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායකවරයා දැනුම් දුන්නේය.

කෙසේ වෙතත් පනත් කෙටුම්පතේ 3 වැනි වගන්තියේ 44(2, 44(3), 45(1), 46(1), 47(3)(අ), 48(3) සහ 50 වැනි ව්‍යවස්ථාවන්හි සදහන් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ජනාධිපතිවරයා ක්‍රියා කරන බවට වන සඳහන ඉවත් කර ඒ වෙනුවට අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ජනාධිපතිවරයා ක්‍රියා කරන බවට සංශෝධනය කර ඇත්නම් සහ
(ආ) 3 වැනි වගන්තියේ යෝජිත 47(2) ව්‍යවස්ථාවේ 47(2)(අ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රතිස්ථාපනය කරන්නේ නම් ජනමත විචාරණයක අවශ්‍යතාවය නතර වනු ඇතැයිද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බව
කතානායකවරයා පැවසුවේය.

විසි දෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට අගෝස්තු මස 10 වෙනිදා ඉදිරිපත් කරනු ලැබීය.

පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණේ අගෝස්තු මස 2 වැනිදාය.

Share with your friends :